Skip to content

2016 ජූනි 1
එක්සත් ජනපදය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කී ලෙගසි ඉඩමක පිහිටි ටවර්ස් ගොඩනැඟිල්ල විකුණයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කී ලෙගසි ඉඩමක පිහිටි ටවර්ස් ගොඩනැඟිල්ල විකුණයි

මුල් දවස්වල ගාම්භීර පෙනුමකින් දිස් වුණ ටවර්ස් හෝටලය.

නිව් යෝර්ක් - 2016 මැයි 24වෙනිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බෘක්ලින් හයිට්ස්හි පිහිටි ටවර්ස් කියන තට්ටු 16කින් යුත් ඔවුන්ගේ නේවාසික ගොඩනැඟිල්ල විකුණන්න නිල වශයෙන් ලැයිස්තුගත කළා. කලින් හෝටලයක්ව තිබුණු ඒ ගොඩනැඟිල්ල වර්ග අඩි 3,13,768ක් විශාලයි. වහලයේ කොන් හතරෙන් ඉහළට පිහිටන විදිහට හදලා තිබුණ වැනීසියානු කුලුනු 4 නිසා හැමෝම වගේ ඒ ගොඩනැඟිල්ල දන්නවා. ගොඩනැඟිලි අතරින් ගාම්භීර පෙනුමක් ඇති මේ ගොඩනැඟිල්ල දශක 9ක පමණ කාලයක් පුරා බෘක්ලින් නගරයේ තිබුණා.

මුලින්ම ලෙවරිච් ටවර්ස් හෝටලය කියලා හඳුන්වපු ඒ ගොඩනැඟිල්ල විවෘත කළේ 1928දී. නිව් යෝර්ක් නගරයේ ප්‍රසිද්ධ ලෝඩ් සහ ටේලර්ගේ ප්‍රධාන වෙළඳසැලත් සාක්ස් ෆිෆ්ත් ඇවන්‍යූ වෙළඳසැලත් නිර්මාණය කරපු සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පීන් වන ස්ටැරට් සහ වැන් ව්ලෙක් තමයි ඒ හෝටලයේ ගෘහ නිර්මාණ කටයුතු කරලා තියෙන්නේ. අවුරුදු කීපයකට පස්සේ ඒ ගොඩනැඟිල්ල මිල දී ගත්ත අය ඒක ටවර්ස් හෝටලය කියලා හැඳින්නුවා. රෝම ගෘහ නිර්මාණ ශිල්පයෙන් ඒක අලංකරණය කරලා තිබුණා. උදාහරණෙකට පහන් පොකුරු එල්ලපු රංග ශාලාවකුත් ලස්සන සඳලුතලයකුත් ඒකේ තිබුණා. ඒ සඳලුතලයේ ඉඳන් බලද්දී මැන්හැට්න් නගරය, නිව් යෝක් වරාය වගේම බෘක්ලින් පාලමත් ලස්සනට දිස් වුණා. ඒ හෝටලය විකුණන්න දාලා තිබුණු දැන්වීමේ සඳහන් කරලා තිබුණේ “බෘක්ලින්හි හෝටල් අතරින් රදළයා” කියලයි.

හෝටලයේ ලොකු පඩි පෙළට මැහෝගනි ලීයෙන් හදපු පළල් ගරාදි වැටවල් දෙකකුත්, කණු තුනකින් හදපු ආරුක්කු හැඩයේ පිවිසුම් මඟකුත්, ඒ ළඟ චාම් ගැමි දර්ශණයක් පෙන්වන බිතුසිතුවමකුත් තියෙනවා.

ඒ තරම් ගාම්භීර ආරම්භයක් තිබුණත් 1970 ගණන් වෙද්දී ඒ හෝටලය අබලන් තත්වයට පත් වුණා. සාක්ෂිකරුවන් 1975 ජනවාරි 14වෙනිදා ඒක මිල දී ගත්තා. 1978 වෙද්දී ලෝක මූලස්ථානයේ වැඩ කරපු සාක්ෂිකරුවන් 1000කට වැඩි පිරිසකට නවාතැන් ගන්නත් ඒ හැමෝටම කෑම ගන්න පුළුවන් ලොකු කෑම කාමරයකුත් ඒ ගොඩනැඟිල්ලේ හදාගත්තා. සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් වන රිචඩ් ඩිවයින් මෙහෙම කියනවා. “අපේ මුද්‍රණ කටයුතු පුදුම වේගෙකින් වැඩි වුණා. ඒ නිසා වැඩට එන පිරිසත් වැඩි වුණා. හැබැයි ඒ හැමෝටම නවාතැන් දෙන්න ටවර්ස් ගොඩනැඟිල්ලේ ඉඩ නම් මදි වුණේ නැහැ.”

මේ තමයි ටවර්ස් හෝටලයේ ලස්සන සඳලුතලය. මෙහෙ ඉඳන් උතුරු පැත්ත බලන කෙනෙකුට සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ කාර්යාල ගොඩනැඟිල්ල, බෘක්ලින් පාලම, මැන්හැට්න් පාලම සහ එම්පයර් ස්ටේට් බිල්ඩිම පේනවා.

ඒ ගොඩනැඟිල්ල ටවර්ස් හෝටලය තිබුණු තත්වයට ආයෙත් ගේන්න 1995 ඉඳන් සාක්ෂිකරුවන් අලුත් ව්‍යාපෘතියක් පටන්ගත්තා. ඒ වැඩකටයුතු ගැන ඩිවයින් මහතා මෙහෙම විස්තර කරනවා. “1990 ගණන්වල අපි ගොඩනැඟිල්ලේ ඇතුල් පැත්ත සම්පූර්ණයෙන්ම ආපහු හැදුවා. ජලනල පද්ධතියත් විදුලි පද්ධතියත් අලුතෙන් සවි කළා. ඒ විතරක් නෙමෙයි ප්‍රධාන ලොබියේ ඉඳලා කෑම කාමරයට යන්න පුළුවන් විදිහට ලොකු පඩි පෙළත් අලුතෙන්ම හැදුවා.”

සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ ඉන්න මාධ්‍ය ප්‍රකාශකයෙක් වන ඩේවිඩ් ඒ. සෙමොනියන් මෙහෙම කියනවා. “බෘක්ලින් හයිට්ස්වල පාර දිගේ ඇවිදගෙන යද්දී ටවර්ස් ගොඩනැඟිල්ල අනිවාර්යයෙන්ම අපේ අවධානයට ලක් වෙනවා. ඇත්ත, ඒ ගොඩනැඟිල්ලේ ලස්සන රැකගන්න අපි ගොඩක් මහන්සි වුණා තමයි. ඒත් ඊටත් වඩා අපේ මතකයේ රැඳෙන්නේ අපේ ලෝක මූලස්ථානයේ වැඩ කරන සාමාජිකයන්ට දශක ගණනාවක් පුරා ඒ ගොඩනැඟිල්ල හොඳ නවාතැනක් වුණ විදිහයි.”

මාධ්‍ය ප්‍රකාශක:

ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-718-560-5000