Skip to content

කාර්කිව් නගරෙට බෝම්බ ගහද්දී ආරක්ෂිත තැනකට ආපු සහෝදර සහෝදරියන් කීපදෙනෙක්

2022 මාර්තු 3
යුක්රේනය

යුධ ගිනි මැද ආදරය පැතිරෙයි!

යුධ ගිනි මැද ආදරය පැතිරෙයි!

2022 පෙබරවාරි 24වෙනිදා රුසියාව යුක්රේනය ආක්‍රමණය කෙරුවා. දරුවන් ඇතුළුව යුක්රේනයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,29,000කට වඩා වැඩියි. ශාඛා කාර්යාලය එයාලට ඕනෙ කරන උදව් ලබා දෙන්න සහන සේවා කමිටු 27ක් පත් කරලා තියෙනවා. සහෝදර සහෝදරියනුත් එකිනෙකාව විතරක් නෙමෙයි අසල්වැසියන්වත් දිරිගන්වලා සහනය, උපකාර ලබා දෙන්න එයාලට කරන්න පුළුවන් හැම දේම කරනවා. එහෙම කරලා එයාලගේ හිත්වල තියෙන ආදරය පෙන්නනවා.

වැඩිදෙනෙක් යුක්රේනයේම ඉන්න තීරණය කළත් සමහර සහෝදර සහෝදරියන් තීරණය කරලා තියෙනවා අවට රටවල්වලට යන්න. එහෙම යන අයට දේශ සීමා පහු කරන කල් දවස් තුන හතරක්, සමහර පැතිවල කිලෝමීටර් 30ක් තරම් දිග පෝළිම්වල රැඳිලා ඉන්න වුණා. ඒ අවට ඉන්න සහෝදරයන් පෝළිම්වල ඉන්න අපේ සහෝදරයන්ව හොයාගෙන එයාලට උදව් කරන්න ගොඩක් මහන්සි වෙනවා. අවට රටවල්වල ඉන්න සාක්ෂිකරුවනුත් jw.org පුවරු තියාගෙන මඟ බලන් ඉන්නේ පීඩාවට පත් වුණ යුක්රේනයේ සහෝදර සහෝදරියන්ව පිළි අරගෙන එයාලට අවශ්‍ය කරන සහනය සහ උදව් ලබා දෙන්නයි.

යුක්රේනයෙන් එන සහෝදර සහෝදරියන්ට උදව් කරන්න බලන් ඉන්න පෝලන්තයේ (වම) සහ ස්ලෝවැක් ජනරජයේ (දකුණ) සහෝදරියෝ

යුද්ධය මේ දක්වා බලපාලා තියෙන විදිහ

  • සහෝදර පෙත්‍රෝ මෝසුල්, කාර්කිව්වල හිටපු සහායක සේවකයෙක්. එයා බිහිරියි. බෝම්බ ප්‍රහාරයකින් එයා මිය ගියා

    2022 මාර්තු 1වෙනිදා කාර්කිව් නගරෙට බෝම්බ දාද්දී බිහිරි සහෝදරයෙක් මැරුණා. එයාගේ බිරිඳ බරපතළ විදිහට තුවාල වුණා

  • සහෝදරියන් 3දෙනෙක්ට තුවාල වුණා

  • ප්‍රචාරකයන් 5,000කට වඩා වැඩිදෙනෙක් එයාලගේ ගෙවල් අත්හැරලා ගිහින්

  • ගෙවල් 2ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • ගෙවල් 3කට බරපතළ හානි වෙලා

  • ගෙවල් 35කට සුළු හානි සිද්ධ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 2කටත් හානි වෙලා

  • හුඟක් ප්‍රචාරකයන්ට විදුලිය, ගෙවල් උණුසුම් කරන යන්ත්‍ර, දුරකතන පහසුකම් සහ වතුර නැහැ

සහන සේවා

  • යුක්රේනය පුරා සහන සේවා කමිටු 27ක් පිහිටුවලා තියෙනවා

  • ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 867දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා

  • කෑම සහ වතුර වගේ අත්‍යවශ්‍ය දේවල් ලබා දෙන්න ඒ කමිටුවල ඉන්න සහෝදරයන් දිගටම මහන්සි වෙනවා

මේ තොරතුරු සකස් කෙරුවේ මුලින්ම ලැබුණු වාර්තාවලට අනුවයි.

ඊළඟ මොහොතේ මොනවා වෙයිද කියලා විශ්වාසයක් තියාගන්න බැරි තරම් තත්වය දරුණුයි. ඒක දරාගන්න අපේ සහෝදර සහෝදරියන්ට ලේසි නැහැ. ඒ වුණත් එයාලා එකිනෙකාට පෙන්නන්නේ පුදුමාකාර ආදරයක්. තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා මතු වෙන හදිසි තත්වයන්වලට මූණ දෙන්න එයාලට උදව් කරන්න කියලා අපි දිගටම යෙහෝවාට කන්නලව් කරමු.—හිතෝපදේශ 9:10; 1 තෙසලෝනික 4:9.