2022 මාර්තු 23
යුක්රේනය
අලුත්ම තත්වය අංක 4 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි
අපි දිගටම මාරියුපෝල් නගරේ ඉන්න සහෝදර සහෝදරියන් ගැන යාච්ඤා කරනවා. එහේ පාරක් පාරක් ගානේ හමුදා සටන් වදිනවා. බෝම්බ ප්‍රහාර දිගටම එල්ල වෙනවා. අපේ සහෝදර සහෝදරියන් 6දෙනෙක් ඒවාට අහු වෙලා මිය ගියා. ඒ ගැන අපිට හරිම දුකයි. මේ වෙද්දී යුක්රේනයේ සහෝදර සහෝදරියන් 10දෙනෙක්ගේ ජීවිත අහිමි වෙලා. 1,000කට වැඩි පිරිසක් නවාතැන් අරන් හිටපු රඟහලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා කියලා පහුගිය දවසක ජාත්‍යන්තර ප්රවෘත්තිවල ප්‍රචාරය වුණා ඔයාලා දකින්න ඇති. එතන අපේ සහෝදරයනුත් හිටියා. එයාලට තුවාල වුණත් කවුරුත් මරණයට පත් වුණේ නැහැ.
මේ වෙද්දී මාරියුපෝල්වල ඉඳලා සාක්ෂිකරුවන් 750දෙනෙක් විතර පලා ගිහින් තියෙනවා. ඒත් අඩුම ගානේ සාක්ෂිකරුවන් 1,600දෙනෙක්වත් තවම ඉන්නේ එහෙ හිර වෙලා. එයාලා හුඟදෙනෙක් පදිංචි වෙලා ඉන්නේ රුසියානු හමුදාව අත් පත් කරගත්ත මාරියුපෝල් නගරේ නැඟෙනහිර පැත්තට වෙන්න.
සහෝදර සහෝදරියන් 200ක් විතර නමස්කාර මධ්‍යස්ථානයක බේස්මන්ට් එකේ නැවතිලා හිටියා කියලා කලින් වාර්තාවේ අපි සඳහන් කළා මතක ඇති. ඒ ප්‍රදේශයේ සන්නිවේදන පද්ධතිය ටික වෙලාවකට ක්‍රියාත්මක වුණ ගමන් එතන හිටපු සහෝදරයෝ මෙහෙම කියලා තියෙනවා.
“බෝම්බ ගහද්දී කට්ටිය හොඳටම බය වුණා. සමහරු ඇඬුවා. එළියේ බෝම්බ සද්ද ඇහෙද්දී අපි හිතුවේ බිල්ඩිම පිපිරිලා අපි පිච්චිලා මැරිලා යයි කියලා. හැබැයි වැඩිමහල්ලෙක් කිව්වා අපි ගීතිකා කියමු කියලා. ඉතින් අපි ගීතිකා 10ක් 15ක් විතර ගායනා කෙරුවා. එක පිට එක බෝම්බ වැටෙද්දී බිල්ඩිම හෙල්ලෙන්න ගත්තා. බෝම්බ සද්දේ වැඩි වෙද්දී අපිත් පුළුවන් තරම් හයියෙන් ගීතිකා කිව්වා. ඊටපස්සේ අපි ගීතාවලිය 27 කියවලා ඒ ගැන සාකච්ඡා කෙරුවා. පස්සේ, හැමෝම එයාලා කැමතිම බයිබල් පද ගැන කියන්න පටන්ගත්තා. ඒ පද එයාලව ශක්තිමත් කෙරුවේ කොහොමද කියලත් කතා කළා. . . . යෙහෝවා ‘සියලු සැනසිල්ලේ සහ සියලු පීඩාවලදී අපිව සනසන දෙවි’ කියලත් අමාරුම අවස්ථාවලදී වුණත් අපේ හිත සන්සුන් කරන්න ඔහුට පුළුවන් කියලත් අපි අද්දැක්කා.”—2 කොරින්ති 1:3, 4.
වැඩිමහල්ලනුයි, සහන සේවා කමිටුවල සාමාජිකයනුයි එයාලගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතුව සහෝදර සහෝදරියන්ව හොයාගෙන ගියා. එයාලට ඕන කරන කෑම බීම, බේත් හේත් දුන්නා. ඒ සහෝදරයෝ සමහර නගර මැදින් යද්දී සෝදිසි මෙහෙයුම්වලට ලක් වුණා. වෙඩි වරුසා මැදින් යන්න සිද්ධ වුණා. සමහර අවස්ථාවල පණ බේරගන්න බිම බඩගාගෙන යන්නත් වුණා. සහෝදරයන් වෙනුවෙන් තමන්ගේ ජීවිත පරදුවට තියලා වැඩ කරන ඒ සහෝදරයන් ගැන අපිට හරිම ආඩම්බරයි.—රෝම 16:4.
ගෑස් සහ විදුලිය නැති නිසා සමහර සහෝදරියෝ බය නැතුව එළියට ඇවිත් කෑම උයලා මහලු සහ ආබාධිත ප්‍රචාරකයන්ට යවනවා. හුඟක් සහෝදර සහෝදරියන්ට එයාලගේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, දේපොළ නැති වෙලා. ඒත් අනිත් සහෝදර සහෝදරියන් එයාලට පෙන්නන සෙනෙහස සහ සැලකිල්ල ගැන එයාලා හුඟක් ස්තුතිවන්ත වෙනවා.
තාවකාලික නවාතැන්වල ඉන්න අපේ සහෝදරයෝ එකතු වෙලා බයිබලය අධ්‍යයනය කරනවා. පුළුවන් හැම වෙලාවෙම අනිත් අයත් එක්ක බයිබලයේ තියෙන පණිවිඩය බෙදාගන්නවා. යෙහෝවාත් එක්ක තියෙන බැඳීම රැකගන්න එයාලා ඒ විදිහට ගොඩක් මහන්සි වෙනවා.
පහළ තියෙන්නේ 2022 මාර්තු 22වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු. මේ සංඛ්‍යා ලේඛන පදනම් කරගත්තේ යුක්රේනයේ එක එක ප්‍රදේශවල ඉන්න සහෝදරයන් තහවුරු කරපු වාර්තාවලට අනුව. යුක්රේනයේ සන්නිවේදන පද්ධතියට හානි වෙලා නිසා මේ සංඛ්‍යා හරියටම හරියි කියන්න බැහැ. බොහෝදුරට සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලා හිතන්න පුළුවන්.
යුද්ධය බලපාලා තියෙන විදිහ
ප්‍රචාරකයන් 10දෙනෙක් මැරුණා
ප්‍රචාරකයන් 27දෙනෙක්ට තුවාල වුණා
ප්‍රචාරකයන් 33,180දෙනෙක් රට ඇතුළේ තියෙන ආරක්ෂිත තැන්වලට පලා ගිහින් තියෙනවා
ගෙවල් 78ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා
ගෙවල් 102කට බරපතළ හානි වෙලා
ගෙවල් 484කට සුළු හානි සිද්ධ වෙලා
නමස්කාර මධ්‍යස්ථානයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා
නමස්කාර මධ්‍යස්ථාන 4කට බරපතළ හානි වෙලා
නමස්කාර මධ්‍යස්ථාන 18කට සුළු හානි සිද්ධ වෙලා
සහන සේවා
යුක්රේනය පුරා සහන සේවා කමිටු 27ක් පිහිටුවලා තියෙනවා
ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 25,069දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා
වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 14,308දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා