Skip to content

2015 මැයි 15
චිලී

මඩ ගංගාවලින් යට වී ගිය චිලීවලට සාක්ෂිකරුවන්ගෙන් සහන සේවා

මඩ ගංගාවලින් යට වී ගිය චිලීවලට සාක්ෂිකරුවන්ගෙන් සහන සේවා

කොපියාපෝ නගරයේ ජලය සහ මඩවලින් යට වුණු නමස්කාර මධ්‍යස්ථානයක්.

චිලීවල සන්තියාගො - 2015 මාර්තු 25වෙනිදා උතුරු චිලීවල අටකාමා ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා මුළු ප්‍රදේශයම මඩවලින් යට වී ගියා. මේ වගේ දරුණු තත්වයක් උදා වුණේ අවුරුදු 80කට පස්සෙයි. 30,000කට වැඩි පිරිසක් මේ විපතට ගොදුරු වුණා. උන්හිටිතැන් අහිමි වුණ 3,000දෙනෙක්ට තාවකාලික කඳවුරුවලට යන්න සිද්ධ වුණා. අඩුම තරමින් 25දෙනෙක්වත් මිය ගියා.

චිලීවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය වාර්තා කළේ කිසිම සාක්ෂිකරුවෙක් මිය ගියේවත් දරුණු විදිහට තුවාල ලැබුවේවත් නැහැ කියලයි. ඒත් ඔවුන්ගේ නිවාස 7ක් කැඩී බිඳී ගිහින් තවත් නිවාස රැසකට හානි සිද්ධ වුණා. නමස්කාර මධ්‍යස්ථානයකුත් සම්පූර්ණයෙන්ම කැඩී බිඳී ගියා. තවත් 2කට හානි සිද්ධ වුණා.

දරුණු විපත්වලට ගොදුරු වුණ ඩියේගෝ ඩි ඇල්මග්‍රෝ නගරයේ දේපළ හානියට ලක් වෙලා.

කොපියාපෝ කියන්නේ ව්‍යසනයට ලක් වුණ දරුණුම නගරයයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට ලක් වුණ අය ගැන තොරතුරු ලබාගන්නත් පිරිසිදු කිරීමේ කටයුතු ඉක්මනින්ම කරන්නත් සහන සේවා කමිටු පිහිටෙව්වා. ව්‍යසනයට ලක් වුණ ප්‍රදේශවල ඉන්න සාක්ෂිකරුවන්ට දේවවචනයෙන් සහනය හා දිරිගැන්වීම් ලබා දෙන්න ශාඛා කාර්යාලයේ නියෝජිතයෙක්වත් යැව්වා. ඇන්ටොෆගස්ටා, ඇරිකා, කලාමා, කල්දේරා, ඉකීකේ සහ ලා සෙරෙනා කියන නගරවල සාක්ෂිකරුවන් විපතට පත් වුණ සෙසු නමස්කාරකයන්ට සහනාධාර යැව්වා.

ඇල්ටො හොෂ්පිසියෝ නගරයේ තියෙන නමස්කාර මධ්‍යස්ථානයෙන් විපතට පත් වුණ අයට සහනාධාර යවන්න සූදානම් වෙනවා.

චිලීවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නියෝජනය කරන ජේසන් රීඩ් මෙහෙම කිව්වා. “මේ ව්‍යසනයට ගොදුරු වුණ අයගේ තත්වය අපිට තේරෙනවා. ඒ අයට දිගටම උදව් කරන්නත් නිවාස ආපහු ඉදි කරලා දෙන්නත් අපේ සහන සේවා කමිටු සූදානමින් ඉන්නවා. ඒ හැම කෙනෙක්ටම සහනයයි, දිරිගැන්වීමයි දෙන්න අපි හිතාගෙන ඉන්නවා.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

චිලී: ජේසන් රීඩ්, විමසීම්: +56 2 2428 2600