Skip to content

පටුනට යන්න

1වන ප්‍රශ්නය: මගේ ජීවිතයට අරමුණක් තියෙනවාද?

1වන ප්‍රශ්නය: මගේ ජීවිතයට අරමුණක් තියෙනවාද?

එංගලන්තයේ හැදී වැඩුණු රොසලින්ඩ් පුංචි කාලේ ඉඳලාම පොත පත කියවන්න ආසාවෙන් හිටියා. දුප්පත් අසරණ අයට උදව් කරන්නත් එයාට ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා ගෙවල් නැති අයට උදව් කරන්න පුළුවන් වෙන විදිහේ රස්සාවක් එයා තෝරගත්තා. ඒ වගේම එයා ඉගෙනගන්න ඒ තරම් දක්ෂ නැති අයටත් උදව් කළා. සාර්ථක ජීවිතයක් ගත කරමින් හිටියත් “සෑහෙන කාලයක් තිස්සේ ජීවිතයේ අරමුණ මොකක්ද කියලා මම කල්පනා කළා” කියලා එයා කිව්වා.

එහෙම හිතෙන්නේ ඇයි?

හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරන සත්තුන්ට වඩා මිනිස්සු වෙනස්. අතීතයේදී වුණු සිද්ධීන්වලින් පාඩම් ඉගෙනගන්නත්, අනාගතය ගැන සැලසුම් කරන්නත්, ජීවිතයේ අරමුණ ගැන හොයලා බලන්නත් මිනිස්සුන්ට පුළුවන්.

සමහර අය ඒකට උත්තර දෙන්නේ කොහොමද?

හුඟදෙනෙක් කියන්නේ ඇති තරම් ධන සම්පත් රැස් කරගෙන සතුටින් ඉන්න එක තමයි ජීවිතයේ අරමුණ කියලා.

ඔවුන් නොකියා කියන්නේ මොකක්ද?

දෙවි කැමති අකමැති මොනවාද කියලා අපිට වැඩක් නැහැ. අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදිහට.

ඒ ගැන බයිබලයේ තියෙන්නේ මොනවාද?

අතීතයේ හිටිය සලමොන් රජ ඇති තරම් වස්තු සම්පත් රැස් කරගත්තත් ඒ කිසිම දේකින් ජීවිතේට සැබෑ තෘප්තියක් ලැබෙන්නේ නැති බව පිළිගත්තා. අවසානයේදී ජීවිතට සැබෑ අරමුණක් ලබාගන්න නම් කරන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගත්තට පස්සේ සලමොන් රජ මෙහෙම කිව්වා. “සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින් ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි.” (දේශනාකාරයා 12:13) දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

දෙවියන් කැමතියි අපි හැමෝම සතුටින් ඉන්නවාට. ඒ ගැන සලමොන් රජ මෙහෙම කියලා තියෙනවා. “මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මා දැක නැත. එය සැබෑ දෙවිගෙන් ලද ආශීර්වාදයකි. මමද එය අද්දුටුවෙමි.”—දේශනාකාරයා 2:24.

අපි අපේ පවුලේ සාමාජිකයන් ගැනත් සැලකිලිමත් වෙනවාට දෙවියන් කැමතියි. ඒ ගැන දෙවියන් අපිට දීලා තියෙන ප්‍රතිපත්ති කීපයක් බලන්න.

  • “ස්වාමිපුරුෂයන් තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතුයි.”—එෆීස 5:28.

  • “භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි.”—එෆීස 5:33.

  • “දරුවෙනි, දෙවිගේ කැමැත්තට එකඟව ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.”—එෆීස 6:1.

අපි ඒ ප්‍රතිපත්ති අදාළ කරගත්තොත් සතුටෙන් තෘප්තිමත් ජීවිතයක් ගෙවන්න පුළුවන් වෙනවා. අපි අතපසු නොකර කරන්න ඕන වැදගත්ම දේ තමයි යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනාගෙන ඔහු එක්ක තියෙන මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කරගන්න එක. “දෙවිට ළං වන්න” කියලා බයිබලයේ අපිට දිරිගන්වලා තියෙන්නේ ඒ නිසයි. අපි එහෙම කළොත් ‘දෙවිත් අපට ළං වෙනවා’ නොඅනුමානයි. (යාකොබ් 4:8) අපි දෙවිත් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත්තොත් අරමුණක් ඇති ජීවිතයක් ගෙවන්න අපිට පුළුවන් වෙනවා.

කලින් සඳහන් කළ රොසලින්ඩ් ජීවිතයේ සැබෑ අරමුණ හඳුනාගෙන දැන් සතුටින් ජීවත් වෙනවා. එයාගේ අද්දැකීම මේ සඟරාවේම 10වන පිටුවෙන් කියවලා බලන්න.