Skip to content

2017 මාර්තු 17
එක්සත් ජනපදය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානයේ ගොඩනැඟිලි GBI සංවිධානයේ ඇගයුමට!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානයේ ගොඩනැඟිලි GBI සංවිධානයේ ඇගයුමට!

නිව් යෝර්ක් - සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානයේ ගොඩනැඟිලි ඉදි කිරීම් වැඩ අවසන් වුණේ 2016 අගෝස්තු මාසයේ. වෝර්වික්වල පිහිටි ඒ ගොඩනැඟිලි පරිසරයට හිතකර විදිහට තනා තියෙන නිසා සාක්ෂිකරුවන්ව GBI සංවිධානයේ (Green Building Initiative) පැසසුමට ලක් වුණා. GBI ​සංවිධානය, ලොව පුරා ඉදි කරන ගොඩනැඟිලි පරිසරයට කොයි තරම් හිතකරද කියලා සොයා බලා ඇගයීමට ලක් කරන සංවිධානයක්. ඒ සංවිධානයෙන් පිරිනමන ඉහළම සම්මානය වන Four Green Globes කියන විශිෂ්ට සම්මානය සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානයේ ගොඩනැඟිලි 7ටම හිමි වුණා.

GBI සංවිධානයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂකවරියක් වන ෂයිනා වයින්ස්ටයින් මෙහෙම කිව්වා. “සාමාන්‍යයෙන් Four Green Globes කියන විශිෂ්ටතම සම්මානය දෙන්නේ ජලය සහ ඉන්ධන නාස්තියක් නැතිවිදිහටත් පරිසරයට හිතකර විදිහටත් සාදා තියෙන හොඳම ගොඩනැඟිලි වෙනුවෙන්. රට පුරා තියෙන ගොඩනැඟිලි ව්‍යාපෘති 965කින් Four Green Globes කියන උසස්ම සම්මානය ප්‍රධානය කළේ ගොඩනැඟිලි 64කට විතරයි. වෝර්වික්වල තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ගොඩනැඟිලි 7ටම Four Green Globes කියන විශිෂ්ට සම්මානය ලැබුණ එක හරිම සුවිශේෂී දෙයක්.”

GBI සංවිධානයේ Green Globes සම්මානය සඳහා ශ්‍රේණිගත කරන ආකාරය. සාක්ෂිකරුවන්ගේ ගොඩනැඟිලි 7ටම ලකුණු 90ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලැබුණා. ඒ නිසා ඔවුන්ට Four Green Globes කියන විශිෂ්ටතම සම්මානය හිමි වුණා.

GBI සංවිධානයේ වෙබ්සයිට් එකේ මෙහෙම සඳහන් වුණා. “ආදායම් නොලබන සංවිධානයක් වන අපේ අරමුණ පරිසරයට හිතකර විදිහට ගොඩනැඟිලි ඉදි කිරීමට මහජනයාව උනන්දු කිරීමයි.” GBI සංවිධානයෙන් අලුතෙන් හදන ගොඩනැඟිලි පරිසරයට හිතකරද කියා පරීක්ෂා කර ඒ තොරතුරුවලට අනුව ගොඩනැඟිලිවලට ලකුණු දෙනවා. යම් ගොඩනැඟිල්ලකට දෙන ලකුණු ප්‍රමාණය තීරණය කරන්න කලින් GBI ආයතනයෙන් ලබාගත්ත තොරතුරුවල නිවැරදිභාවය ගැන වෙනත් ආයතනයක් හරහා සොයා බැලීමක් කරන්නත් සැලසුම් කරනවා. ඒ නිසා ඔවුන් පරීක්ෂා කරලා ලබාගන්නා තොරතුරු ඉතා නිවැරදියි කියලා කියන්න පුළුවන්.

එක්සත් ජනපදයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිසර හිතකාමී කාර්යාල නිර්මාණය කිරීමේ සම්බන්ධීකාරක ඩේවිඩ් බීන් මෙහෙම කිව්වා. “අපිට ලැබුණ මේ සම්මාන අපි ගොඩක් අගය කරනවා. අපේ සියලුම ගොඩනැඟිලි සහ ඉදි කිරීම් පරිසරයට හිතකර විදිහට හදන්න හැමෝම කොච්චර මහන්සි වෙලා තියෙනවාද කියලා මේ ලැබුණ සම්මානවලින් පැහැදිලියි. ඒ අවට තියෙන ස්ටර්ලින් වනාන්තරයේ සුන්දරත්වයටත් කිසිම හානියක් වෙලා නැහැ.”

කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ලේ හරිත වහල තනා තියෙන්නේ වතුර කාන්දු නොවන විදිහට සහ වැහි වතුර නොරැඳී ඒවා ගලා ගොස් එක් තැනකට එකතු වෙන විදිහටයි. ඒ වතුර නැවත භාවිතයට ගැනීම සඳහා පිරිසිදු කිරීමේ සැලැස්මක් පවා තියෙනවා.

සාක්ෂිකරුවන් වනාන්තරයේ ගස් පුළුවන් තරම් ආරක්ෂා කරන්න මහන්සි වුණා. කපලා දාපු ගස් ගොඩනැඟිලි වැඩවල ප්‍රයෝජනයට ගත්තා. ස්ටර්ලින් වනාන්තරයේ කටයුතු භාරව හිටිය කළමණාකරුවෙක් වන ජෙෆ්රි හට්චින්සන් මෙහෙම කිව්වා. “කපන ගස්වල ලී ඉදි කිරීමේ වැඩවලට පාවිච්චි කරපු එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. ඒ නිසා අවට පරිසරය අපවිත්‍ර වුණේ නැහැ. පරිසරය ආරක්ෂා කරන්න සාක්ෂිකරුවන් ගත්තු ක්‍රියාමාර්ග ඉතා විශිෂ්ටයි.” ෂයිනා වයින්ස්ටයින් මෙහෙම අදහස් දැක්වුවා. “පරිසරයට හිතකර විදිහට ගොඩනැඟිලි හදන්නේ කොහොමද කියන එකට වෝර්වික්වල සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය හොඳ ආදර්ශයක්.”

සාක්ෂිකරුවන්ගේ වෝර්වික් ගොඩනැඟිලි ව්‍යාපෘතියේ වැඩකටයුතු භාරව හිටපු රිචඩ් ඩිවයින් මෙහෙම කිව්වා. “අවුරුදු ගණනාවක්ම අපේ සංවිධානයෙන් බෘක්ලින්වල තියෙන ගොඩනැඟිලි ලස්සනට තියාගන්න හුඟක් මහන්සි වුණා. අපේ වෝර්වික්වල තියෙන ගොඩනැඟිලි පරිසරයට හිතකර විදිහටත් ඒ අවට තියෙන සුන්දර වටපිටාවට බාධාවක් වෙන්නේ නැති විදිහටත් තියාගන්න අපි බලාපොරොත්තු වෙනවා.”

මාධ්‍ය ප්‍රකාශක:

ඩේවිඩ් ඒ. සෙමෝනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: 1-845-524-3000

 

සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානය ඉදි කරන්න 2009 ජූලි 17වෙනිදා මිල දී ගත් ඉඩමේ ප්‍රමාණය අක්කර 253ක්. ඒත් ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කර තියෙන්නේ සියයට 20ක තරම් ඉඩම් ප්‍රමාණයක විතරයි.

ඉදි කරලා තියෙන මාර්ග දෙපස පස සෝදා යෑම වැළැක්වීමට ආවරණයක් සහ විවිධ ගල් වර්ග යොදා තියෙනවා.

ඉදි කිරීම් වැඩවලට ඉඩම සකස් කරද්දී ගොඩ ගත්තු විශාල ගල්. ගොඩ ගත් ටොන් 2,40,000කට වඩා වැඩි ගල් ප්‍රමාණයක් ඉදි කිරීම් වැඩ සඳහා යොදාගත්තා.

ගොඩනැඟිලි සංකීර්ණය අසල පිහිටි විලට අපද්‍රව්‍ය එකතු වීම වැළැක්වීම සඳහා ඉවුර දිගේ දමා තියෙන ආරක්ෂක වැට.

වැඩ බිමේ ඉවත දැමූ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා ගොඩ ගසා තියෙන අයුරු. ඉවත් කළ දේවලින් සියයට 70ක්ම ප්‍රතිචක්‍රීකරණය සඳහා යවනවා.

ප්‍රධාන පිවිසුම් මාර්ගය අසල මල් වවමින්. උයන් සකස් කිරීමේදී යොදාගෙන තියෙන්නේ ඒ පළාතේ වැවෙන මල් පැළ, ගස් සහ තණකොළ වර්ගයි.

භූතාප බලශක්තිය ලබාගන්න භූගත නළ පද්ධතිය සකසමින්. මේ නළ පද්ධතිය මීටර් 152ක් ගැඹුරුයි. පොළොව මතුපිට උෂ්ණත්වය කාලෙන් කාලෙට වෙනස් වුණත් භූගත උෂ්ණත්වය අවුරුද්ද පුරාම එකම මට්ටමේ තියෙනවා. ඒ නිසා සීත කාලෙදි ගොඩනැඟිලි උණුසුම් කරන්නත් රස්නේ කාලෙදි ගොඩනැඟිලි සීතලව තියාගන්නත් භූතාප ශක්තිය යොදාගන්නවා. මේ ක්‍රමය තුළින් ගොඩනැඟිලි සිසිල් කිරීමටත් උණුසුම් කිරීමටත් වැය වෙන ඉන්ධන ප්‍රමාණය සියයට 40කින් අඩු කරගන්න බලාපොරොත්තු වෙනවා.

කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ලේ ඇතුළත. ගොඩනැඟිලිවල ඇතුළත (උදා. තීන්ත, බිත්තිය සහ සිවිලිමට පහළින් යොදා තියෙන ආවරණය) සකස් කරලා තියෙන්නේ පරිසරයට හිතකර ගොඩනැඟිල්ලක තිබිය යුතු ප්‍රමිතියට අනුවයි. සේවය කරන අයගේ නිරෝගී සෞඛ්‍යයටත් මෙය දායක වෙනවා.