Skip to content

සහෝදරී ඔලීනා බෝම්බ පිපිරීම නිසා බරපතළ විදිහට හානි වුණ එයාගේ ගේ ඉස්සරහා ඉඳන් ඉන්නවා. සහෝදර සහෝදරියෝ ඉක්මනින්ම එයාගේ උදව්වට ආවා

2022 ජූලි 4
යුක්රේනය

අලුත්ම තත්වය අංක 10 | යුද ගිනි මැද ආදරය පැතිරෙයි

“ආදරණීය, ධෛර්යවන්ත, විශ්වාසය තියන්න පුළුවන්” වැඩිමහල්ලෝ

අලුත්ම තත්වය අංක 10 | යුද ගිනි මැද ආදරය පැතිරෙයි

යුක්රේනයේ ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියෝ එකිනෙකාට උදව් කරගන්න එක දශමයකින්වත් අඩු කරලා නැහැ. එයාලා අනිත් සහෝදර සහෝදරියන්ට උදව් කරන්නේ තමන්ගේ ජීවිතත් පරදුවට තියලා.

සහෝදරී ඔලීනාට වයස අවුරුදු 81යි. ජූනි 6වෙනිදා එයාගේ ගේ ළඟම බෝම්බයක් පිපිරුවා. ඒකෙන් එයාගේ ගෙට අල්ලපු ගේ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. බෝම්බේ වැටුණ තැන අඩි 23ක් ගැඹුර වළක් හෑරුණා. ඒ බෝම්බේ කොච්චර ප්‍රබලද කියනවා නම් ඔලීනාගේ ගෙටත් බරපතළ හානි වුණා.

එයා මෙහෙම කියනවා. “මං හිටියේ නිදාගෙන. එකපාරටම බිත්තියක් මගේ ඔලුවේ වැදෙන නොවැදෙන ගාණට කඩන් වැටුණා. මුළු කාමරේම දූවිල්ලෙන් වැහිලා අඳුරු වුණා. වීදුරුයි ගලුයි හැම තැනම. පණ පිටින් බේරුණු එක ගැන මම යෙහෝවා දෙවියන්ට ගොඩක් ස්තුති කරනවා.” බෝම්බේ පිපිරිලා විනාඩි කීපයක් ඇතුළත සභාවේ සහෝදර සහෝදරියෝ සහෝදරී ඔලීනාව බලන්න ආවා. ඒ අය අතරේ හිටපු එක සහෝදරයෙක්ගේ ගෙදරටත් බරපතළ හානි වෙලා තිබුණා. සහෝදරී ඔලීනා මෙහෙමත් කිව්වා. “වෙලා තියෙන දේ දැක්කාම සහෝදරයෝ ගල් ගැහුණා. මොනවා කියන්නද කියලා එයාලට හිතාගන්න බැරි වුණා. එත් එයාලා ආපු එකෙන් මං ගොඩක් දිරිගැන්නුණා. ඒ වෙලාවේ එයාලා මං ළඟින්ම හිටපු එක කොච්චර දෙයක්ද!”

සහෝදර සර්හී, සභාවේ යෞවනයන් එක්ක නිතරම සහෝදරී ඔලීනාව බලන්න යන වැඩිමහල්ලෙක්. එයා මෙහෙම කියනවා. “සහෝදරී ඔලීනාගේ ගෙවල් ගාව බෝම්බයක් පිපිරුණා කියලා දැනගත්තාම මම හොඳටම බය වුණා. ලොකු දුකක් දැනුණා. ඒත් පොඩි පොඩි තුවාල ඇරෙන්න එයාට වෙන මුකුත් වෙලා නැහැ කියලා දැක්කාම තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. පුදුමේ කියන්නේ සහෝදරී ඔලීනාව එක්කන් එන්න ගිය වෙලාවේ එයා ඉස්සෙල්ලාම අතට ගත්තේ දවස් කීපයකට කලින් එයාට හම්බුණ බයිබල් පොත් පත් ටික.”

සහෝදරී ඔලීනාගේ නෑදෑයන්ට පුළුවන් වුණා එයාට ඉන්න තැනක් හොයලා දෙන්න. සභාවේ අයත් එයාට ඕනෙ කරන හැම උදව්වක්ම දෙනවා. අපේ වැඩිමහල්ලොත් හැමදාම සහෝදරී ඔලීනාට කෝල් කරනවා. සහෝදර සහෝදරියෝ එකතු වෙලා එයාට ශ්‍රව්‍යාධාරකයක් අරන් දුන්නා. ඒ නිසා එයාට පුළුවන් දැන් රැස්වීම්වලින් උපරිම ප්‍රයෝජන ගන්න. එයා මෙහෙම කියනවා. “සමහර වෙලාවට මට දැනෙන්නේ මට කිසිම ශක්තියක් නැහැ කියලා. හැබැයි රැස්වීම්වලින්, නැති වෙච්ච ඒ ශක්තිය ආයෙත් ලැබෙනවා. සහෝදර සහෝදරියොත් හැම තිස්සෙම වගේ කෝල් කරලා මං ගැන හොයලා බලනවා. ඒ ගැන මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා.”

ප්‍රචාරකයෝ 200දෙනෙක් එක්ක නමස්කාර මධ්‍යස්ථානයක බේස්මන්ට් එකේ ඉන්න සහෝදර යුවළක් එයාලගේ කතාව අපිට කිව්වා. සහෝදරයාගේ බිරිඳ මෙහෙම ලියලා අපිට එව්වා. “අපේ ආදරණීය වැඩිමහල්ලෝ අනිත් අයට ආදරය පෙන්නන විදිහ මගේ හිතට තදින්ම වැදුණා. එයාලව දැක්කාම මට මතක් වෙන්නේ බැටළුවෝ බේරගන්න සිංහයෙක් එක්කයි වලහෙක් එක්කයි සටන් කරපු දාවිත්ව. බේස්මන්ට් එකේ ඉන්න වැඩිමහල්ලනුත් දාවිත් වගේ. එයාලට භාර දීලා තියෙන බැටළුවන්ව රැකබලා ගන්නේ සමහර අවස්ථාවලදී මරණය පෙනීපෙනී. අපිට ඕනෙ කරන කෑම, වතුර සහ ලයිට් පත්තු කරගන්න ඕන ඉන්ධන ගන්න වැඩිමහල්ලෝ එලියට යන ඕනම වෙලාවක එයාලගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒත් එයාලා කරන ඒ කැප කිරීම නිසා අපිට දිගටම රැස්වීම් තියන්නත් ක්ෂේත්‍ර සේවා රැස්වීම් පවත්වන්නත් පුළුවන් වෙලා තියෙනවා. එක දිගට බෝම්බ වැටුණත් අපේ වැඩිමහල්ලෝ තාමත් ගෙවල්වල රැඳිලා ඉන්න සහෝදර සහෝදරියන්ව හැමදාම වගේ බලන්න යනවා. ඒ වගේම එයාලට ඕනෙ කරන කෑම, වතුර ගිහින් දෙනවා. එයාලට ඕනෙ කරන අනිත් උදව් ලබා දෙනවා. ඒ වැඩිමහල්ලෝ ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්. කලින් නම් මං එයාලව දැනන් හිටියේ බයිබල් ගුරුවරුන් සහ ශුභාරංචිය දේශනා කරන අය විදිහට. හැබැයි දැන් මං එයාලව දකින්නේ අපිව අත්හරින්නේ නැති එඬේරුන් විදිහට. ආදරණීය, ධෛර්යවන්ත, විශ්වාසය තියන්න පුළුවන් වැඩිමහල්ලෝ ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු ආදරයක්.”

සහන සේවා වැඩවලදී පෙරමුණ අරගෙන වැඩ කරන අය ගැන යුක්රේනයේ එක සභාවක ඉන්න ප්‍රචාරකයන් යුක්රේනයේ ශාඛා කාර්යාලයට මෙහෙම ලියලා එව්වා. “එයාලා ගැන අපේ හිතේ තියෙන්නේ ලොකු අගයක්. අපේ සහෝදරයන්ව පාවිච්චි කරලා යෙහෝවා අපිව බලාගන්න විදිහ හරිම පුදුමයි. ‘ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි’ කියන යේසුස්ගේ වචන කොච්චර ඇත්තක්ද කියලා අපි අද්දකිනවා.”—යොහ 13:35.

පහළ තියෙන්නේ 2022 ජූනි 21වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු. මේ සංඛ්‍යා ලේඛන පදනම් කරගත්තේ යුක්රේනයේ එක එක ප්‍රදේශවල ඉන්න සහෝදරයන් තහවුරු කරපු වාර්තාවලට අනුව. යුක්රේනයේ සන්නිවේදන පද්ධතියට හානි වෙලා නිසා මේ සංඛ්‍යා හරියටම හරියි කියන්න බැහැ. බොහෝදුරට සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලා හිතන්න පුළුවන්.

යුද්ධය බලපාලා තියෙන විදිහ

  • ප්‍රචාරකයන් 42දෙනෙක් මැරුණා

  • ප්‍රචාරකයන් 83දෙනෙක්ට තුවාල වුණා

  • ප්‍රචාරකයන් 31,185දෙනෙක් රට ඇතුළේ තියෙන ආරක්ෂිත තැන්වලට පලා ගිහින් තියෙනවා

  • ගෙවල් 495ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • ගෙවල් 557කට බරපතළ හානි වෙලා

  • ගෙවල් 1,429කට සුළු හානි සිද්ධ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 5ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 8කට බරපතළ හානි වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 34කට සුළු හානි සිද්ධ වෙලා

සහන සේවා

  • යුක්රේනය පුරා සහන සේවා කමිටු 27ක් පිහිටුවලා තියෙනවා

  • ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 52,348 දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා

  • වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 23,433 දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා