Skip to content

වමේ සිට දකුණට: ලුවිව්වල සෙනඟ පිරුණු ස්ටේෂන් එකක්. සහෝදරයෙක්ගේ ගෙයක් බෝම්බයක් වැටිලා ගිනිගන්නවා. මාරියුපෝල්වල සාක්ෂිකරුවන්ව හොය හොය යන ධෛර්යයවන්ත වැඩිමහල්ලන්

2022 අප්‍රියෙල් 1
යුක්රේනය

අලුත්ම තත්වය අංක 5 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි

අලුත්ම තත්වය අංක 5 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි

2022 මාර්තු 29වෙනිදා වෙද්දී මාරියුපෝල්වල හිටපු තව සහෝදර සහෝදරියන් 7දෙනෙක්ට ජීවිත අහිමි වුණා. මේ වෙද්දී යුක්රේනයේ සාක්ෂිකරුවන් 17දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා.

සහන සේවා කමිටු දිවා රෑ නොබලා සහනාධාර ලබා දෙන්න වෙහෙසෙනවා. විනාශ වුණ පැතිවල ඉන්න සහෝදර සහෝදරියන්ව හොයන්න එයාලා මහන්සි වෙන්නේ එයාලගේ ජීවිත පවා පරදුවට තියලයි.

මේ වෙද්දී සහන සේවා කමිටු එක්ක හවුලේ වැඩ කරන සහෝදරයන් කාර්කිව්, ක්‍රමටෝර්ස්ක් සහ මාරියුපෝල් වගේ යුද්ධයෙන් බැට කන නගරවල ඉන්න අපේ සහෝදරයන්ට කෑම බීම, බෙහෙත් සහ වෙනත් අත්‍යවශ්‍ය දේවල් ලබා දීලා තියෙනවා. සහන සේවා කමිටුවක සේවය කරන එක සහෝදරයෙක් ප්‍රචාරකයන් 2,700කට විතර කෑම සහ බෙහෙත් බෙදා දෙන්න හැම දවසකම හමුදා මුරපොළවල් සෑහෙන ගාණක් පහු කරන් කිලෝමීටර් 500ක් යනවා.

සහෝදරයන්ව යුධ කලාපයෙන් බේරගෙන ආරක්ෂිත ප්‍රදේශවලට ගෙනියන්න සහන සේවා කමිටු ප්‍රවාහන පහසුකමුත් ලෑස්ති කෙරුවා. චෙර්නිහිව් නගරේ සහන සේවා කමිටුවේ වැඩ කරන සහෝදරයෙක් මෙහෙම කිව්වා. “හමුදාව ගෙවල් තියෙන පැතිවලට ෂෙල් වෙඩි ගහන්න ගත්තා. අපිට තේරුණා තවත් නම් නගරේ ඉන්න එක භයානකයි කියලා. ඒ වෙලාවේ කරන්ටුයි, ඉන්ටනෙටුයි වැඩ කෙරුවේ නැහැ. අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැ. වැඩිමහල්ලෝ බෝම්බ වැටෙන අස්සේ නගරේ හරහා දුවලා ගිහින් බේස්මන්ට්වල හිටපු සහෝදර සහෝදරියන්ට කිව්වා නගරෙන් පලා යන්න වාහන එනවා, ලෑස්ති වෙන්න කියලා.”

වාහන අයිතිකරුවෙක් අපිට උදව් කරන්න එකඟ වුණා. චෙර්නිහිව්වල හිටපු සහෝදර සහෝදරියන් 254දෙනෙක්ව බේරගන්න එයා එයාගේ බස් සහ වෑන්වලින් ගමන් වාර 9ක් ගියා. එක තැනකට යද්දී බස් එකට යන්න බැරි තරම් පාර කැඩිලා තිබුණා. ඉතින් එයා බැකෝ එකක් වගේ යන්ත්‍රයක් ගෙනල්ලා පාරත් හදලා, සහෝදරයන්වත් කොහොමහරි අරන් ගියා. අපිට ඒ විදිහට උදව් කරපු හැමෝටම අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

මේ යුද්දෙන් අපේ සහෝදර සහෝදරියන් ආදරේ කරන හුඟදෙනෙක්ගේ ජීවිත නැති වුණා. ඒක දරාගන්න බැරි තරම් දුකක්. වියෝදුකෙන් ඉන්න අපේ ඒ සහෝදර සහෝදරියන් එක්ක අපිත් දුක් වෙනවා. බයිබලේ පොරොන්දු වෙලා තියෙන මරණය සහ වැලපීම නැති ඒ දවස එන කල් අපි හැමෝම බලන් ඉන්නේ හරිම ආසාවෙන්.—එළිදරව් 21:3, 4.

චෙර්නිහිව්වලින් බේරගත්ත ප්‍රචාරකයන් 40දෙනෙක්ව විතර ආරක්ෂිත ප්‍රදේශයක තියෙන නමස්කාර මධ්‍යස්ථානෙකදී ආදරෙන් පිළිගන්නවා

පහළ තියෙන්නේ 2022 මාර්තු 29වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු. මේ සංඛ්‍යා ලේඛන පදනම් කරගත්තේ යුක්රේනයේ එක එක ප්‍රදේශවල ඉන්න සහෝදරයන් තහවුරු කරපු වාර්තාවලට අනුව. යුක්රේනයේ සන්නිවේදන පද්ධතියට හානි වෙලා නිසා මේ සංඛ්‍යා හරියටම හරියි කියන්න බැහැ. බොහෝදුරට සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලා හිතන්න පුළුවන්.

යුද්ධය බලපාලා තියෙන විදිහ

  • ප්‍රචාරකයන් 17දෙනෙක් මැරුණා

  • ප්‍රචාරකයන් 35දෙනෙක්ට තුවාල වුණා

  • ප්‍රචාරකයන් 36,313දෙනෙක් රට ඇතුළේ තියෙන ආරක්ෂිත තැන්වලට පලා ගිහින් තියෙනවා

  • ගෙවල් 114ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • ගෙවල් 144කට බරපතළ හානි වෙලා

  • ගෙවල් 612කට සුළු හානි සිද්ධ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථානයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 7කට බරපතළ හානි වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 23කට සුළු හානි සිද්ධ වෙලා

සහන සේවා

  • යුක්රේනය පුරා සහන සේවා කමිටු 27ක් පිහිටුවලා තියෙනවා

  • ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 34,739දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා

  • වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 16,175දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා