Skip to content

2015 ඔක්තෝබර් 7
ඔස්ට්‍රියාව

ආගමික විශ්වාසයන් වෙනුවෙන් දිවි පිදූවෙකුට ඵලකයක් ඉදී කරයි

ආගමික විශ්වාසයන් වෙනුවෙන් දිවි පිදූවෙකුට ඵලකයක් ඉදී කරයි

වියානාවල මයිඩ්ලින් දිස්ත්‍රික්කයේ නගරාධිපතිනිය වන ගාබ්‍රියෙලා වොටාවා ඵලකය විවෘත කරන අවස්ථාවේ කතාවක් ඉදිරිපත් කරමින්.

ඔස්ට්‍රියාවේ වියානා - 2015 මැයි 13වෙනිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන ගෙර්හාට් ස්ටයිනාකර්ට උපහාර පිණිස ඔහුගේ නිවස ඉදිරිපිට ඵලකයක් විවෘත කළා. මේ උපහාර උළෙලේ ප්‍රධාන දේශනය දුන්නේ මයිඩ්ලින් දිස්ත්‍රිකයේ නගරාධිපතිනිය වන ගාබ්‍රියෙලා වොටාවා. නාට්සිවරුන්, ස්ටයිනාකර්ව මරා දැම්මේ මීට අවුරුදු 75කට පෙරයි. ඒකට හේතුව තම ආගමික විශ්වාසයන් නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීමයි.

ඒ උපහාර උළෙල නම් කෙරුවේ “මම වෙඩි තියන්නේ නැහැ” කියලා ස්ටයිනාකර් කියපු වචනවලිනුයි. ඔහු එහෙම කිව්වේ නියම කරපු දඬුවම ලිහිල් කරන්න කියලා ආයාචනා කළ අවස්ථාවේදී. ඒකෙන් පැහැදිලි වුණේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියලා මතෙව් 19:19 සඳහන් යේසුස් දුන් උපදෙස පිළිපදින්න ඔහු කොයි තරම් වෑයමක් ගත්තද කියලයි.

පුංචි කාලේ ඉඳන්ම බයිබලේ ගැන ඉගෙනගත්තු ස්ටයිනාකර් අවුරුදු 17දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න තීරණය කෙරුවා. 1939 සැප්තැම්බර් 15වෙනිදා ඔහුව අත්අඩංගුවට ගත්තේ හමුදා සේවය සහ හිට්ලර්ට සහය දීම ප්‍රතික්ෂේප කරපු නිසයි. සති 6ක් වියානා බන්ධනාගාරයේ රඳවාගෙන හිටිය ඔහුව පසුව ජර්මනියේ බර්ලින්වල තිබුණු බන්ධනාගාරයකට යැව්වා.

1939 නොවැම්බර් 11වෙනිදා ඔහුගේ පළවෙනි නඩු විභාගයෙදීම ඔහු යුද්ධයට සහයෝගය නොදෙන කෙනෙක් හැටියට චෝදනා කරලා මරණ දඬුවම නියම කළා. යුද්ධයට සහයෝගය නොදෙන්නේ ආගමික විශ්වාසයන් නිසා කියලා පැහැදිලි කරපු ස්ටයිනාකර් තමන්ව ඒ චෝදනාවලින් නිදහස් කරන්න කියලා ඉල්ලා සිටියා. ඒත් 1940 මාර්තු 2වෙනිදා රයික් හමුදා උසාවිය ඔහුගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර සති හතරකට පසුව ඔහුව මරා දැම්මා. ඒ වෙනකොට ඔහුගේ වයස අවුරුදු 19යි.

ඵලයක විවෘත කළාට පස්සේ නගර ශාලාවේ ස්ටයිනාකර් පවුලේ අතීතය ගැන තොරතුරු ඇතුළත් ප්‍රදර්ශනයකුත් පැවැත්තුවා. ප්‍රදර්ශනය කරලා තිබුණු දේවල් අතරින් 1976දී හම්බ වුණු කුඩා පෙට්ටියක්ද තිබුණා. ඒ පෙට්ටියේ තිබුණේ ස්ටයිනාකර්ගේ මව සහ පියා ඔහුට ලියූ ලියුම් 28ක් සහ ස්ටයිනාකර් තම දෙමාපියන්ව සනසමින්, දිරිගන්වමින් හිරේ ඉඳන් ලියූ පෝස්කාඩ් 25ක් සහ ලියුම්.

ස්ටයිනාකර්ගේ මව මිය ගියේ 1976යි. ඔවුන්ගේ නිවසෙන් ලියුම් සහ පෝස්කාඩ් දැමූ මේ පෙට්ටිය හම්බ වුණා.

වියානා නගරයේ එක් පුවත්පතක මේ උළෙල ගැන මෙසේ සඳහන් කරලා තිබුණා. “මේ වගේ උපහාර උළෙලක් පවත්වපු එක අගය කරන්න ඕනේ. මෙච්චර කාලේකට දැනගෙන හිටියේ නැති ස්ටයිනාකර් මහතා ගැනත් ඔහුගේ නිර්භීතකම ගැනත් අද හැමෝටම දැනගන්න අවස්ථාව ලැබුණා.” ඒ ලිපියේ තවදුරටත් මේ විදිහට සඳහන් වුණා. “ඔහුගේ වටිනා ජීවිතේ පුජා කෙරුවේ ඔහු විශ්වාස කරපු, පිළිපැද්ද ප්‍රතිපත්ති වෙනුවෙනුයි.”—Wiener Bezirkszeitung.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

ඔස්ට්‍රියාව: යෝහන් සිමමන්, විමසීම්: +43 1 804 53 45

ජර්මනිය: වුල්ෆ්‍රම් ස්ලුපීනා, විමසීම්: +49 6483 41 3110