Skip to content

2014 අප්‍රියෙල් 7
ජර්මනිය

ඝාතක කඳවුරුවලින් බේරී ආ වයස අවුරුදු 102ක් වූ රිෂාඩ් රූඩොල්ෆ් ජර්මනියේදී මිය යයි

ඝාතක කඳවුරුවලින් බේරී ආ වයස අවුරුදු 102ක් වූ රිෂාඩ් රූඩොල්ෆ් ජර්මනියේදී මිය යයි

ජර්මනියේ සෙල්ටර්ස්වල හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණ රිෂාඩ් රූඩොල්ෆ් මහතා මුලින් නාට්සි ඝාතක කඳවුරු පහක හිටියා. ඊටපස්සේ කොමියුනිස්ට් පාලනය යටතෙත් අවුරුදු ගණනාවක්ම ඔහු හිරේ ඉඳලා තියෙනවා. 2014 ජනවාරි 31වෙනිදා මිය යනකොට ඔහුට වයස අවුරුදු 102යි.

1933දී නාට්සි පාලනය පටන්ගත්තාම ජර්මනියේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කළා. සාක්ෂිකරුවන් 11,300දෙනෙක්ව හිරේට ගත්තා. ඒ අයගෙන් 4,200දෙනෙක්ව ඝාතක කඳවුරුවලට දැම්මා. රූඩොල්ෆ් මහතා ඒ අයගෙන් එක් කෙනෙක්. හිරේට ගත්ත අයගෙන් 1,500දෙනෙක්ට ජීවිත අහිමි වුණා. නාට්සි පාලනය යටතේ රූඩොල්ෆ් මහතා අවුරුදු 9ක් ඝාතක කඳවුරුවල හිටියා. ඒ ඝාතක කඳවුරුවලින් සාක්සන්හවුසන් සහ නොයියන්ගාම කියන්නේ දරුණුම කඳවුරු දෙකක්. ඒ කඳවුරු දෙකේ 3,00,000කට වැඩිදෙනෙක් හිර කරලා හිටියා. ඒ අයගෙන් 1,40,000ක් විතර මිය ගියා.

1940දී නොයියන්ගාම ඝාතක කඳවුරට යැව්ව හිරකරුවන්ගෙන් එක් කෙනෙක් රිෂාඩ් රූඩොල්ෆ් (වහලේ දකුණු කෙළවරේ).

1944දී රූඩොල්ෆ් මහතාව නොයියන්ගාම කඳවුර යටතේ තිබුණ සාල්ස්ගිටර් කඳවුරට යැව්වා. ඔහුගේ ආගමික විශ්වාසය හින්දා ඔහු යුධ අවි නිෂ්පාදනයට කොයිම විදිහකින්වත් හවුල් වුණේ නැහැ. ඒ නිසා ඔහුව මරා දමන්න නියෝග කළා. කොහොමවුණත් රූඩොල්ෆ් මහතාගේ විශ්වාසය ගැන පුදුම වුණ නාට්සි හමුදාවේ කාරුණික එස්. එස්. බලධාරියෙක් ඔහුව ආහාර ගෙන එන ට්‍රක් එකක හැංගුවා. ඒ නිසා ඔහුගේ ජීවිතය බේරුණා.

දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් හැටියට රූඩොල්ෆ් මහතා ජර්මනියේ සෝවියට් පාලනය යටතේ තිබුණු ප්‍රදේශවල ඔහුගේ ආගමික කටයුතු කරගෙන ගියා. ඒ ප්‍රදේශ පස්සේ කාලෙක හැඳින්නුවේ ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව කියලයි. ආපහු ඔහුව 1950දී අත්අඩංගුවට අරන් සිරගත කළා. ඔහුගේ ආගමික විශ්වාසයන් නිසා අවුරුදු 19කට වඩා වැඩි කාලයක් ඔහු සිරගත වෙලා හිටියා.

ඈන් ජැක්ලින් ෆ්‍රයිසර් සහ රිෂාඩ් රූඩොල්ෆ්. මොහුගේ ජීවිත කතාව ලියපු ලිපියටයි 2009දී ඇයට සම්මානයක් හිමි වුණේ.

දශක ගණනාවක් පුරා රිෂාඩ් රූඩොල්ෆ් බයිබලයේ තියෙන පණිවිඩය ගැනත් අසාධාරණය නිසා තමන් අත්වින්ද දේවලින් ඉගෙනගත්ත පාඩම් ගැනත් අනිත් අය එක්ක බෙදාගත්තා. 2009දී ජර්මනියේ ජනාධිපතිගේ මූලිකත්වයෙන් පැවැත්තුව තරඟයකින් (Federal President’s History Competition) ඈන් ජැක්ලින් ෆ්‍රයිසර් කියන ජර්මන් ජාතික ශිෂ්‍යාව සම්මාන දෙකක් දිනාගත්තා. ඒ සම්මාන දිනාගත්තේ සමාජයේ අවධානයට ලක් නොවුණ විරුවන් ගැන ඇය ලියපු ලිපියකටයි. ඒ ලිපියට ඇය රිෂාඩ් රූඩොල්ෆ්ගේ ජීවිත කතාව වගේම ඔහු එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවත් ඇතුළත් කළා. ඒ තරඟයෙන් මුල් ස්ථාන ලබාගත්ත ශිෂ්‍යයන් තුන්දෙනා අතරින් ඇය එක් කෙනෙක්. ඒ වගේම රේන්ලන්ඩ් ප්‍රාන්තයෙනුත් ඒ ලිපියට ඇය පළවෙනි ස්ථානය දිනාගත්තා.

ජර්මනියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය ප්‍රකාශකයෙක් වන වුල්ෆ්‍රම් ස්ලුපින කියන්නේ මෙහෙමයි. “රිෂාඩ් රූඩොල්ෆ් අපිත් එක්ක යෙහෝවා දෙවියන්ට නමස්කාර කරපු ආදරණීය මිත්‍රයෙක් විතරක් නෙමෙයි ඉතිහාසය ගැන වටිනා තොරතුරු දායාද කරපු අපේ ඇගයීමට ලක් වෙන්න ඕන කෙනෙක්. ඔහුගේ නොසැලෙන විශ්වාසය සහ නිර්භීතකම අපි හැමෝටම ආදර්ශයක්.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

ජර්මනිය: වුල්ෆ්‍රම් ස්ලුපින, විමසීම්: +49 6483 41 3110