Skip to content

2016 පෙබරවාරි 3
කැනඩාව

උතුරු කැනඩාවේ දුෂ්කර පළාතක නිලධාරීන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ස්තුති කරයි

උතුරු කැනඩාවේ දුෂ්කර පළාතක නිලධාරීන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ස්තුති කරයි

ටොරොන්ටෝ - 2014 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී කැනඩාවේ ශාඛා කාර්යාලය විශේෂ බයිබල් අධ්‍යාපනික වැඩසටහනක් දියත් කළා. ඒ වැඩසටහනට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 150දෙනෙක් විතර සහභාගි වුණා. කැනඩාවේ දුෂ්කර පළාත්වල ඉන්න ජන කණ්ඩායම් 35කට අයිති අයට බයිබලයේ තියෙන දේවල් උගන්වන එක තමයි ඔවුන්ගේ කාර්යය වුණේ.

ජන කණ්ඩායම් 35කට අයිති මිනිසුන් 32,000කට වඩා වැඩි පිරිසක් මේ ගම්මානවල ජීවත් වෙනවා. කහ පාටින් ලකුණු කරලා තියෙන්නේ ඒ ගම්මාන. කොළ පාටින් දැක්වෙන්නේ මේ විශේෂ වැඩසටහන දියත් කරපු මුළු ප්‍රදේශයයි.

ඔවුන් කණ්ඩායම් විදිහට බෙදිලා ඇක්ලවික්වල ඉඳලා කොන්ගික්සුඅලොජුවක්වල සහ ක්විබෙක්වල ඉන්න අයව හමු වෙන්න ගියා. ඔවුන් සේවය කළේ වයඹ සිට නැඟෙනහිර දක්වා විහිදුණ, කිලෝමීටර් 3,300ක් පුරා පැතිරුණ විශාල ප්‍රදේශයක. ඒ සේවයට ගිය අය හැම දෙයක්ම කළේ තමන්ගේ වියදමින්මයි. සමහර අය ගුවන් ටිකට් පත් ලබාගන්න ඩොලර් දහස් ගණනක් වියදම් කළා.

මිනිසුන් 300ක් විතර ජීවත් වෙන පෞලාටුක් නගරයට සාක්ෂිකරුවන් ගියා. ඒක පිහිටලා තියෙන්නේ වයඹ ප්‍රදේශයේ තියෙන බියුෆර්ට් මුහුදු වෙරළ ආසන්නයෙයි.

කැනඩාවේ නුනාවුට් ප්‍රදේශයේ ප්‍රධාන භාෂාව වන ඉනුක්ටිටුට් භාෂාව රට පුරා ඉන්න 35,000දෙනෙක් විතර කතා කරනවා. ඒ නිසා ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක ඉනුක්ටිටුට් භාෂාවට පරිවර්තනය කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඒ වීඩියෝ එකෙන් මේ වැඩසටහනට ලැබුණේ ලොකු උදව්වක්.

ඇක්ලවික්වල විදුහල්පතිනියක් වන වෙල්මා ඉලේසියාක් මහත්මිය මේ වැඩසටහන ගැන තම අගය පළ කරමින් මෙහෙම කිව්වා. “ඔයාලා දුන්න පොත් පත් ළමයි කියෙව්වේ හරිම ආසාවෙන්. ඉස්කෝලේ ඉන්න යෞවන දරුවන් වෙනුවෙන් ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ කියන පොතේ වෙළුම් දෙකම ගෙන්නන්න අපි බලාපොරොත්තු වෙනවා. අපිව බලන්න ආවට ඔයාලට ගොඩක් ස්තුතියි.”

ක්විබෙක් ප්‍රදේශයේ ඉවුජිවික්වල නගරාධිපතිවරයා වන පීටර් ඉයයිටුක් මහතා ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක බැලුවට පස්සේ සාක්ෂිකරුවන් ගැන හුඟක් පැහැදුණා. ඔහු ඒ ගැන කොච්චර සතුටු වුණාද කියනවා නම් සාක්ෂිකරුවන්ට නගරය පෙන්නන්න පැය දෙකක් තිස්සේ ඔහුගේ වාහනයෙන් නගරය වටේ එක්කරගෙන ගියා. සාක්ෂිකරුවන් ආපහු යන්න පිටත් වෙද්දී ඔවුන්ව ගුවන් තොටුපොළට ගිහින් දැම්මෙත් මේ නගරාධිපතිමයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන ඩේවිඩි ක්‍රියමෝ ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක පීටර් ඉයයිටුක් මහතාට පෙන්වනවා.

කැනඩාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් වන මැතිව් රෝසන් මෙහෙම කිව්වා. “හැමෝටම බයිබලයේ තියෙන දේවල් උගන්නන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. මේ විශේෂ වැඩසටහනට සහභාගි වුණ අය දරපු වෑයම පොඩ්ඩක්වත් අපතේ ගිහින් නැහැ.”

මාස දෙකක් පුරා සාක්ෂිකරුවන් දියත් කරපු මේ වැඩසටහන නිසා ප්‍රකාශන 37,000කට වඩා බෙදා දෙන්න ඔවුන්ට පුළුවන් වුණා. 600දෙනෙක් විතර බයිබලයේ තියෙන දේවල් සාකච්ඡා කරන්න ඔවුන්ව හමු වෙන්න එන්න කියලත් කිව්වා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

කැනඩාව: මැතිව් රෝසන්, විමසීම්: +905 873 4100

 

ක්විබෙක් ප්‍රදේශයේ කුජුඅරාපික්වල තියෙන ගුවන් තොටුපළ

හඩ්සන් බොක්කට නැඟෙනහිරින් පිහිටි කුජුඅරාපික් නගරයට සාක්ෂිකරුවන් කණ්ඩායමක් ගියා.

සැල්ලුයිට් නගරය, ක්විබෙක්

සැල්ලුයිට් පිහිටලා තියෙන්නේ උතුරු ක්විබෙක්වල. එහේ 1,300කට වඩා වැඩි පිරිසක් ජීවත් වෙනවා.

ඉවුජිවික් නගරය, ක්විබෙක්

ඉවුජිවික් පිහිටලා තියෙන්නේ උතුරු ක්විබෙක්වල. එහේ ජනගහනය 400ක් විතර වෙනවා.

ඉවුජිවික් නගරය, ක්විබෙක්

ඩේවිඩි ක්‍රියමෝ, නගරාධිපති පීටර් ඉයයිටුක් මහතා එක්ක නගරය බලන්න යනවා.

ඉවුජිවික් නගරය, ක්විබෙක්

තරුණියක් ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක බලනවා.

පෞලාටුක් නගරය, වයඹ ප්‍රදේශය

300දෙනෙක් විතර ඉන්න මේ පුංචි නගරයේ ගෙවල් තියෙන්නේ මුහුද දෙසට නෙරා ගිය පටු බිම් තීරයක.

උමියුජාක් නගරය, ක්විබෙක්

යුවළක් සහෝදර ජුලියන් පිනාර්ඩ්ට බයිබලය ගැන සාකච්ඡා කරන්න තමන්ගේ නිවසට එන්න කිව්වා. මේ නගරයේ 450දෙනෙක් විතර ජීවත් වෙනවා.

උමියුජාක් නගරය, ක්විබෙක්

උතුරු ක්විබෙක්වල දෙන්නෙක් රොක්සෑන් පිනාර්ඩ් (දකුණේ) එක්ක ගත් ඡායාරූපයක්.

පුවිර්නිටුක් නගරය, ක්විබෙක්

උතුරු ක්විබෙක්වල තියෙන මේ නගරයේ මිනිසුන් 1,700ක් විතර ජීවත් වෙනවා.