Skip to content

පටුනට යන්න

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගත හැක්කේ කෙසේද?

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගත හැක්කේ කෙසේද?

බයිබලයෙන් පිළිතුරු සොයමු

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගත හැක්කේ කෙසේද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට අදාළ පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකි ආකාරය මෙහි පෙන්වා දෙනවා. එම පිළිතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. දෙවි පිළිගන්නේ කුමන නමස්කාර ක්‍රමයද?

යේසුස් මිනිසුන්ට ඉගැන්නුවේ එක ආගමක් ගැන පමණයි. එය සදාකාල ජීවනය කරා යන පාරට සමාන කළ ඔහු, “එය සොයාගන්නේ ස්වල්පදෙනෙක් පමණයි” කියාද පැවසුවා. (මතෙව් 7:14) දෙවි පිළිගන්නේ බයිබලයේ සඳහන් මඟ පෙන්වීම්වලට එකඟව කරන නමස්කාරය පමණයි. සැබෑ ආගමට අයත් සියලුදෙනාම එකම නමස්කාර පිළිවෙතක් අනුගමනය කරනවා.—යොහන් 4:23, 24; 14:6; එෆීස 4:4, 5 කියවන්න.

2. ‘ක්‍රිස්තියානි’ ආගම් රැසක් තිබෙන්නේ ඇයි?

බොරු ගුරුවරුන් තමන් කැමති දේවල් උගන්වමින් මිනිසුන්ව ඔවුන් පසුපස යෑමට පොලඹවාගත්තා. එවැනි අය ‘බැටළුවන්’ මෙන් එනම්, අහිංසකයන් මෙන් පෙනී සිටියත් ඔවුන් රෞද්‍ර වෘකයන් බව යේසුස් කලින්ම අනතුරු අඟවා තිබුණා. (මතෙව් 7:13-15, 21, 23) ඔවුන් ශීඝ්‍රයෙන් වර්ධනය වීමට පටන්ගත්තේ යේසුස්ගේ නියෝජිතයන් සියලුදෙනාම මිය යෑමත් සමඟයි.—ක්‍රියා 20:29, 30 කියවන්න.

3. සැබෑ ක්‍රිස්තියානීන්ගේ විශ්වාසයන් ගැන පැවසිය හැක්කේ කුමක්ද?

බයිබලය ලියවී තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් බව ඔවුන් විශ්වාස කරනවා. එහි මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙන්න ඔවුන් උත්සාහ කරන්නේ ඒ නිසයි. ඔවුන්ගේ නමස්කාරය පදනම් වී තිබෙන්නේ මිනිසුන්ගේ ඉගැන්වීම් මත නොවෙයි. (මතෙව් 15:7-9) ඔවුන් දේශනා කරන දේට එකඟව ජීවත් වෙනවා.—යොහන් 17:17; 2 තිමෝති 3:16, 17 කියවන්න.

දෙවිගේ නාමයට ගෞරවය දිය යුතුයි කියා ඔවුන් විශ්වාස කරනවා. යේසුස් පවා දෙවිගේ නාමය ගැන මිනිසුන්ට දැනුම් දුන්නා. යෙහෝවා දෙවිව දැන හඳුනා ගැනීමට ඔහු මිනිසුන්ට උපකාර කළා. දෙවිගේ නාමයට සිදු වී තිබෙන කැළැල ඉවත් කරන ලෙස යාච්ඤා කිරීමටත් ඔහු මිනිසුන්ට ඉගැන්නුවා. (මතෙව් 6:9) අද දින දෙවිගේ නාමය භාවිත කිරීමට මිනිසුන්ව දිරිගන්වන්නේ කවුරුන්ද?—යොහන් 17:26; රෝම 10:13, 14 කියවන්න.

4. සැබෑ ක්‍රිස්තියානීන් කටයුතු කරන ආකාරය ගැන පැවසිය හැක්කේ කුමක්ද?

දෙවිගේ රාජ්‍යය ගැන ඔවුන් දේශනා කරනවා. එම රාජ්‍යය ගැන මිනිසුන්ට පැවසීමට දෙවි, යේසුස්ව පොළොවට එව්වා. මිනිසුන් අද්දකින සෑම ප්‍රශ්නයකටම විසඳුම් ලබා දිය හැක්කේ එම රාජ්‍යයට පමණයි. ඒ නිසා යේසුස් හැකි උපරිමයෙන් එම රාජ්‍යය ගැන දැනුම් දුන්නා. (ලූක් 4:43; 8:1; 23:42, 43) එම රාජ්‍යය ගැන මිනිසුන්ට දැනුම් දෙන්න කියා යේසුස් තම ගෝලයන්ටත් පැවසුවා. ඔබ දන්න විදිහට අද දින දෙවිගේ රාජ්‍යය ගැන මිනිසුන්ට දැනුම් දෙන්නේ කුමන ආගමට අයත් අයද?—මතෙව් 10:7; 24:14 කියවන්න.

යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් මේ ලෝකයේ දේවලින් වෙන් වී සිටිනවා. එනම් ඔවුන් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙන්නේ නැහැ. (යොහන් 17:16) ඔවුන් මේ ලෝකයේ මිනිසුන්ගේ නරක ආකල්ප හා චාරිත්‍ර අනුකරණය කරන්නෙත් නැහැ.—යාකොබ් 1:27; 4:4 කියවන්න.

5. සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න පුළුවන් කොහොමද?

ඔවුන් අවංකවම එකිනෙකාට ප්‍රේම කරනවා. සියලුම ජාතීන්ට අයත් මිනිසුන්ට ගරු කරනවා. වෙනත් ආගම්වල අය මෙන් ඔවුන් කිසිම යුද්ධයකට හවුල් වෙන්නේ නැහැ. (මීකා 4:1-4) අන් අයට උපකාර කිරීම සඳහා ඔවුන් තම කාලය, ශ්‍රමය හා ඔවුන් සතු සම්පත් වැය කරනවා.—යොහන් 13:34, 35; 1 යොහන් 4:20, 21 කියවන්න.

සෑම ඉගැන්වීමක්ම බයිබලය මත පදනම් කරගෙන තිබෙන්නෙත් දෙවිගේ නාමය භාවිත කරන්නෙත් සෑම ප්‍රශ්නයකටම විසඳුම ලැබෙන්නේ දේවරාජ්‍යය තුළින් බව දේශනා කරන්නෙත් යුද්ධවලට හවුල් වෙනවා වෙනුවට සියලුම මිනිසුන්ට ප්‍රේමයෙන් සලකන්නෙත් කුමන ආගමට අයත් අයද?—1 යොහන් 3:10-12.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 15වන පරිච්ඡේදය බලන්න.

[16වන පිටුවේ පින්තූරය]

“දෙවිව දන්නා බව ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියත් ඔවුන්ගේ ක්‍රියාවලින් ඔප්පු වන්නේ ඔවුන් දෙවිව ප්‍රතික්ෂේප කරන බවය.”—තීතස් 1:16.