Skip to content

ලුවිව්වල නමස්කාර මධ්‍යස්ථානයක සිහි කිරීමට සහභාගි වෙන අවතැන් වුණ සහෝදර සහෝදරියන්. එතන 60දෙනෙක් විතර නවාතැන් අරන් ඉන්නවා

2022 අප්‍රියෙල් 29
යුක්රේනය

අලුත්ම තත්වය අංක 7 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි

සිහි කිරීමට 2,10,000කට වැඩි පිරිසක් එයි

අලුත්ම තත්වය අංක 7 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි

යුක්රේනය පුරා ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වන්න පුළුවන් වුණා කියලා දැනුම් දෙන්න අපි කැමතියි. අවතැන් වුණ සාක්ෂිකරුවන් නැවතිලා ඉන්න නමස්කාර මධ්‍යස්ථාන කීපයකම සිහි කිරීම පවත්වන්න සැලසුම් කෙරුවා. ඒත් මෙදා සැරේ හුඟදෙනෙක් ඒක සැමරුවේ පොඩි පොඩි කණ්ඩායම් විදිහට. ගෙවල්වලින් එළියට යන්න බැරි අයව වීඩියෝ කොන්ෆරන්සිං හරහා සම්බන්ධ කරගත්තා.

කාර්කිව්වල බේස්මන්ට් එකක පවත්වපු සිහි කිරීමක්

හුඟක් පැතිවල සිහි කිරීමේ දවස පුරාම වගේ ගුවන් ප්‍රහාර සයිරන් නාද වුණා. ඒත් හවස් වෙද්දී සයිරන් සද්දේ නැවතුණා. ඒ ගැන ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ ඉන්න ෂෙර්හිව් මෙහෙම කියනවා. “අපි යෙහෝවාට යාච්ඤා කෙරුවා බෝම්බ ගැහුවත් නැතත් අපිට සිහි කිරීම පවත්වගන්න උදව් කරන්න කියලා. සිහි කිරීම පවත්වන්න ඔන්න මෙන්න තියලා බෝම්බ සද්දයි, සයිරන් සද්දයි එහෙම්පිටින්ම නැවතුණා.”

කීව්වල ඉන්න මහලු, දුර්වල ප්‍රචාරකයන් කීපදෙනෙක්ට මාසයකට වැඩි කාලයක් රැස්වීම්වලට සහභාගි වෙන්න බැරි වුණා. සිහි කිරීමට සහභාගි වෙන්න තිබුණ ඕනකම නිසා එයාල යෙහෝවාට දිගටම යාච්ඤා කෙරුවා. විතාලි කියන්නේ සිහි කිරීමට සහභාගි වෙන්න මහලු අයට උදව් කරපු වැඩිමහල්ලෙක්. එයා මෙහෙම කියනවා. “කරන්ට් තිබුණේ නැති හින්දා අපි සිහි කිරීම පැවැත්තුවේ ඉටිපන්දම් එළියෙන්. ගෙවල්වල හීටර් තිබුණෙත් නැහැ. ගීතිකා කියන්න විදිහක් තිබුණෙත් නැති හින්දා මගේ දුව වයලින් එකෙන් ගීතිකා වාදනය කෙරුවා. ඒ හින්දා අපිට පුළුවන් වුණා ගීතිකාත් කියන්න.”

ඔලෙක්සන්දර් යුධ කලාපයේ ජීවත් වෙන වැඩිමහල්ලෙක්. එයා මෙහෙම කියනවා. “අපේ සභා ප්‍රදේශයේ ගෙවල්වලට බෝම්බ වැදිලා තිබුණ හින්දා මිනිස්සු ගෙවල් දාලා ගිහිල්ලා. ඒ හින්දා සිහි කිරීමට ආරාධනා කරන දවස්වල ආරාධනා පත්‍ර යවන්න විදිහක් තිබුණේ නැහැ. ඉතින් අපි දන්න කියන අයටයි, බේස්මන්ට්වලදී හම්බුණ අයටයි, අපිව ආරක්ෂිත තැන්වලට යවන්න මහන්සි වෙච්ච අයටයි ආරාධනා කෙරුවා. ඒ අයට සාක්ෂිකරුන්ව කවදාවත් හම්බෙලා තිබුණේ නැහැ. ඒ අයගෙන් හුඟදෙනෙක් සිහි කිරීමටත් ආවා.”

කරන්ට් නැති නිසා ඉටිපන්දම් එළියෙන් සිහි කිරීම පවත්වන යුවළක්. එයාලා ෆෝන් එක චාජ් කරගත්තේ ළඟපාත ගමක ජෙනරේටරයකින්

යුක්රේනයේ සභාවලින් සම්පූර්ණ වාර්තාවක් තවම ලැබිලා නැහැ. ඒත් සිහි කිරීමට 2,10,000කට වඩා වැඩිදෙනෙක් සහභාගි වුණා කියලා දැනගන්න ලැබිලා තියෙනවා.

සිහි කිරීම ගැන යුක්රේනයේ සහෝදරයෙක් මෙහෙම කියනවා. “රෑ කාලේදී ලයිට් හවුස් එකක් දැක්ක ගමන් ගොඩ බිමක් ළඟයි කියන එක ගැන නැවියන්ට කිසිම සැකයක් නැහැ. ඒ වගේ යෙහෝවාගේ දවස අත ළඟටම ඇවිල්ලා කියලා මේ සිහි කිරීම මට මතක් කෙරුවා. මෙදා සිහි කිරීම මගේ විශ්වාසය තවත් ශක්තිමත් කෙරුවා.”

පහළ තියෙන්නේ 2022 අප්‍රියෙල් 21වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු. මේ සංඛ්‍යා ලේඛන පදනම් කරගත්තේ යුක්රේනයේ එක එක ප්‍රදේශවල ඉන්න සහෝදරයන් තහවුරු කරපු වාර්තාවලට අනුව. යුක්රේනයේ සන්නිවේදන පද්ධතියට හානි වෙලා නිසා මේ සංඛ්‍යා හරියටම හරියි කියන්න බැහැ. බොහෝදුරට සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලා හිතන්න පුළුවන්.

යුද්ධය බලපාලා තියෙන විදිහ

  • ප්‍රචාරකයන් 35දෙනෙක් මැරුණා

  • ප්‍රචාරකයන් 60දෙනෙක්ට තුවාල වුණා

  • ප්‍රචාරකයන් 43,792දෙනෙක් රට ඇතුළේ තියෙන ආරක්ෂිත තැන්වලට පලා ගිහින් තියෙනවා

  • ගෙවල් 374ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • ගෙවල් 347කට බරපතළ හානි වෙලා

  • ගෙවල් 874කට සුළු හානි සිද්ධ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථානයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 10කට බරපතළ හානි වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 27කට සුළු හානි සිද්ධ වෙලා

සහන සේවා

  • යුක්රේනය පුරා සහන සේවා කමිටු 27ක් පිහිටුවලා තියෙනවා

  • ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 44,971දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා

  • වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 19,961දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා