Skip to content

2014 සැප්තැම්බර් 8
එක්සත් ජනපදය

ලිලියන් ගොබයිටස් වයස අවුරුදු 90දී මිය යයි

ලිලියන් ගොබයිටස් වයස අවුරුදු 90දී මිය යයි

නිව් යෝක්—ලිලියන් ගොබයිටස් ක්ලෝස, 2014 අගෝස්තු 22වෙනිදා මිය ගියා. මිය යද්දී ඇගේ වයස අවුරුදු 90යි. ඒ වෙද්දී ඇය පදිංචිව සිටියේ ජෝර්ජියා ජනපදයේ ෆේයට්විල් කියන ගමේ. පාසැල් යන කාලයේදී ජාතික කොඩියට ආචාර නොකරන්න පෞද්ගලික තීරණයක් ගත්ත නිසා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇයට විරුද්ධව නඩුවක් දැම්මා. ඇය ප්‍රසිද්ධ වුණේ එහි ප්‍රධාන විත්තිකාරියක් වූ නිසයි.

විලියම් ගොබයිටස් (වමේ කෙළවරේ), 1935දී ජාතික කොඩියට ආචාර නොකළ නිසා දරුවන්ව පාසැලෙන් නෙරපුවාට පස්සේ ලිලියන් තාත්තා වන වෝල්ටර් ගොබයිටස් එක්ක.

ඇගේ ස්ථාවරය විස්තර කරලා 1935දී ලිලියන් මයිනස්විල් පාසැලේ නිලධාරී මණ්ඩලයට ලියූ ලිපිය.

ලිලියන්ගේ මල්ලිගේ නම විලියම්. මේ දෙන්නම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. 1935 ඔක්තෝබර් 6වෙනිදා සාක්ෂිකරුවන් ජාතික ගුවන්විදුලිය හරහා රූප නමස්කාරය ගැන බයිබලයේ තියෙන ප්‍රතිපත්ති ගැන දැනුවත් කළ දේශනයකට සවන් දුන්න මේ දෙන්නා ආයෙත් ජාතික කොඩියට ආචාර කරන්නේ නැහැ කියලා පෞද්ගලිකව තීරණය කෙරුවා. සති කිහිපයකට පස්සේ දෙන්නව පාසැලෙන් නෙරපුවාම එයාලගේ තාත්තා මොකද කළේ දරුවන්ගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් දැම්මා. ඒක දින්නා. පාසැලේ නිලධාරී මණ්ඩලය ඒ තීන්දුවට විරුද්ධව අභියාචනා කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා. ඒක ගොනු කරලා තිබුණේ ‘ගොබයිටිස්ට විරුද්ධව මයිනස්විල් දිස්ත්‍රික්කයේ පාසැල්’ කියලයි (ගොබයිටස් වෙනුවට ගොබයිටිස් කියලා වැරදියටයි ගොනු කරලා තිබුණේ). ප්‍රතිඵලයක් විදිහට 1940 ජූනි 3වෙනිදා ගොබයිටස් දරුවන් වැරදිකරුවන් කියලා තීන්දු කෙරුවා. ඒත් අවුරුදු 3කට පස්සේ, 1943 ජූනි 14වෙනිදා, ඒ නඩුවෙන් සාක්ෂිකරුවන් ජයග්‍රහණය කෙරුවා. එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවක් ඒ තරම් කෙටි කාලයක් තුළ වෙනස් කරපු මුල්ම අවස්ථාව ඒකයි. ඒ තීන්දුවට පදනම් කරගත්තේ ඒ වෙනකොටත් සාක්ෂිකරුවන් ජයග්‍රහණය කරලා තිබුණ ‘බානෙට්ලාට විරුද්ධව බටහිර වර්ජීනියා ජනපදයේ අධ්‍යාපන මණ්ඩලය’ කියන නඩුවයි. සාක්ෂිකාර දරුවන්ට පාසැල් යන්න ඉන්පසුව අවස්ථාව ලැබුණා.

ලිලියන් ගොබයිටස් ඉපදුණේ 1923 නොවැම්බර් 2වෙනිදා, පෙන්සිල්වේනියාවේ මයිනස්විල් කියන ගමේ. ඇගේ තාත්තාගේ නම වෝල්ටර්. අම්මාගේ නම රූත්. ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණේ 1935 මාර්තු 14වෙනිදා. පූර්ණකාලීනව බයිබලයේ තියෙන ඉගැන්වීම් ජනයාට කියා දෙන කෙනෙක් විදිහට සේවය කරන්න ලිලියන් පටන්ගත්තේ වයස අවුරුදු 20දී (සාක්ෂිකරුවන් එවැනි අයව හඳුන්වන්නේ ස්ථාවර පුරෝගාමීන් කියලයි). 1946 පෙබරවාරි මාසයේ ඉඳලා 1953 අප්‍රියෙල් මාසය වෙනකම් ඇය නිව් යෝක් බෘක්ලින්වල තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කෙරුවා.

ලිලියන් ඇගේ සැමියා වන අර්වින් ක්ලෝස එක්ක. 1954දී ඕස්ට්‍රියාවේ මිෂනාරීන් විදිහට සේවය කරද්දී ගත්ත ඡායාරූපයක්.

1951දී යුරෝපයේ පවත්වපු සමුළුවකට සහභාගි වෙමින් හිටිය ලිලියන්ට සාක්ෂිකරුවන්ගේ ජර්මනියේ ශාඛා කාර්යාලයේදී අර්වින් ක්ලෝසව හමු වුණා. එදා දෙදෙනා අතර හිතවත්කමක් ඇති වුණා. සාක්ෂිකරුවන්ගේ මිෂනාරි පාසැලෙන් ඉගෙනගන්න අර්වින් ක්ලෝස නිව් යෝක් ජනපදයේ සවුත් ලෑන්සිංවල පවත්වපු මුරටැඹ බයිබල් ගිලියද් පාසැලට ආවා. 1952දී පාසැල අවසානයේදී මිෂනාරිවරයෙක් විදිහට ඕස්ට්‍රියාවේ සේවය කරන්න ඇයට පැවරුමක් ලැබුණා. ලිලියනුත් 1954 පෙබරවාරි මාසයේදී මිෂනාරි පාසැලෙන් පැවරුම් ලැබුවා.

1954 මාර්තු 24වෙනිදා මේ දෙන්නා ඕස්ට්‍රියාවේදී විවාහ වෙලා දිගටම ඒ රටේ මිෂනාරි සේවය කරගෙන ගියා. ඒ අවුරුද්ද අවසානයේදී අර්වින්ගේ සෞඛ්‍යය තත්වය නරක අතට හැරුණු නිසා නැවත එක්සත් ජනපදයට ආවා. එහෙම වුණේ ඔහු සාක්ෂිකරුවෙක් නිසා ගාල් කඳවුරකට දාලා නාට්සි හමුදාව ඔහුට දරුණු විදිහට පහර දීලා තිබුණ නිසයි. ක්ලෝස යුවළට දරුවන් දෙන්නෙක් ලැබුණා. පුතා ස්ටීවන් පෝල් සහ දුව ජූඩිත් ඩෙබරා. 1967දී ක්ලෝස පවුල ජෝර්ජියා ජනපදයේ රිවඩේල් කියන ප්‍රදේශයේ පදිංචියට ගිහින් ජනයාට බයිබලය කියා දෙන්න පවුලක් විදිහට වැඩිපුර කාලය වෙන් කළා.

ලිලියන් ගොබයිටස්ගේ දුව ජූඩිත්, සහෝදරියන් වන ජීන් සහ ග්‍රේස් සහ මල්ලී වන පෝල් ගොබයිටස් තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඒත් ඇගේ සැමියා, දෙමව්පියන්, මල්ලී වන විලියම් ගොබයිටස්, නංගී ජෝයි සහ පුතා වන ස්ටීවන් පෝල් ක්ලෝස කියන අය ඇයට කලින් මිය ගිහින් තිබුණා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000