2021 ජනවාරි 14
තුර්ක්මෙනිස්ථානය
“යෙහෝවාගේ උදව්වෙන් මං මේක දරාගත්තා”
ආගමික විශ්වාසයන් මත හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු නිසා සහෝදර එසිස් ආටාබයෙව්ට තුර්ක්මෙනිස්ථානයේ අවුරුදු දෙකක සිරදඬුවමක් විඳින්න වුණා. ඒ කාලේ පුරාම එයා විශ්වාසවන්තව ඒක දරාගත්තා. 2020 දෙසැම්බර් 19වෙනිදා එයාව නිදහස් කළා. ආගමික විශ්වාසයන් මත හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු නිසා පහුගිය අවුරුදු දහය පුරාම සහෝදරයන් 46දෙනෙක්ව ඒ රටේ සිරගත කරලා තියෙනවා.
සහෝදර එසිස්ගේ කතාව පටන්ගත්තේ 2016දී. ඒ එයාට හමුදාවට බැඳෙන්න කියලා නියෝගයක් ආවාම. එයාගේ විශ්වාසයන් නිසා ඒකට බැඳෙන එක එයා ප්‍රතික්ෂේප කළා. ඒ නිසා රජයෙන් එයාට විරුද්ධව නඩුවක් දැම්මා. අවුරුදු දෙකකට විතර පස්සේ එයාව නඩු විභාගයකට කැඳෙව්වා. 2018 දෙසැම්බර් 19වෙනිදා උසාවියෙන් එයාට අවුරුදු දෙකක සිරදඬුවමක් නියම කළා.
එසිස් මෙහෙම කියනවා. “හිරේ යන්න කලින් මේ තත්වයට මුහුණ දීපු, හිරේ ගිහින් ආපු හුඟක් සහෝදරයන් එක්ක මං කතා කළා. සහෝදරයන්ගේ ජීවිත කතා අපේ ප්‍රකාශනවලින් කියෙව්වා. ශක්තියක් ලැබෙන පද බයිබලෙන් කියෙව්වා.”
“නඩුව තියෙන දවසේ උදේ සහෝදරයෙක් මට යෙසායා 30:15 පෙන්නුවා. එතන කියනවා ‘කලබල නොවී මා කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ ශක්තිමත් වන්නහුය’ කියලා. සන්සුන්ව ඉඳලා යෙහෝවා ගැන විශ්වාසය තියන්න ඒ පදේ මට සෑහෙන්න උදව් වුණා. ඒ පදේ ගැන හොඳට හිතපු එක හිරේ හිටපු කාලේ පුරාම දරාගන්න මට උදව් වුණා.”
හිරගෙදර ජීවිතය හරිම අමාරුයි. හැබැයි සහෝදර එසිස්ට ඔක්කොටම වඩා අමාරු වුණේ එයාගේ පවුලේ අයගෙන් වෙන් වෙලා ඉන්න එක. එයා කියන දේ බලන්න. “ඒ කාලේදී මාත් එක්ක හිරේ හිටපු සහෝදරයන්ට මං ගොඩක් ළං වුණා. එයාලා මගේ හොඳ යාළුවෝ වුණා. පවුලේ අය, යාළුවෝ නැති දුක මකාගන්න මට උදව් වුණේ එයාලා.”
සහෝදර එසිස් පුළුවන් හැම වෙලාවකම එයාගේ විශ්වාසයන් ගැන අනිත් අයත් එක්ක කතා කළා. එයා මෙහෙම කියනවා. “මුලින් නං සමහරු මං පණිවිඩේ ගැන කියද්දී එච්චර කැමති වුණේ නෑ. හැබැයි කාලයක් යද්දී එයාලා ඇහුම්කන් දෙන්න ගත්තා. අලුතින් කවුරු හරි හිරේට ආවාම එයාලා මාව දන්නේ නැති නිසා එයාලත් මං කියන දේ අහන්න කැමති වුණේ නෑ. ඒත් ඒ වෙලාවට කාලයක් තිස්සේ හිරේ හිටපු, මට ඇහුම්කන් දීපු අය මගේ පැත්තට කතා කළා. එයාලා මගෙන් ඉගෙනගත්ත දේවලුත් අලුත් අයට කියලා දුන්නා.”
ඉස්සරහට එන්න තියෙන පීඩාවලට මුහුණ දෙන්න අපිට උදව්වක් විදිහට සහෝදර එසිස් මෙහෙම කියනවා. “මං ඔයාලට කියන්නේ පුළුවන් තරම් ගැඹුරට ගිහින් බයිබලේ අධ්‍යයනය කරන්න. කිසිම දෙයක් හංගන්නේ නැතුව හැම දේම යෙහෝවා එක්ක බෙදාගන්න. ඔයාට හිතෙන දේවල්, ඔයාට බයක් දැනෙන දේවල් හැම එකක්ම ඔහුට කියන්න.”
“යෙහෝවාගේ උදව්වෙන් මං මේක දරාගත්තා. මොන දේ වුණත් යෙහෝවා මගේ උදව්වට ඉන්නවා කියලා මට සැක නෑ. ඒ නිසා ඉස්සරහට මොනවා වුණත් මං බයත් නෑ.”—ගීතාවලිය 118:6.