Skip to content

2022 ජූලි 23වෙනිදා යුක්රේනයේදී බව්තීස්ම වුණ දෙන්නෙක්

2022 අගෝස්තු 12
යුක්රේනය

අලුත්ම තත්වය අංක 12 | යුද ගිනි මැද ආදරය පැතිරෙයි

“යුද්ධයට බෑ යේසුස්ගේ ගෝලයන් වෙන වැඩේ නවත්තන්න”

අලුත්ම තත්වය අංක 12 | යුද ගිනි මැද ආදරය පැතිරෙයි

යුක්රේනයේ වගේම වෙන රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් හුඟදෙනෙක් 2022 “සාමය වෙනුවෙන් වෙහෙසෙමු!” සමුළුවේ ජූලි 23-31 අතර දවස්වල බව්තීස්ම වුණා. අගෝස්තු 2වෙනිදා වෙද්දී යුක්රේනයේ සහෝදර සහෝදරියන් 1,113දෙනෙක් බව්තීස්ම වෙලා තිබුණා. යුක්රේනයේ සහෝදරයෙක් මෙහෙම කිව්වා. “යුද්ධයට බෑ යේසුස්ගේ ගෝලයන් වෙන වැඩේ නවත්තන්න. මොකද ‘මම ඔබ සමඟ සැමදා සිටිනවා’ කියලා යේසුස් පොරොන්දු වුණානේ.”—මතෙව් 28:20.

අපි මේ අද්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්න හරිම කැමතියි.

ලුහාන්ස්ක් ප්‍රාන්තයේ ක්‍රෙමින්නාවල ඉන්න නතාලියාට වයස අවුරුදු 63යි. එයායි එයාගේ දුවලා දෙන්නායි සාක්ෂිකරුවොත් එක්ක බයිබලය පාඩම් කරන්න ගත්තේ 1990 ගණන්වල. දුවලා දෙන්නා සත්‍යයේ දියුණු වෙලා බව්තීස්ම වුණත් නතාලියා බව්තීස්ම වුණේ නැහැ. යුද්දේ පටන්ගත්තාට පස්සේ සාක්ෂිකාර පවුලක් වඩා ආරක්ෂිත පැත්තකට යද්දී එයාලා එක්ක නතාලියාවත් එක්කගෙන ගියා. එයාව ඉවානො ෆ්‍රැන්කිව්ස්ක්වල තියෙන නමස්කාර මධ්‍යස්ථානයක නතර කළා.

නතාලියා මෙහෙම කියනවා. “බෝම්බ දාන්න පටන්ගත්ත දවසේ ඉඳලා මගේ මූණෙන් හිනාව නැති වෙලා ගිහින් තිබුණේ. ඒත් සහෝදර සහෝදරියන් අවංකවම මට ආදරේ පෙන්නුවා. මං කීයටවත් හිතුවේ නැහැ මෙච්චර උදව්වක් මට ලැබෙයි කියලා. ඒ දවස්වල තමයි යෙහෝවා ගැන මගේ හිතේ යට ගැහිලා තිබුණ ආදරේ ආයේ ලියලන්න පටන්ගත්තේ. මං නිතරම බයිබලේ කියෙව්වා. සහෝදරියක් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතෙන් මට පාඩමක් කෙරුවා. එයා නම් යෙහෝවා දෙවියන් මට දීපු තෑග්ගක්. දැන් මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙලා හරිම සතුටින් ඉන්නවා. මට ඕනෙ මගේ දෙවි යෙහෝවාට ‘මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් මගේ මුළු ජීවිතයම කැප කරන්න. මගේ මනසේ මුල් තැන ඔහුට දෙන්න’.”—මතෙව් 22:37.

දැන් පෝලන්තයේ ඉන්න ඕලියා “සාමය වෙනුවෙන් වෙහෙසෙමු!” කියන තුන්දින සමුළුවේ තේමාව එයාගෙම අත් අකුරෙන් ලියපු කොළයක් අල්ලගෙන ඉන්නවා

යුද්දේ පටන්ගද්දී චෙර්කාසිවල හිටපු ඕලියා බව්තීස්ම නොවූ ප්‍රචාරිකාවක්. මාර්තු 6වෙනිදා දුවයි මිණිබිරියි එක්ක එයා පෝලන්තයට පලා ගියා. එයා මෙහෙම කිව්වා. “අපි යද්දී ගෙනිච්චේ අපේ ආපදා මලු විතරයි. හැබැයි අපේ ආදරණීය සහෝදර සහෝදරියන් අපි තුන්දෙනාව හොඳට බලාගත්තා. මේ හැම දේකින්ම මට තේරුණේ යෙහෝවාගේ සංවිධානය හරිම එක්සත් සංවිධානයක් විතරක් නෙමේ ඒකට මඟ පෙන්නන්නේ දෙවිගේ බලය කියලා. ඒ වගේම යෙහෝවාට මගේ ජීවිතය කැප කරන්න කලින්ටත් වඩා මං අධිෂ්ඨාන කරගත්තා. ජීවිතේ අඳුරුම දවස්වල යෙහෝවා මට උදව් කළා. දැන් මට ඕනෙ ඔහුට සේවය කරලා මගේ හිතේ තියෙන අගය ඔහුට පෙන්නන්න.”

ඩොනෙට්ස්ක් ප්‍රාන්තයේ ඉන්න යූලියාට අවුරුදු 18යි. එයා හැදී වැඩුණේ සත්‍යයේ වුණත් බව්තීස්මය දක්වා දියුණු වෙලා තිබුණේ නැහැ. යුද්දේ පටන් අරගෙන ටික දවසකට පස්සේ වුණ දෙයක් ගැන එයා මෙහෙම කිව්වා. “කොයි වෙලේ මැරෙයිද කියලා හිතහිත මං පණ බයේ බිම දිගා වෙලා හිටියා. අපේ පවුලේ කට්ටිය පදිංචි වෙලා හිටපු පාර ගන්න දෙයක් නැහැ. ඒත් අපි බේරුණා. මේ සිද්ධියෙන් පස්සේ යෙහෝවාගේ ගුණාංග ගැන මං සෑහෙන්න හිතුවා. මං හුඟක් යාච්ඤා කළා. ඒ නිසා මං යෙහෝවාට තව ළං වුණා. ඉතින් යෙහෝවාට මගේ ජීවිතේ කැප කරනවාද නැද්ද කියලා හිතහිත ඉන්න එක මං නතර කෙරුවා. මගේ යාච්ඤාවලට උත්තර දීලා යෙහෝවා මට පෙන්නුවා ඔහු ඉන්නේ මගේ ළඟින්මයි කියලා. ඉස්සර මට දෙවියන් ගැන දැනුමක් තිබුණා. ඒත් දැන් මං ඔහුට ආදරෙයි.” යූලියා ජූලි 23වෙනිදා බව්තීස්ම වුණා.

දැන් ජර්මනියේ ඉන්න අවුරුදු 11ක් වයස ඩේවිඩ් බව්තීස්ම වෙන්න කලින්

යුද්දේ පටන්ගද්දී අවුරුදු 11ක් වයස ඩේවිඩ් එයාගේ පවුලේ අයත් එක්ක ජර්මනියට පලා ගියා. එයා අවුරුදු 9 ඉඳන් බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් විදිහට සේවය කරනවා. යෙහෝවා වෙනුවෙන් වැඩි සේවයක් කරන්න පුළුවන් වෙන ඉලක්ක තියාගන්නයි එයාට ඕනේ. එයා මෙහෙම කියනවා. “මං යෙහෝවාට ගොඩක් ආදරෙයි. මට ඕනෙ එයාගේ යාළුවෙක් වෙන්න. ඒ නිසා මං බව්තීස්ම වෙන්න හිතුවා. බව්තීස්ම වෙන වෙලාවේ සතුටට කඳුලුත් ආවා. මොකද මං දැන් යෙහෝවාගේ පවුලේ කෙනෙක්. මං ආසයි මිනිස්සුන්ට යෙහෝවා ගැන, එයාගේ අරමුණ ගැන කියන්න. ඉතින් මගේ ඊළඟ ඉලක්කේ තමයි පුරෝගාමියෙක් වෙන එක. මට සභාවේ ඉන්න සහෝදර සහෝදරියන්ට සේවේ කරන්නත් ඕනේ. ඉතින් දවසක සහායක සේවකයෙක් වෙන්නත් හිතන් ඉන්නවා. 2018දී ලුවිව්වල තියෙන ශාඛා කාර්යාලය බලන්න ගිය දවසේ ඉඳන් බෙතෙල් එකේ සේවේ කරන එක තමයි මගේ එකම හීනේ.”

කීව්වල ඉන්න ඔලීනා බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් වුණේ 2011දීයි. අවුරුදු 10ක්ම එයා හිටියේ අක්‍රියාශීලී ප්‍රචාරකයෙක් විදිහට. 2020දී වැඩිමහල්ලෝ එයාව හම්බෙලා ‘ආයෙත් එන්න’ සඟරාව එයාට දුන්නා. එයා කිව්වා “මං ආයේ මගේ බයිබල් පාඩමත් රැස්වීම් යන්නත් පටන්ගත්තා. ඒත් ටික කාලෙකට පස්සේ ඒවා ආයෙත් නතර කළා. යුද්දේ අතරතුර යෙහෝවා මගේ යාච්ඤාවලට උත්තර දුන්නා. ඔහු මාව ආරක්ෂා කරනවා කියලා මට දැනුණා. ඒ වගේම මට ආදරේ පෙන්නලා මනසේ සාමයත් දුන්නා. මං රුමේනියාවට පලා ගියාම මට සාක්ෂිකරුවන්ව හම්බුණා. සහෝදරයන්ගෙන් ලැබුණ ආදරය සහ සැලකිල්ල මට දැනුණේ හරියට සීතල දවසක යෙහෝවා මාව බ්ලැන්කට් එකකින් පෙරෙව්වා වගේ.” ඔලීනා ජූලි 24වෙනිදා බව්තීස්ම වුණා. එයා මෙහෙමත් කිව්වා. “මං ගැන සෑහෙන්න ඉවසුවාට මං යෙහෝවාට තැන්ක් යූ කියනවා. මං දැන් දන්නවා ‘මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබෙනවා’ කියලා.”—ෆිලිප්පි 4:13.

පහළ තියෙන්නේ 2022 අගෝස්තු 2වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු. මේ සංඛ්‍යා ලේඛන පදනම් කරගත්තේ යුක්රේනයේ එක එක ප්‍රදේශවල ඉන්න සහෝදරයන් තහවුරු කරපු වාර්තාවලට අනුව. යුක්රේනයේ සන්නිවේදන පද්ධතියට හානි වෙලා නිසා මේ සංඛ්‍යා හරියටම හරියි කියන්න බැහැ. බොහෝදුරට සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලා හිතන්න පුළුවන්.

යුද්ධය බලපාලා තියෙන විදිහ

  • ප්‍රචාරකයන් 43දෙනෙක් මැරුණා

  • ප්‍රචාරකයන් 97දෙනෙක්ට තුවාල වුණා

  • ප්‍රචාරකයන් 22,568දෙනෙක් ඉන්නේ අවතැන් වෙලා

  • ගෙවල් 586ක් විනාශ වෙලා

  • ගෙවල් 613කට බරපතල හානි වෙලා

  • ගෙවල් 1,632කට සුළු හානි සිද්ධ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 5ක් විනාශ වෙලා

  • නමස්කාර මධස්ථාන 10කට බරපතල හානි වෙලා

  • නමස්කාර මධස්ථාන 37කට සුළු හානි සිද්ධ වෙලා

සහන සේවා

  • යුක්රේනය පුරා සහන සේවා කමිටු 27ක් පිහිටුවලා තියෙනවා

  • ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 53,836දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා

  • වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 24,867දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා