Skip to content

සම්බීර්වල නමස්කාර මධ්‍යස්ථානයක පවත්වන පාසැලක් (ඉහළ) ෂෙටොමියවල තියෙන තව ආරක්ෂක ස්ථානයක් (පහළ)

2023 පෙබරවාරි 1
යුක්රේනය

අලුත්ම තත්වය අංක 16 | යුද ගිනි මැද ආදරය පැතිරෙයි

පුරෝගාමි පාසැල් පටන්ගනියි

අලුත්ම තත්වය අංක 16 | යුද ගිනි මැද ආදරය පැතිරෙයි

2022 දෙසැම්බර් 26වෙනිදා ඉඳලා යුක්රේනයේ ඉන්න අපේ ස්ථාවර සහ විශේෂ පුරෝගාමීන්ට ලොකු වරප්‍රසාදයක් ලැබුණා. ඒ තමයි එහේ ආරක්ෂිත ප්‍රදේශවල පවත්වන පුරෝගාමි පාසැල්වලට යන්න ලැබුණ අවස්ථාව! එයාලට පුළුවන් වුණා පාසැලටම ගිහින් හරි සූම් එකෙන් හරි ඒවාට සහභාගි වෙන්න. ගුවන් ප්‍රහාර, ආර්ථික ප්‍රශ්න, කරන්ට් කපන එක සහ විටින් විට ඉන්ටනෙට් කනෙක්ෂන් නැති වෙන එක වගේ බාධා තිබුණත් පාසැලෙන් ප්‍රයෝජන ගන්න ඒ හැමෝම අවධානය දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සේවය හොඳින් කරන්න ලොකු ජවයක්, ප්‍රබෝධයක් එයාලට ලැබිලා තියෙනවා.

එක තැනකට ඇවිත් සූම් එකෙන් පුරෝගාමි පාසැලට සම්බන්ධ වෙන සහෝදරියෝ කීපදෙනෙක්. විදුලිය ලබාගන්නේ බැටරිවලින් නිසා එයාලා පාවිච්චි කරන්නේ ඩිවයිස් කීපයයි. මේ කරන්ට් කපපු අවස්ථාවක්

ක්‍රිවීරිවල පදිංචි නතාලියා මෙහෙම කියනවා. “මේ පාසැල හරියට බයෙන්, කනස්සල්ලෙන් ගිලෙන්න ගිය මාව බේරගන්න ආපු ආරක්ෂක බෝට්ටුවක් වගේ!” චර්නිව්ට්සිවල ඉන්න අනස්තසියා කිව්වේ මෙහෙමයි. “යෙහෝවා මට ගොඩක් ආදරෙයි කියලා පාසැලේදී හොඳටම දැනුණා. ගිය අවුරුද්දම භයානක දේවල්වලින් පිරුණ අවුරුද්දක්. මට ඕනෙම කරපු වෙලාවෙදියි මේ පාසැල ලැබුණේ. දිගටම පොර බැදලා යෙහෝවාගේ ආශීර්වාද අද්දකින්න මං අධිෂ්ඨාන කරගත්තා.”

ස්විට්ලානා කියන්නේ කිට්ස්මන්වල පදිංචි පුරෝගාමී සහෝදරියක්. පාසැලට එන්න කියලා ආරාධනාව ලැබුණම දැන් මොකද කරන්නේ කියලා එයා දහ අතේ කල්පනා කළා. ඒත් එයා අන්තිමට කියන දේ බලන්න. “සල්ලි ප්‍රශ්න ගැනයි, අනිත් ප්‍රශ්න ගැනයි මං යෙහෝවාට කිව්වා. මං ඔහුව විශ්වාස කරලා පාසැලට යන්න තීරණය කෙරුවා. ඒ ගැන මං පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නැහැ. යෙහෝවාගේ ආදරෙයි, සැලකිල්ලයි මං හොඳටම අද්දැක්කා.” ස්විට්ලානාගේ උත්සාහය දැකලා සාක්ෂිකරුවෙක් නොවන එයාගේ මහත්තයා දැන් ස්විට්ලානා එක්ක රැස්වීම්වලට යන්න පටන් අරන්.

ඉන්ටනෙට් කනෙක්ෂන් එක නැති වුණ නිසා ගෙවල් ළඟ තියෙන උමං දුම්රිය ස්ථානයකට ගිහින් එතන තියෙන වයිෆයි එකෙන් ආයෙත් පුරෝගාමි පාසැලට සම්බන්ධ වුණ වික්ටෝරියා

ෂෙටොමියවල පවත්වපු පාසැලේ සිසුන්ට අවස්ථා දෙකකදී පොළොව යට තියෙන ආරක්ෂක ස්ථානයකට යන්න සිද්ධ වුණා. ඒ ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් නිසා. කාමරේ උණුසුම් කරන්න දර ලිපකුත් අවුළගෙන එයාලා ආයෙත් පංතිය පටන්ගත්තා. ඒ වගේ එක එක අභියෝගවලට ආවත් වැලන්ටිනා මෙහෙම කියනවා: “මේ පාසැල නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට දැනුණේ මං යෙහෝවාගේ බලවත් පියාපත් අස්සේ ඉන්නවා වගේ.”

පුරෝගාමීන්ගේ පැය අවශ්‍යතාව අඩු කරලා කියලා දැනගත්තාම යුක්රේනයේ පුරෝගාමීනුත් ගොඩක් සතුටු වුණා. ඒ නිවේදනය ඇහුවට පස්සේ යූලියා මෙහෙම කිව්වා. “මගේ හිත යෙහෝවා ගැන පුදුම ආදරේකින් පිරුණා. මේ අද උදේ මං යෙහෝවාට කිව්වා ‘අනේ යෙහෝවා, මට දිගටම පුරෝගාමී සේවේ රැඳිලා ඉන්න උදව් කරන්න’ කියලා. ඔහු කොහොම උත්තර දෙයිද කියලා දැනං හිටියේ නැහැ, ඒත් උත්තරයක් දෙනවා කියලා නම් දැනං හිටියා. ඒ නිවේදනේ ඇහුණම යෙහෝවා මං වෙනුවෙන් කොච්චර දේවල් කරනවාද කියලා මට හිතුණා. ඒක හරියට පුරෝගාමි පාසැල කියන කෑම වේලෙන් පස්සේ ලැබුණ රසම රස ඩෙසට් එකක් වගේ.”

පහළ තියෙන්නේ 2023 ජනවාරි 24වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු. මේ සංඛ්‍යා ලේඛන පදනම් කරගත්තේ යුක්රේනයේ එක එක ප්‍රදේශවල ඉන්න සහෝදරයන් තහවුරු කරපු වාර්තාවලට අනුව. යුක්රේනයේ පවතින තත්වයත් එක්ක සහෝදරයන්ගෙන් තොරතුරු දැනගන්න අමාරු නිසා මේ සංඛ්‍යා හරියටම හරියි කියන්න බැහැ. බොහෝදුරට සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලා හිතන්න පුළුවන්.

යුද්ධය බලපාලා තියෙන විදිහ

  • ප්‍රචාරකයන් 47දෙනෙක් මැරුණා

  • ප්‍රචාරකයන් 97දෙනෙක්ට තුවාල වුණා

  • ප්‍රචාරකයන් 8,953දෙනෙක් රට ඇතුළේ තියෙන ආරක්ෂිත තැන්වලට පලා ගිහින් තියෙනවා

  • ගෙවල් 590ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • ගෙවල් 645කට බරපතළ හානි වෙලා

  • ගෙවල් 1,722කට සුළු හානි සිද්ධ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 8ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 17කට බරපතළ හානි වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 76කට සුළු හානි සිද්ධ වෙලා

සහන සේවා

  • යුක්රේනය පුරා සහන සේවා කමිටු 26ක් පිහිටුවලා තියෙනවා

  • ගෙවල් 46ක් අලුත්වැඩියා කළා

  • නමස්කාර මධ්‍යස්ථාන 5ක් අලුත්වැඩියා කළා

  • ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 54,445දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා

  • වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 27,655දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා