Skip to content

වම: කීව්වල විනාශ වුණ බිල්ඩිමක්. දකුණ උඩ: බේස්මන්ට් එකක ඉන්න සහෝදර සහෝදරියන් ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ තොරතුරු බලලා සහනයක් ලබනවා. දකුණ යට: සරණාගතයන් විදිහට ස්ලොවැක් ජනරජයට ගිය පවුලක් එකට කෑම කනවා

2022 මාර්තු 11
යුක්රේනය

අලුත්ම තත්වය අංක 2 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි!

අලුත්ම තත්වය අංක 2 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි!

යුධ ගිනිදලු වැඩියෙන්ම ඇවිළෙන මාරියුපෝල් වගේ නගරවල විදුලි බලය, ගෙවල් උණුසුම් කරන යන්ත්‍ර, දුරකතන, ඉන්ටනෙට් වගේ පහසුකම් දැන් නැහැ. ගොඩක් ගෙවල්වල ජනෙල් හොයාගන්නවත් නැහැ. කෑම, වතුර වගේ දේවලුත් එන්න එන්නම හිඟ වෙනවා. අපේ සහෝදර සහෝදරියන් 2,500කටත් වඩා තාමත් ඉන්නේ මාරියුපෝල්වල හිර වෙලා. බූකා, චර්නිහිව්, හොස්තොමෙල්, ඉර්පීන්, කීව් සහ සුමි වගේ නගරවල ඉන්න අයට එහෙන් පිට වෙලා යන්න ප්‍රහාර එල්ල කරන එක ටිකකට නැවැත්තුවා. ඒ නිසා අපේ සහෝදර සහෝදරියන් හුඟදෙනෙක්ටත් ආරක්ෂිත තැන්වලට පලා යන්න පුළුවන් වුණා.

අවුරුදු 36ක් වයස පුරෝගාමි සේවය කරන වැඩිමහල්ලෙක් එයාගේ බිරිඳයි, අම්මායි, තාත්තායි එක්ක එයා ජීවත් වුණ හොස්තොමෙල් නගරෙන් පිට වෙලා ආවා. ඒ අද්දැකීම ගැන එයා මෙහෙම කියනවා.

“හෙලිකොප්ටර්වල සද්දේ අපිට ඇහුණේ හරියට අපේ කන් ළඟින් යනවා වගේ. පාරවල් යුද්ධ ටැංකිවලින් පිරිලා. දවසක් එකපාරටම සෙබළු වගයක් අපේ ගෙදරට කඩන් පැන්නා. ඒ වෙලාවේ අපි කට්ටියම හිටියේ බේස්මන්ට් එකේ (පොළොව යට හදපු කාමරේක). සෙබළෙක් බේස්මන්ට් එකටත් වෙඩි තියාගෙන තියාගෙන ගියා. බුලට් එකක් අම්මාගේ බෑග් එකටත් වැදුණා. හැබැයි කාටවත් මුකුත් වුණේ නැහැ. බෝම්බ සද්ද, වෙඩි සද්ද එක දිගටම අපිට ඇහුණ හින්දා අපි පැය තුන හතරක්ම හිටියේ හෙල්ලෙන්නෙවත් නැතුව. . . . පහුවෙනිදා උදේ අපි එහෙන් එද්දී ආයෙත් යුද්දේ පටන්ගත්තා. පාර පුරාම යුද්ධ ටැංකි. . . . එහේ තත්වේ හරිම භයානකයි. එහේ හිටියා නම් අපිට මොනා වෙයිද දන්නෑ.

“අපේ ජීවිත දැන් කණපිට පෙරළිලා. හැබැයි අපි දැනන් හිටිය බයිබල් ප්‍රතිපත්ති ඇත්තටම අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා අපි ඉගෙනගත්තා. හෙට ගැන කනස්සලු වෙන්නේ නැතුව ඉන්න, අත්‍යවශ්‍යම දේවල්වලින් සෑහීමට පත් වෙන්න, ජීවිතයත් මරණයත් අතර සටනක් කරද්දී වුණත් දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න පුළුවන් කොහොමද කියලා දැන් අපි දන්නවා.”

යුක්රේනයේ ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ හිත්වල දුවන හැම සිතුවිල්ලක්ම අපේ දෙවි යෙහෝවා හොඳින්ම දන්නවා කියන එක ගැන අපිට කිසිම සැකයක් නැහැ. ඔහු කවදාවත් එයාලව තනි කරන්නේ නැහැ.—2 පේතෘස් 2:9.

පවුලක් බේස්මන්ට් එකක ඉද්දී. පස්සේ එයාලා ආරක්ෂිත තැනකට ගියා

පහළ තියෙන්නේ 2022 මාර්තු 10වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු.

යුද්ධය මේ දක්වා බලපාලා තියෙන විදිහ

  • ප්‍රචාරකයන් 2නෙක් මැරුණා

  • ප්‍රචාරකයන් 8දෙනෙක්ට තුවාල වුණා

  • ප්‍රචාරකයන් 25,407දෙනෙක් රට ඇතුළේ තියෙන ආරක්ෂිත තැන්වලට පලා ගිහින් තියෙනවා

  • ගෙවල් 25ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • ගෙවල් 59කට බරපතළ හානි වෙලා

  • ගෙවල් 222කට සුළු හානි සිද්ධ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 7කටත් හානි වෙලා

සහන සේවා

  • යුක්රේනය පුරා සහන සේවා කමිටු 27ක් පිහිටුවලා තියෙනවා

  • ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 10,566දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා

  • වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 9,635දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා