Skip to content

ප්‍රචාරකයන් දෙන්නෙක් යුක්රේනයේ පොදු සේවයේ හවුල් වෙනවා

2022 ජූලි 18
යුක්රේනය

අලුත්ම තත්වය අංක 11 | යුද ගිනි මැද ආදරය පැතිරෙයි

යුද්ධය මැද “යහපත් දේ කරයි”!

අලුත්ම තත්වය අංක 11 | යුද ගිනි මැද ආදරය පැතිරෙයි

ආයෙත් පොදු සේවය පටන්ගන්න පුළුවන් වුණ එක ගැනත් ඒකෙන් ලැබෙන හොඳ ප්‍රතිඵල නිසාත් යුක්රේනයේ සහෝදර සහෝදරියන් ඉන්නේ හරිම සතුටින්. ජංගම පුවරු ආයෙත් නගරයේ දකින්න ලැබුණ එක ගැන ගොඩක් අය හොඳ කියනවා කියලා චාරිකා සේවකයන් සහ වැඩිමහල්ලන් වාර්තා කරනවා. සමහරු කියලා තිබුණා පහුගිය කාලේ සාක්ෂිකරුවන්ව දකින්න නොලැබුණ අඩුව එයාලට තදින්ම දැනුණා කියලා.

ඔඩෙසා ප්‍රාන්තයේ සභාවක සේවය කරන සහෝදරී ටටියානා තීරණය කළා වසංගතයට කලින් එයාට සේවේ ගිහිල්ලා හම්බුණ අයව ආයෙත් බලන්න යන්න. එයා මෙහෙම කියනවා. “මුල ඉඳලාම මං දැක්කා ආයෙත් සේවේ පටන්ගන්න අපි දරන මහන්සියට යෙහෝවා ආශීර්වාද කරන විදිහ.“ එක අවස්ථාවක ටටියානා වසංගතයට කලින් බයිබල් පාඩමක් කරන්න අකමැති වුණ කාන්තාවක්ව බලන්න ගියා. මෙදා පාර බයිබලේ තියෙන දේවල් ගැන කතා කරන්න ඒ කාන්තාවට තිබුණේ පුදුම ආසාවක්. එයා බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. ටටියානා මෙහෙම කියනවා. “ඉතින් මං හිතාගත්තා කලින් නැවත බැලීම් කරපු හැම කෙනෙක්ගෙන්ම ‘අපි බයිබල් පාඩමක් කරමුද’ කියලා අහන්න.“

යෙව්හිනි සහ ලිලියා කියන්නේ අවතැන් වුණ ප්‍රචාරකයන් දෙන්නෙක්. එයාලා මාරියුපෝල්වල අය. එයාලා දැන් පදිංචි වෙලා ඉන්නේ යුක්රේනයේ වඩා ආරක්ෂිත ප්‍රදේශයක. ඒ දෙන්නා නිතරම සේවේ හවුල් වෙනවා. එයාලා කියනවා ප්‍රශ්න ගැනම හිතහිත ඉන්නේ නැතුව ඒ බර පැත්තකින් තියන්න එයාලට උදව් වෙලා තියෙන්නේ දේශනා සේවේ හවුල් වෙන එක කියලා. එයාලා මෙහෙමත් කියනවා. “අපි දැනන් හිටියා අපිට කලින් වගේ ජීවිතේ ගෙවන්න දැන් බැහැ කියලා. අලුත් ජීවිතයක් පටන්ගන්න එක හිතන තරම් ලේසි නැහැ. හැබැයි අපි හැම තිස්සෙම මතක තියාගන්නවා අපිට උදව් කරන්න බැරි තරමට යෙහෝවාගේ අත කොට නෑ කියලා. යෙහෝවා ඔහුගේ බලය අපිට දෙනවා. අපේ සහෝදරයෝ ඉන්නවා අපිට උදව් කරන්න. ඒ නිසා අපිට පුළුවන් අලුත් තැනක වුණත් අලුත් ජීවිතයක් පටන්ගන්න.“

යුක්රේනයේ අනිත් පැතිවල ඉන්න සහෝදරයනුත් යහපත් දේවල් කරන එක නවත්තලා නැහැ. ඒක අනිත් අයට හොඳ සාක්ෂියක් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මිකොලායිව් නගරයේ ඉන්න සහෝදර කණ්ඩායමක් මානුෂීය ආධාර ලබා දෙන ජාත්‍යන්තර සංවිධානයකට උදව් කළා. ඒ, ආධාර වැඩවලට පාවිච්චි කරන ගබඩාවක් අලුත්වැඩියා කරලා ඒක අස්පස් කරන්න. සහෝදරයෝ එකතු වෙලා ජලනල පද්ධතිය අලුත්වැඩියා කළා, රාක්ක ගැහුවා, ටොන් ගාණක් බඩු මුට්ටු එක එක වර්ගවලට අනුව වෙන් කෙරුවා. ඒ ආයතනයේ නියෝජිතවරියක් ඒ වැඩ බලන්න ආපුවාම එයාගේ ඇස්වලට කඳුළු ආවා. එයා කිව්වා “මං හීනෙකින්වත් මෙච්චර දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ“ කියලා.

යුක්රේනයේ ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියන් ගෙවන්නේ හරිම අමාරු ජීවිතයක්. හැබැයි දිගටම උද්‍යෝගයෙන් සේවේ හවුල් වෙන එකෙනුයි ‘යහපත් දේවල් කරන’ එකෙනුයි ලැබෙන සතුට එයාලට නැති වෙලා නැහැ.—ගලාති 6:9.

පහළ තියෙන්නේ 2022 ජූලි 13වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු. මේ සංඛ්‍යා ලේඛන පදනම් කරගත්තේ යුක්රේනයේ එක එක ප්‍රදේශවල ඉන්න සහෝදරයන් තහවුරු කරපු වාර්තාවලට අනුව. යුක්රේනයේ සන්නිවේදන පද්ධතියට හානි වෙලා නිසා මේ සංඛ්‍යා හරියටම හරියි කියන්න බැහැ. බොහෝදුරට සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලා හිතන්න පුළුවන්.

යුද්ධය බලපාලා තියෙන විදිහ

  • ප්‍රචාරකයන් 42දෙනෙක් මැරුණා

  • ප්‍රචාරකයන් 97දෙනෙක්ට තුවාල වුණා

  • ප්‍රචාරකයන් 28,683දෙනෙක් ඉන්නේ අවතැන් වෙලා

  • ගෙවල් 524ක් විනාශ වෙලා

  • ගෙවල් 588කට බරපතල හානි වෙලා

  • ගෙවල් 1,554කට සුළු හානි සිද්ධ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 5ක් විනාශ වෙලා

  • නමස්කාර මධස්ථාන 10කට බරපතල හානි වෙලා

  • නමස්කාර මධස්ථාන 36කට සුළු හානි සිද්ධ වෙලා

සහන සේවා

  • යුක්රේනය පුරා සහන සේවා කමිටු 27ක් පිහිටුවලා තියෙනවා

  • ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 52,947දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා

  • වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 23,863දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා