Skip to content

2017 පෙබරවාරි 24
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

ආගම නිසා පාසැල් දරුවන්ට කරන වෙනස්කම්වලට කොංගෝ ජනරජයෙන් තහනමක්

ආගම නිසා පාසැල් දරුවන්ට කරන වෙනස්කම්වලට කොංගෝ ජනරජයෙන් තහනමක්

“දරුවන්ට වෙනස්කම් කිරීමට සහ අසාධාරණ විදිහට සැලකීමට එරෙහි වීම ජාතික අධ්‍යාපනයේ මූලික අංගයක්.” - 2014 ජූනි 12වෙනිදා. ලේකම් කාර්යාල, අධ්‍යාපන අමාත්‍යාංශය.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තියෙන ආගමික සංවිධානවල අනුග්‍රහය ලබන පාසැල් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දරුවන්ව අවුරුදු කිහිපයක් තිස්සේ විටින් විට පාසැල්වලින් ඉවත් කරලා තියෙනවා. ඒකට හේතුව ඒ දරුවන් වෙනත් ආගමික වැඩසටන්වලට සහභාගී වෙන්නේ නැති වීමයි. තම තමන්ගේ පාසැල්වල තියෙන නීති රීති නිසා පාසැල් අධිකාරීන් විසින් රටේ නීති කඩ කිරීමත් දරුවන්ගේ මූලික අයිතිවාසිකම් නොසලකා හැරීමත් ගැටලුවක් වුණා. මේ අසාධාරණය තේරුම්ගත්ත කොංගෝ රටේ බලධාරීන් නිදහසේ අධ්‍යාපනය ලබන්න දරුවන්ට තියෙන අයිතිය තහවුරු කරන්න පියවර ගත්තා.

පල්ලිවල අනුග්‍රහය ලබන පාසැල් ක්‍රියාත්මක කරන්නේ තම තමන්ගේ නීති ආණ්ඩුවේ නීති නෙමෙයි

අවශ්‍යතා ඇති ප්‍රදේශවල තියෙන ආණ්ඩුවේ පාසැල්වලට තම අනුග්‍රහය ලබා දීමට ආගමික සංවිධාන කොංගෝ ආණ්ඩුවත් එක්ක ගිවිසුම් ඇති කරගෙන තියෙනවා. ඒ ගිවිසුම්වල මෙහෙම පැහැදිලිව සඳහන් වෙනවා. “වෙනත් ආගම්වලට අයිති දරුවන්ට වෙනස්කම් කිරීමටහෝ ඔවුන්ගේ අදහස්වලට අගෞරව කිරීමට පොලඹවන ක්‍රියාවලින් දරුවන්ව ආරක්ෂා කළ යුතුයි.” ඒත් ඒ වගේ පාසැල්වල අධිකාරීන් තමන්ගේ ආගමික වැඩසටහන්වලට හවුල් වෙන්න ඕනෙමයි කියලා ශිෂ්‍යයන්ට බල කරලා තියෙනවා. ඒකෙන් ඒ පාසැල් අධිකාරීන් කරලා තියෙන්නේ ආණ්ඩුවත් එක්ක ඇති කරගත්ත ගිවිසුමත් තමන්ගේ ආගම නිදහසේ අදහන්න ශිෂ්‍යයන්ට තියෙන අයිතියත් නොසලකා හැරීමයි.

2005දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන දරුවන් 52දෙනෙක්ව පල්ලියේ අනුග්‍රහය ලබන පාසැලකින් ඉවත් කරපු අවස්ථාවේදී මේ ගැටලුව දරුණු වුණා. පාසැලේ අධිකාරීන් සංවිධානය කළ පල්ලියේ මෙහෙයකට සහභාගී නොවී ඉන්න ඒ දරුවන් අවසර ඉල්ලීම තමයි ඒකට හේතුව. ඒ පාසැල තිබුණේ ඊක්වේට පළාතේ අබුමෝම්බාසිවල. වෙනත් පළාත්වලත් තියෙන ඒ වගේ පාසැල් ඒ දේම කරන්න පටන්ගත්තාම ප්‍රශ්නය තවත් උග්‍ර වුණා. ඉක්මනින් හැම ශ්‍රේණියකින්ම වගේ හිටපු සාක්ෂිකරුවන් වන ශිෂ්‍යයන් 300කට වැඩි ගාණක් පාසැල්වලින් ඉවත් කරලා තිබුණා. උසස් පෙළ විභාගයට ළං වෙලා හිටපු ශිෂ්‍යයනුත් ඒ අතර හිටියා.

2009දී අසාධාරණ විදිහට පාසැලෙන් ඉවත් කරපු 13න් හැවිරිදි කැන්යෙරේ න්ඩාවාරෝ මෙහෙම ලිව්වා. “මගේ ජීවිතයට වෙච්ච මේ පාඩුව ගැන හිතනකොට මට හරි දුකයි. මගේ අනාගතයට මොකක් වෙයිද කියලා මම දන්නේ නැහැ.” තමාගේ ජීවිතය “කනපිට පෙරළුනා” කියලා 2010දී උසස් පෙළ විභාගයට දින කිහිපයකට කලින් පාසැලෙන් ඉවත් කරපු කම්බරි මාෆිකා ජස්ටින් කිව්වා. අධ්‍යාපනය හෝ සහතිකයක් නොලැබීම ගැන ඒ ශිෂ්‍යයන් දුක් වුණත් එයාලා තම ආගමික විශ්වාසයන් පාවලා දුන්නේ නැහැ.

ආගම නිදහසේ අදහන්න තියෙන අයිතිය කොංගෝ රටේ බලධාරීන් තහවුරු කරයි

පාසැල්වලින් ඉවත් කරපු දරුවන්ගේ දෙමව්පියන් ගැටලුව විසඳීමට පාසැල් කලමණාකරණයට සම්බන්ධ අයත් එක්ක කතා කළත් ඒක එච්චර සාර්ථක වුණේ නැහැ. ඊටපස්සේ සාක්ෂිකරුවන් ආණ්ඩුවේ බලධාරීන් එක්ක ඒ කාරණය ගැන කතා කළා. ඒ අය අතර ආගම නිසා දරුවන්ට සිදු කරන වෙනස්කම් නවතා දැමීමට පියවර ගත්ත සාධාරණ නිලධාරීන්ව හම්බ වුණා.

2011දී උතුරු කිවූ ප්‍රදේශයේ අධ්‍යාපන ඇමති වන බාසිසානේ මහේෂෙ මැතිනිය “ආගම නිසා වෙනස්කම් කිරීම තහනම්” කියන මාතෘකාවෙන් ප්‍රාදේශීය චක්‍රලේඛයක් නිකුත් කළා. එහෙම කරන එක “හෙළාදැකිය යුතුයි” කියලා ඒකේ විස්තර කරලා තිබුණා. “සමහර ආගම්වලට අයිති ශිෂ්‍යයන්ට පාසැලේදී වෙනස්කම් කරනවා. ඒකට හේතුව ඒ පාසැල් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නීතිවලට වඩා තමන්ගේ පාසැලේ නීති රීති ක්‍රියාත්මක කිරීම වැදගත් කියලා හිතන නිසයි” කියලා ඒ චක්‍රලේඛයේ තවදුරටත් සඳහන් වුණ.

2013 සැප්තැම්බර් 4වෙනිදා ඒ ප්‍රශ්නයට ආණ්ඩුවේ අවධානය ලැබුණා. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අධ්‍යාපන ඇමති ම්වංගු ෆම්බා හැම දිස්ත්‍රික්කයකම තියෙන හැම පාසැලකට අදාළ නියෝගයක් එදා නිකුත් කළා. “ආගම නිසා වෙනස්කම් කිරීම තහනම් කිරීම පිළිබඳ චක්‍රලේඛයේ” ඉතා පැහැදිලිව මෙහෙම සඳහන් වුණා. “තමන් කැමති ඕනෙම පාසැලක ඉගෙනගැනීමට හැම දරුවෙක්ටම අයිතියක් තියෙනවා. ආගම නිසා ඔවුන්ට කිසිම විදිහක වෙනස්කමක් නොකළ යුතුයි.” ඒ වගේම ආගමික හේතු මත ශිෂ්‍යයන්ව පාසැලෙන් ඉවත් කිරීම “කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ක්‍රියාත්මක වන නීති සහ ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ” බවත් ඒ චක්‍රලේඛයේ සඳහන් වුණා.

හුඟක් පාසැල් ඒ නිල නියෝගයට කීකරු වෙලා සාක්ෂිකරුවන්ගේ දරුවන්ව නැවත පිළිගෙන තියෙනවා. ඒ වුණත් සමහර පාසැල් ඒකට විරුද්ධ වුණා. ඒ නිසා 2013 සැප්තැම්බර් මාසයේදී නිකුත් කළ නියෝගය ආයෙත් තහවුරු කරලා අධ්‍යාපන අමාත්‍යංශය 2014 ජූනි 12වෙනිදා ලිපියක් නිකුත් කළා. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති විසින් අධ්‍යාපනය ගැන නිකුත් කළ අලුත් නීති මාලාවත් ඒකේ සඳහන් වුණා. * දරුවන්ට වෙනස්කම් කිරීමට විරුද්ධ වීම කොච්චර වැදගත්ද කියලත් පාසැලේ නීති වෙනුවට ජාතික සහ ජාත්‍යන්තර නීතිවලට යටත් වීම වැදගත් කියලත් ඒ ලිපියේ වැඩි දුරටත් සඳහන් වුණා. රට පුරා තියෙන පාසැල් ඒ නියෝගයට යටත් වෙනවාද කියලා හොයලා බලන්න අධ්‍යාපන ඇමති පරීක්ෂකවරුන්වත් පත් කළා. ආණ්ඩුව ගත්ත මේ පියවර නිසා හොඳ ප්‍රතිඵල ලැබෙනවාට කිසිම සැකයක් නැහැ.

හුඟදෙනෙකුට ප්‍රයෝජන

කොංගෝ රටේ පාසැල් රටේ නීතියට එකඟව වැඩ කරනකොට හැම ශිෂ්‍යයෙකුටම වෙනත් ආගම්වලට අත පෙවීමක් නැතුව නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒ වගේම එක් එක්කෙනාගේ විශ්වාසය මොකක් වුණත් හැමෝටම ගරු කරන්න පාසැල් දරුවන් ඉගෙනගන්නවා. කොංගෝ රටේ පාසැල් අධිකාරීන් ඒ විදිහට කරද්දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ව්‍යවස්ථාවට වගේම අධ්‍යාපන ඇමතිගේ නියෝගයටත් ගරු කරනවා. ඒ විතරක් නෙමෙයි සාධාරණකම සම්බන්ධයෙන් ඒ පාසැල් අධිකාරීන් ශිෂ්‍යයන්ට හොඳ ආදර්ශයක් වෙනවා කියලා ස්ථිරයි.

^ No. 014/004/2014 “අධ්‍යාපනය සම්බන්ධයෙන් නිකුත් කළ අලුත් නීති මාලාවෙන්  . . . තමන්ගේ දරුවන්ව තමන් කැමති පාසැලකට දැමීමට දෙමව්පියන්ට නිදහස ලබා දෙනවා. . . . දරුවන්ට වෙනස්කම් කිරීමට සහ අසාධාරණ විදිහට සැලකීමට එරෙහි වීම ජාතික අධ්‍යාපනයේ මූලික අංගයක්.”