2022 දෙසැම්බර් 29
යුක්රේනය
අලුත්ම තත්වය අංක 15 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි
2022 පෙබරවාරි මාසේ යුක්රේනයේ ඇති වුණ යුද්ධය නිසා අපේ සහෝදරයන්ගේ ගෙවල් 3,000ක් විතර සම්පූර්ණයෙන්ම විනාශ වුණා. නැත්නම් ඒවාට අලාභහානි වුණා. ඒ නිසා අගෝස්තු මාසේ වෙද්දී සහන සේවා අංශයේ (DRD) සහ ප්‍රාදේශීය නිර්මාණ/ඉදිකිරීම් අංශයේ සහෝදරයන්ගේ මඟ පෙන්වීම ඇතුව යුක්රේනයේ සහෝදරයන් විපතට පත් වුණ අයට උදව් කළා. එයාලා දැන් යුද අවදානම අඩු පැතිවල සහෝදරයන්ගේ ගෙවල් ආයෙත් හදලා දෙන්න පියවර ගත්තා. ඒ වැඩවලට වහලවල් සහ දොර ජනෙල් අලුත්වැඩියා කරන එක ඇතුළු තවත් දේවල් ඇතුළත් වුණා. ඒත් සමහර සහෝදරයන්ගේ ගෙවල් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී ගරාජ් එකක් එහෙම නැත්නම් ගබඩා කාමරයක් අලුත්වැඩියා කරලා එයාලට ඉන්න පුළුවන් විදිහට හදලා දුන්නා. ඒ වගේ ව්‍යාපෘති 37ක් මේ වෙද්දී කරලා ඉවරයි. තව 48ක් කෙරීගෙන යනවා.
භයානක යුද්ධයක් මැද ඒ වගේ ව්‍යාපෘති කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. හැබැයි මොන කලබල ඇති වුණත් අපේ සහෝදරයෝ දිගටම සහන සේවා ව්‍යාපෘතිවලට උදව් කළා. අපි දැන් අද්දැකීමක් බලමු. සහෝදරී ස්විට්ලානා ජීවත් වෙන්නේ කීව්වල වෙලිකා ඩිමර්කා කියන පැත්තේ. එයාගේ වයස අවුරුදු 70යි. එයා මෙහෙම කියනවා. “මට මගේ ගේ හදාගන්න තරම් වත්කමක් තිබුණේ නෑ. හැබැයි සහෝදරයෝ ඇවිල්ලා දවස් තුනක් ඇතුළත හැම දෙයක්ම හදලා දුන්නා. ඇත්තටම යෙහෝවා මාව පුදුම කළා.”
සහෝදරි නාඩියා ජීවත් වෙන්නේ කීව්වල හොරෙන්කා කියන ගමේ. බලන්න එයා ඒ ගැන කියන දේ. “මේ සහන සේවා වැඩ හැමෝටම ලොකු සාක්ෂියක්. මං අඳුරන්නේ නැති අය පවා සාක්ෂිකරුවන් අතර තියෙන ආදරේ ගැන කතා කරනවා. මං කරදරේ වැටුණ වෙලාවේ සහෝදරයෝ ඇවිල්ලා මට උදව් කළා කිව්වාම එයාලට අදහාගන්න බැරි වුණා.”
මේ වැඩවලට උදව් වෙන්න ආපු අයගේ ගෙවල් දොරවලුත් මේ යුද්දේ නිසා විනාශ වෙලා තිබුණා. යෙවේන් සහ ටේට්යානා කියන්නෙත් ඒ වගේ යුවළක්. මිසයිලයක් වැටිලා එයාලාගේ ගේත් සම්පූර්ණයෙන්ම කැඩිලා බිඳිලා වුණා. හැබැයි එයාලා ඒ ගැන හිතහිත ඉන්නවා වෙනුවට සහෝදරයන්ට උදව් කරන්න පුළුවන් විදිහ ගැනයි හිතුවේ. බලන්න ඒ ගැන යෙවේන් කියන දේ. “ඉස්සර ඉඳන්ම අපි හරි ආසයි අනිත් අයට උදව් කරන්න. මොකද තව කෙනෙක් වෙනුවෙන් දෙයක් කරද්දී අපේ ප්‍රශ්න ඉබේම අමතක වෙලා යනවා.”
කීව්වල හොස්ටමෙල් කියන ගමේ ජීවත් වෙන සහෝදරි ලිඩියාගේ ගේත් සහෝදරයෝ හදලා දුන්නා. ඒක ලිඩියාගේ හිතට කොච්චර වැදුණාද කියනවා නම් එයාත් සහන සේවා වැඩ වෙනුවෙන් ඉදිරිපත් වුණා. බලන්න එයා කියන දේ. “සති දෙකක් තිස්සේ සහෝදර සහෝදරියන් 16දෙනෙක් මාරුවෙන් මාරුවට ඇවිල්ලා මගේ ගේ හැදුවා. මට දැනුණේ මං පාරාදීසේ ඉන්නවා වගේ. ඉතින් මටත් ඕනෙ වුණේ කොහොමහරි කරලා අනිත් අයටත් උදව් කරන්න.”
යුක්රේන ශාඛා කමිටුවේ සේවේ කරන සහෝදරයෙක් සැරයක් සහන සේවා ව්‍යාපෘති සිද්ධ වෙන විදිහ බලන්න ආවා. එයාට ඕන වුණේ යුද්ධය නිසා ගෙවල් අහිමි වුණ සහෝදරයන්ව දිරිගන්වන්න. එයා මෙහෙම කියනවා. “මෙහේ සහෝදරයෝ කවදත් අනිත් අයට ආදරේ පෙන්නන්න එක පයින් ලෑස්තියි. ඇත්තටම මේ යුද්දේ අපි එකිනෙකාව තව තවත් කිට්ටු කළා. සහන සේවාවලින් ප්‍රයෝජන ලබපු සහෝදරයොත් දැන් උද්යෝගයෙන් සේවේ කරනවා. ඒ වගේම 2 කොරින්ති 9:12 කියන විදිහට ‘දෙවියන්ට ගොඩක් ස්තුති කරන්නත්’ එයාලා අමතක කරන්නේ නෑ.”
පහළ තියෙන්නේ 2022 දෙසැම්බර් 20වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු. මේ සංඛ්‍යා ලේඛන පදනම් කරගත්තේ යුක්රේනයේ එක එක ප්‍රදේශවල ඉන්න සහෝදරයන් තහවුරු කරපු වාර්තාවලට අනුව. යුක්රේනයේ පවතින තත්වයත් එක්ක සහෝදරයන්ගෙන් තොරතුරු දැනගන්න අමාරු නිසා මේ සංඛ්‍යා හරියටම හරියි කියන්න බැහැ. බොහෝදුරට සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලා හිතන්න පුළුවන්.
යුද්ධය බලපාලා තියෙන විදිහ
ප්‍රචාරකයන් 47දෙනෙක් මැරුණා
ප්‍රචාරකයන් 97දෙනෙක්ට තුවාල වුණා
ප්‍රචාරකයන් 11,477දෙනෙක් රට ඇතුළේ තියෙන ආරක්ෂිත තැන්වලට පලා ගිහින් තියෙනවා
ගෙවල් 590ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා
ගෙවල් 645කට බරපතළ හානි වෙලා
ගෙවල් 1,722කට සුළු හානි සිද්ධ වෙලා
නමස්කාර මධ්‍යස්ථාන 7ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා
නමස්කාර මධ්‍යස්ථාන 19කට බරපතළ හානි වෙලා
නමස්කාර මධ්‍යස්ථාන 68කට සුළු හානි සිද්ධ වෙලා
සහන සේවා
යුක්රේනය පුරා සහන සේවා කමිටු 26ක් පිහිටුවලා තියෙනවා
ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 54,212දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා
වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 26,892දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා