Skip to content

2014 නොවැම්බර් 26
ජපානය

හිරෝෂිමාවල නාය යෑමෙන් පීඩා විඳින අයට සාක්ෂිකරුවන් උදව් කරයි

හිරෝෂිමාවල නාය යෑමෙන් පීඩා විඳින අයට සාක්ෂිකරුවන් උදව් කරයි

ජපානයේ එබිනා - 2014 අගෝස්තු 20වෙනිදා උදෑසන හිරෝෂිමාවලට නොකඩවා ඇද හැළුණ ධාරානිපාත වැස්ස හින්දා 74දෙනෙක් විතර මිය ගියා. 1,600කට වඩා වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමි වුණා. ජපානයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය කියන්නේ සාක්ෂිකරුවන් එක් කෙනෙක්වත් මේ අනතුරෙන් මිය ගියේ හෝ තුවාල ලැබුවේ නැහැ කියලයි. ඒත් ඔවුන්ගේ නිවාස 8කට හානි සිදු වුණා.

හිරෝෂිමාවල හානියට ලක් වුණ නිවසක ඇතුළ.

පැය 3ක කෙටි කාලයකදී මිලිමීටර් 218ක විතර වැසි ඇද හැළුණා. ඒකෙන් සිද්ධ වුණ හානිය විශාලයි. ඒ ආපදාවෙන් මිනිසුන්ව බේරගන්න රජය ක්‍රියාත්මක වුණා. ඒ වගේම ජපානයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයත් ඉක්මනින්ම සහන සේවා කමිටුවක් පිහිටුවලා පිරිසිදු කිරීමේ කටයුතුවලට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණ සාක්ෂිකරුවන්ව සංවිධානය කළා. ඔවුන් ගෙවල්වලට ගහගෙන ආව කුණුයි, මඩයි ඉවත් කරන්න පියවර ගත්තා. ආපහු පාවිච්චියට ගන්න පුළුවන් භාණ්ඩ පැත්තකින් ගබඩා කරලා පිරිසිදු කරපු තැන්වලට විෂබීජ නාශක යෙදුවා.

සාක්ෂිකරුවන් නිවසක තියෙන මඩ ඉවත් කරනවා.

ආපදා තත්වයෙන් බේරුණු සාක්ෂිකාරියක් අනිත් අයට උදව් කරන්න ගත්ත උත්සාහයක් ගැන ජපානයේ පුවත්පතක (Yomiuri Shimbun) සඳහන් කරලා තිබුණා. හිරෝෂිමාවල යගී කියන පළාතේ ජීවත් වෙන කයෝකෝ නාකාමිසෝ ඇගේ ගෙදරින් ඉක්මනින්ම එළියට පැනගෙන “අහළ පහළ ගෙවල්වලට තට්ටු කරලා එයාලගේ ආරක්ෂාව ගැන හොයලා බැලුවා” කියලා ඒ පුවත්පතේ සඳහන් වෙනවා. ඒ නිසා එක අසල්වැසියෙක්ගේ ජීවිතය බේරන්නත් අනිත් අයට ඒ පළාතෙන් බේරිලා යන්න උදව් කරන්නත් ඇයට පුළුවන් වුණා.

ජපානයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නියෝජනය කරන ඉචිකී මෑට්සුනගා මෙහෙම කිව්වා. “මේ ආපදාවට ලක් වුණ අය ගැන අපි හුඟක් කනගාටු වෙනවා. අපිත් දුෂ්කර තත්වයට මුහුණ දීලා හිටියත් යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් මානසිකව වැටෙන්නේ නැතුව ඉඳලා අපේ අසල්වැසියන්ට අවශ්‍ය උදව් ලබා දෙන්නත් එයාලව සනසන්නත් ලොකු උත්සාහයක් දරනවා.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

ජපානය: ඉචිකී මෑට්සුනගා, විමසීම්: +81 46 233 0005