Skip to content

වම: පෝලන්තයෙන් ලැබුණ සහනාධාර බෙදාහරින්න යුක්රේනයේ සහෝදරයන් ඒවා වෑන් එකකට පටවනවා. දකුණ: බෝම්බයකින් විනාශ වුණ හොස්තොමෙල් ප්‍රදේශයේ සහෝදරයෙක්ගේ ගෙයක්

2022 අප්‍රියෙල් 13
යුක්රේනය

අලුත්ම තත්වය අංක 6 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි

අලුත්ම තත්වය අංක 6 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි

රුසියාවයි යුක්රේනයයි අතර යුද්ධය තවමත් නැවතිලා නැහැ. මේ වෙද්දී අපේ සහෝදර සහෝදරියන් 28දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා.

ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා කරන විදිහට යුද්ධයේ මුල් සතිවලදී කීව් නගරයට ආසන්නයේ තියෙන නගරවල දරුණු සටන් ඇති වුණා. ඒ ප්‍රදේශවල ප්‍රචාරකයන් 4,900ක් විතර ඉන්නවා. එයාලගෙන් 3,500කට වඩා වැඩි පිරිසක් මේ වෙද්දී ආරක්ෂිත ප්‍රදේශවලට පලා ගිහින් තියෙනවා.

ඒ පැතිවල ඉන්න අපේ සහෝදර සහෝදරියන් පෙන්නලා තියෙන නොසැලෙන විශ්වාසය පහළ තියෙන අද්දැකීම්වලින් හොඳටම පැහැදිලියි.

ඔලෙක්සන්දර් කියන්නේ මකරිව් නගරයේ ඉන්න වැඩිමහල්ලෙක්. එයා යුක්රේනයේ මධ්‍යම පළාතක තියෙන ආරක්ෂිත ප්‍රදේශයකට පලා ගියා. ඒත් එයාගේ ක්ෂේත්‍ර සේවා කණ්ඩායමේ ප්‍රචාරකයන් 4දෙනෙක්ව කන්ටැක්ට් කරගන්න බැරි වුණ හින්දා එයාලව හොයාගෙන ආයෙත් යුද කලාපයට යන්න එයා තීරණය කළා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මම තේරුම්ගත්තා තමන්ට නමස්කාර කරන අයව යෙහෝවාට කොච්චර වටිනවාද කියලා. මම එක සහෝදරයෙක්ගේ මිදුලට යද්දී දැක්කා එයාලගේ ගෙදරට බෝම්බයක් වැදිලා තියෙනවා. එයාලගේ ගෙදර බේස්මන්ට් එකේ දොර වහලයි තිබුණේ. මං කෑගහලා කතා කෙරුවාට කිසි සද්දයක් තිබුණේ නැහැ. මං හිතුවා ඔක්කොමලා ඉවරයි තමයි කියලා.” ඔලෙක්සන්දර් ඒ දොර කඩලා ඇතුළට ගියා. එතකොට එයා දැක්කා ඇතුළේ හිටිය කට්ටිය එයා දිහා බලන් ඉන්නවා. හොයාගෙන ගිය ප්‍රචාරකයන් විතරක් නෙමෙයි එයාලගේ අසල්වැසියන් කීපදෙනෙකුත් එතන හිටියා.

ආරක්ෂිත තැනකට ගියාට පස්සේ යරොස්ලෆ් යුවළ (මැද) ඔලෙක්සන්දර් යුවළ එක්ක කෑම කනවා

එතන හිටපු එක ප්‍රචාරකයෙක්ගේ නම යරොස්ලෆ්. එයා කිව්වා එයාලා දවස් 8ක් ඒක ඇතුළේ හිටියා කියලා. එයා මෙහෙම කියනවා. “අපි එක්කෙනෙක්ට දවසකට කන්නයි බොන්නයි තිබුණේ බිස්කට් කීපයකුයි වතුර වීදුරුවකුයි විතරයි. ඒත් අපි බයිබලේ කියෙව්වා. අපේ පොත් පත් කියෙව්වා. යාච්ඤා කෙරුවා. අපි එක් එක් කෙනාව දිරිගන්වගත්තා. ඔලෙක්සන්දර් මගේ නම කියනවා ඇහුණාම මං හිතුවා ඒ කෑගහන්නේ හමුදාවේ කෙනෙක් කියලා. මං හොඳටම බය වුණා. මං හිතුවේ මාව මරයි කියලා. ඒ වෙනුවට එයා අපි හැමෝවම බේරගත්තා. අපි වෙනුවෙන් යාච්ඤා කරන, අපිව බේරගන්න ජීවිත පරදුවේ දාගෙන එන අය ඉන්න ආදරණීය පවුලක් අපිට දුන්නට අපි යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා.”

පිලිප්

පිලිප් කියන සහෝදරයා, තවත් සහෝදරයෙක් එක්ක තීරණය කෙරුවා බොරොඩියන්කා නගරේ ඉන්න සහෝදරයන්ට කෑම බීම අරන් යන්න. එදා මාර්තු 17වෙනිදා. නගරෙට යද්දී හමුදා භටයෝ පිලිප්ගේ කාර් එක නවත්තලා ඔක්කොම කෑම ටික ගත්තා. භටයෙක් සහෝදරයන් දෙන්නව අත්අඩංගුවට අරන්, මාංචු දාලා, ඇස් බැඳලා බේස්මන්ට් එකක තියෙන පොඩි කාමරේකට දැම්මා. ඒකේ තව 7දෙනෙක් හිටියා. දවස් 2කට පස්සේ එයාලව තවත් තැනකට අරන් ගිහින් රෑ වුණාට පස්සේ එයාලට හොඳටම ගැහුවා. පිලිප් කියනවා “මම බේරෙයිද කියලා මට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. විශ්වාසය බිඳගන්නේ නැතුව ඉන්න උදව් කරන්න කියලයි මං යාච්ඤා කෙරුවේ” කියලා.

පිලිප් එයාට ගහපු එක අවස්ථාවක එයාගේ පවුලේ අය ගැන කියලා, කෑම නැතුව හිටපු මහලු සහෝදරියන් ගැන කියලා, මෙච්චර කාලයක් සතුටින් යෙහෝවාට සේවය කරන්න අවස්ථාව දුන්නට ස්තුති කරලා යාච්ඤා කෙරුවා. එයාලව මුර කරපු කෙනා එයාව ආයෙත් ගිහින් කාමරේට දැම්මා. පිලිප් දිගටම යාච්ඤා කෙරුවා, එයාලා ආවේ අනතුරක් කරන්න නෙමේ කියලා තේරුම්ගන්න භටයන්ට උදව් කරන්න කියලා. ඊටපස්සේ සහෝදරයෝ දෙන්නම මුරකාරයන්ට සාක්ෂි දැරුවා. දවස් 2ක පුරාම මුර කරන්න ෂිෆ්ට් එකට ආපු හැම මුරකාරයෙක්ටම දේශනා කෙරුවා. අන්තිමට හිරගත වෙලා හිටපු කෙනෙක් බයිබලේ පණිවිඩය ගැන උනන්දුවක් පෙන්නුවා. එයා සහෝදරයන්ට ස්තුති කෙරුවා. මාර්තු 27වෙනිදා සහෝදරයන්වත් උනන්දුව දක්වපු කෙනාවත් නිදහස් කෙරුවා.

ස්විට්ලානා කියන්නේ බූචා නගරේ ඉන්න තනිකඩ සහෝදරියක්. යුද කලාපෙන් පලා යන්න එයා සති දෙකක් තිස්සේ උත්සාහ කෙරුවා. ඒත් බැරි වුණා. එයා මෙහෙම කියනවා. “දෙවියන් ලබා දෙන සමාදානය කොයි තරම් වටිනවාද කියලා මම මීට කලින් තේරුම් අරන් තිබුණේ නැහැ. ඒ සමාදානය තියෙනවා කියන්නේ මොනවද කරන්න ඕනෙ කියලා දැනන් ඉන්නවා කියන එක නෙමෙයි. හැබැයි ඒ සමාදානය තියෙද්දී අපි ඉන්න තත්වෙන් ගොඩ එන්න විදිහක් පේන්නේ නැති වෙලාවල වුණත් අපි සම්පූර්ණයෙන්ම යෙහෝවා මත රඳලා ඉන්නවා.”

ආරක්ෂිත ප්‍රදේශයකට යන අතරමඟදී ස්විට්ලානා කාන්තාවකටයි එයාගේ ඥාති පුතාටයි සාක්ෂි දැරුවා. එයාලා ආරක්ෂිත තැනකට ආපුවාම එයාලව සාක්ෂිකාර පවුලක් පිළිගත්තා. ඒ පවුලේ අය ස්විට්ලානාට විතරක් නෙමෙයි අර කාන්තාවටයි, පුතාටයි එදා රෑ නවාතැන් දුන්නා. ඊළඟ දවසේ පවත්වපු අපේ රැස්වීමකට එන්න කියලා ඒ කාන්තාවට ආරාධනා කළාම එයා බයිබලේකුයි අපේ පොතුයි ඉල්ලුවා. ස්විට්ලානා දිගටම ඒ කාන්තාව එක්ක බයිබලේ ගැන සාකච්ඡා කරනවා.

පහළ තියෙන්නේ 2022 අප්‍රියෙල් 12වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු. මේ සංඛ්‍යා ලේඛන පදනම් කරගත්තේ යුක්රේනයේ එක එක ප්‍රදේශවල ඉන්න සහෝදරයන් තහවුරු කරපු වාර්තාවලට අනුව. යුක්රේනයේ සන්නිවේදන පද්ධතියට හානි වෙලා නිසා මේ සංඛ්‍යා හරියටම හරියි කියන්න බැහැ. බොහෝදුරට සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලා හිතන්න පුළුවන්.

යුද්ධය බලපාලා තියෙන විදිහ

  • ප්‍රචාරකයන් 28දෙනෙක් මැරුණා

  • ප්‍රචාරකයන් 48දෙනෙක්ට තුවාල වුණා

  • ප්‍රචාරකයන් 40,778දෙනෙක් රට ඇතුළේ තියෙන ආරක්ෂිත තැන්වලට පලා ගිහින් තියෙනවා

  • ගෙවල් 278ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • ගෙවල් 268කට බරපතළ හානි වෙලා

  • ගෙවල් 746කට සුළු හානි සිද්ධ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථානයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 9කට බරපතළ හානි වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 26කට සුළු හානි සිද්ධ වෙලා

සහන සේවා

  • යුක්රේනය පුරා සහන සේවා කමිටු 27ක් පිහිටුවලා තියෙනවා

  • ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 41,974දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා

  • වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 18,097දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා