Skip to content

2015 ජූලි 10
යුක්රේනය

ආගමික විශ්වාසයන් නිසා බැටකන නැගෙනහිර යුක්රේනයේ සාක්ෂිකරුවන්!

ආගමික විශ්වාසයන් නිසා බැටකන නැගෙනහිර යුක්රේනයේ සාක්ෂිකරුවන්!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමන්ගේ විශ්වාසයන් ගැන අනිත් අයට කියලා දෙන, කිසිම දේශපාලන කටයුත්තකට හවුල් වෙන්නේ නැති සාමකාමී පිරිසක් විදිහට කා අතරත් ප්‍රසිද්ධයි. ඒ වුණත් නැගෙනහිර යුක්රේනයේ අවිගත් කණ්ඩායම්වල සමහර සාමාජිකයන් ඒ පළාතේ නොසන්සුන්කාරී වාතාවරණය අතකොළුවක් කරගෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නොයෙකුත් වධ හිංසා කරනවා. 2014 අගෝස්තු මාසයේ සිට සාක්ෂිකරුවන් 26දෙනෙක්ව විවිධ අවස්ථාවන්වලදී පැහැරගෙන ගොස් අමානුෂික විදිහට පහරදී සිරගත කර තිබෙනවා. *

සිද්ධීන් කිහිපයක්

  • 2015 මැයි 21වෙනිදා ස්ටාකාහනොව් නගරයේ වයස අවුරුදු 60ට වැඩි සාක්ෂිකරුවන් දෙන්නෙක් තම විශ්වාසයන් ගැන අනිත් අයට දේශනා කරමින් ඉද්දී පොලිස් නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගත්තා. “සාමය කඩ වෙන විදිහට කටයුතු කළා” කියන චෝදනාව මත දවස් 15ක සිරදඬුවමක් ඔවුන්ට නියම කළා. ඔවුන්අත්අඩංගුවේ ඉද්දී ඔත්තුකරුවන් කියා ඔවුන්ට චෝදනා කළ අතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානයේ වැඩකටයුතු ගැන දිගින් දිගටම ප්‍රශ්න කළා. ඒ පළාතේ අනිත් සාක්ෂිකරුවන් මේ දෙන්නව නිදහස් කරන්න කියලා පැමිණිල්ල දැමූ නීතිඥවරයාගෙන් ඉල්ලුවත් ඒක ප්‍රතික්ෂේප කළා. පවුලේ අයට සහ අනිකුත් සාක්ෂිකරුවන්ට මුලදී මේ අයව බලන්න අවසර ලැබුණේ නැහැ. ඒත් පසුව සතියට තුන් වතාවක් කෑම, ඇඳුම් පැළදුම් සහ බේත්හේත් ලබා දෙන්න අවසර ලැබුණා. 2015 ජුනි 2වෙනිදා එක් සාක්ෂිකරුවෙක්ව නිදහස් කළ අතර අනිත් සාක්ෂිකරුවාව ඊටපසු දින නිදහස් කළේ ඔවුන්ට ඒ ප්‍රදේශයෙන් පිට වෙන්න කියලා නියෝග කරමින්.

  • 2015 මැයි 17වෙනිදා අවිගත් පිරිසක් නෝවාසෝක් ප්‍රදේශයේ සාක්ෂිකරුවන් හතරදෙනෙක්ගේ ඇස් බැඳලා හමුදා මූලස්ථානයට අරගෙන ගියා. මරන්න යනවා වගේ පෙන්නලා තර්ජනය කර බිය ගන්වා පැය දෙකක් තිස්සේ සාක්ෂිකරුවන්ට කුරිරු විදිහට වධ හිංසා කළා. තරුණ සාක්ෂිකරුවාට හමුදාවට බැඳෙන්න කියලත් අනිත් අයට ඕතඩොක්ස් ආගම එකම සැබෑ ආගම විදිහට පිළිගන්න කියලත් තරයේ කියා සිටියා. ඒ අයව නිදහස් කළේ මුළු රැයක් පුරා තාවකාලික සිරමැදිරියක රඳවා තබාගැනීමෙන් පසුවයි.

  • දරුණු පහරදීම්වලට ලක් වුණු නෝවාසොව්ස්ක් පළාතේ සාක්ෂිකරුවන් දෙන්නෙක්

  • 2015 ජනවාරි 22වෙනිදා අවිගත් පුද්ගලයන් තුන්දෙනෙක් ඩොනිඑට්ස්ක් නගරයේ සාක්ෂිකරුවෙක්ව ඔහුගේ රැකියා ස්ථානයෙදී පැහැරගෙන ගියා. ඔහුගේ පවුලේ අය කොච්චර උත්සාහ කළත් ඔහුව අත්අඩංගුවට ගත්තේ මොන හේතුවක් නිසාද කියලවත් රැගෙන ගියේ කොහෙටද කියලවත් ඔවුන්ට දැනගන්න ලැබුණේ නැහැ. රඳවගෙන හිටිය සාක්ෂිකරුවා තමන් කිසිම දේශපාලන කටයුත්තකට සම්බන්ධ නැහැ කියලා දිගින් දිගටම කියා සිටියත් ඔහුව නිදහස් කෙරුවේ දවස් 9කට පසුවයි.

  • 2014 අගෝස්තු 9වෙනිදා ආයුධ අරගත්තු භටයෙක් ස්ටාකාහනොව් නගරයේ සාක්ෂිකරුවන් දෙන්නෙක්ව පැහැරගෙන ගිහින් දවස් 6ක් රඳවගෙන හිටියා. ඔවුන්ව බය කිරීමේ අරමුණින් මරන්න යන විදිහ පෙන්නලා, කුරිරු විදිහට දිගින් දිගටම වධ හිංසා කළා. ඇඳුම්, කෑම බීම, බෙහෙත් වැනි කිසිම දෙයක් ලබා දුන්නේ නැහැ. ඕතඩොක්ස් ආගමේ විශ්වාසයන් පිළිගන්න කියලත් ආගමික රූපවලට නමස්කාර කරන්න කියලත් පැහැරගත් අය ඔවුන්ට බල කළා. මේ සිද්ධියෙන් පේන්නේ මේක දේශපාලන ගැටුමකට වඩා ආගමික ගැටුමක් කියලයි. කොයි තරම් දරුණු වධ හිංසාවලට මුහුණ දෙන්න සිදු වුණත් මේ සාක්ෂිකරුවන් තමන්ගේ විශ්වාසයන් පාවා දුන්නේ නැහැ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන නිසා ඕතඩොක්ස් විශ්වාසයන් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් යුක්රේනයේ පවතින ගැටුම්වලට හෝ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරකම්වලට හවුල් වෙන්නෙවත් මුදලින් ආධාර කරන්නෙවත් නැහැ. මේ හේතුන් නිසා අවිගත් කණ්ඩායම් දිගින් දිගටම සාක්ෂිකරුවන්ට ඉතාමත් දරුණු විදිහට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසය බිඳින්නයි.

වධ හිංසාවලට මුහුණ දුන්නත් ස්ථීරව

මේ පළාතේ පවතින නොසන්සුන් වාතාවරණය නිසා සාක්ෂිකරුවන්ට නීතියෙන් කිසිම සහනයක් ලැබිලා නැහැ. සාක්ෂිකරුවන් ඔවුන් මුහුණ දුන් සෑම අසාධාරණ චෝදනාවක්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වධ හිංසා සම්බන්ධ සිද්ධීන් ගැන සොයා බලන නියෝජිතවරියටත් වෙනත් ජාත්‍යන්තර සංවිධානවලටත් දැනුම් දීලා තියෙනවා.

නැගෙනහිර යුක්රේනයේ සාක්ෂිකරුවන් මොන තරම් හිංසාවලට මුහුණ දුන්නත් දේශපාලන කටයුතුවලට හවුල් වෙන්නේ නැහැ. ඔවුන් නමස්කාර කටයුතුවල හවුල් වෙන්නෙත් සාමකාමීවයි. ඒ නිසා මූලික මිනිස් අයිතිවාසිකමක් වන තමන්ගේ ආගම නිදහසේ ඇදහීමේ අයිතියට ඒ රටේ බලධාරීන් ගරු කරයි කියලා සාක්ෂිකරුවන් බලාපොරොත්තු වෙනවා.

^ ලිපියේ මුලින් තියෙන පින්තූරයේ ඉන්න යූරීට අවිගත් පිරිස් ප්‍රහාර එල්ල කළේ ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නිසයි. දවසක් ඔහු නමස්කාර කටයුතුවල හවුල් වෙලා නැවතත් නිවසට එන අතර මඟදී ඒ පිරිස ඔහුගෙන් ප්‍රශ්න කෙරුවා. තවත් අවස්ථා දෙකකදී නිවසටම ඇවිත් ඔහුට පහර දුන්නා. ඔවුන් ඔහුට තර්ජනය කළේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර කටයුතුවලට කිසිම විදිහකින්වත් හවුල් වෙන්න එපා කියලයි.