Skip to content

2017 අප්‍රියෙල් 7
රුවන්ඩා

ආගම නිසා පාසැල් දරුවන් විඳින හිංසනවලට එරෙහිව රුවන්ඩාවේ උසාවියකින් තීන්දුවක්

ආගම නිසා පාසැල් දරුවන් විඳින හිංසනවලට එරෙහිව රුවන්ඩාවේ උසාවියකින් තීන්දුවක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන සිසු දරුවන් 8දෙනෙක්ට පක්ෂව රුවන්ඩාවේ උසාවියක් තීන්දුවක් ලබා දුන්නා. ඒ තීන්දුවෙන් නිදහසේ තමන්ගේ ආගම අදහන්න ඒ දරුවන්ට තියෙන අයිතිය තහවුරු කළා. ඒ වගේ තීන්දුවක් දෙන්න හේතු වුණේ තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ආගම උගන්වන පන්තිවලට සහභාගි වීමට බැහැ කියලා ඒ සිසුන් කියපු නිසයි.

රුවන්ඩාවේ තියෙන පාසැල් වැඩි හරියක් ආගමික සංවිධානවලට සම්බන්ධයි. සමහර පාසැල් ආගමික මෙහෙයන්ට සහභාගි වීමත් පල්ලියට බද්දක් ගෙවීමත් සිසුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක කරන්න බැහැ කිව්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන සිසුන් 160දෙනෙක්ව පාසැල් නිලධාරීන් විසින් 2008 සිට 2014 අතර කාලය තුළදී පාසැල්වලින් අයින් කරලා තියෙනවා. ආගම නිසා දරුවන් විඳින මේ වගේ හිංසන කාලයක් තිස්සේ රට පුරා පවතින ගැටලුවක්. ඒත් රුවන්ඩාවේ කරූංජී දිස්ත්‍රික්කයේ පවත්වපු නඩුවෙන් පැහැදිලි වෙන්නේ ඊට එරෙහිව ආණ්ඩු බලධාරීන්ට සාධාරණ විසඳුමක් දෙන්න පුළුවන් කියන එකයි.

ආගම නිසා සිසුන්ව පාසැලෙන් එළියට දමයි

2014 මැයි 12වෙනිදා කරූංජී දිස්ත්‍රික්කයේ ගෲප් ස්කොල්‍යා මුසාංගෝ කියන පාසැලෙන් වයස අවුරුදු 13ත් 20ත් * අතර සිසුන් 8දෙනෙක්ව අයින් කළා. එයාලා ආගමික මෙහෙයකට සහභාගි වෙන්න බැහැ කිව්ව එකයි ඒකට හේතු වුණේ. රුවාංකුබා කොට්ඨාසයේ විධායක ලේකම්ට ඒ ගැන දෙමාපියන් පැමිණිලි කළාම ඒ දරුවන්ව පාසැල්වලට නැවත භාරගන්න කියලා නියෝග කළා. ඒ තීරණය ගැන අසතුටු වුණ පාසැල් නිලධාරීන් ශිෂ්‍යයන්ට විරුද්ධව උපායක් යෙදුවා. ඒ උපාය වුණේ ජාතික ගීය ගායනා නොකරන නිසා එයාලා ඒකට අගෞරව කරනවා කියන චෝදනාව සිසුන්ට විරුද්ධව එල්ල කිරීමයි. ඒ සිසුන්ව පාසැලට නැවත භාර අරන් දවස් 2කින් ඒ කියන්නේ 2014 ජූනි 4වෙනිදා පොලීසියෙන් ඇවිත් ඒ දරුවන්ව අත්අඩංගුවට ගත්තා.

පොලීසිය දවස් 6ක් එයාලව අත්අඩංගුවේ තියාගත්තා. නිලධාරීන් ඒ සිසුන්ට තර්ජනය කළා. අපහාසත් කළා. වයසින් අඩු සිසුන්ට බලපෑම් කළා කියලා වයසින් වැඩි දෙන්නාට පහර දුන්නා. ඒ මොන හිංසා වින්දත් ඒ සිසුන් 8දෙනා නෙමෙයි දෙවි ගැන තියෙන විශ්වාසය පාවලා දුන්නේ.

උසාවිය සිසුන්ව නිදොස් කර නිදහස් කරයි

2014 ජූනි 9වෙනිදා පොලීසිය සිසුන් 7දෙනෙක්ව නිදහස් කළා. බාලම කෙනාව පැමිණිලි පක්ෂයේ නීතිඥවරයා නඩුවෙන් නිදහස් කළා. ඒත් පොලීසිය එයාලගෙන් වැඩිමලාව තවත් දවස් 9ක් අත්අඩංගුවේ තියාගත්තා. පස්සේ 2014 ඔක්තෝබර් 14වෙනිදාට නියමිත නඩු වාරය එන තුරු අධිකරණයේ අධීක්ෂණය යටතේ එයාව තාවකාලිකව නිදහස් කරන්න විනිසුරු නියෝග කළා.

නඩුව යන අතරේ විනිසුරු හැම සිසුවෙක්ගෙන්ම ප්‍රශ්න කළා. එයාලව පාසැලෙන් අයින් කළේ ජාතික ගීය ගායනා නොකරපු නිසා නෙමෙයි, පල්ලියේ බද්ද ගෙවන්නත් ආගමික මෙහෙයන්ට හවුල්වෙන්නත් එයාලා බැහැ කියපු නිසා කියලා අනිත් සිසුන් වෙනුවෙන් කතා කරමින් එක සිසුවෙක් විනිසුරුට පැහැදිලි කළා.

එයාලා ‘ජාතික ගීයට අගෞරව කළා’ කියන චෝදනාව ඔප්පු කරන්න තව සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා විනිසුරු පැමිණිලි පක්ෂයේ නීතිඥවරයාට කිව්වා. නීතිඥවරයා සිසුන්ගෙන් තව ප්‍රශ්න කළාම අනිත් ළමුන් ජාතික ගීය ගායනා කරද්දී තමන් කිසිම විදිහකින් ඒකට අගෞරව කළේ නැහැ කියලා පැහැදිලිවම එයාලා කිව්වා.

2014 නොවැම්බර් 28වෙනිදා කරූංජී උසාවියෙන් නිකුත් කළ ලිඛිත තීන්දුවේ ජාතික ගීය ගායනා නොකිරීම “එය කෙලසීමක් හෝ එයට අගෞරව කිරීමක් ලෙස නොසැලකිය යුතුයි” කියා සඳහන් කර තිබුණා. උසාවි තීන්දුවෙන් තහවුරු වුණේ සිසුන් රටේ නීතිය කඩ කරලා නැහැ කියලයි. ඒ දරුවන්වත් නිදොස් කර නිදහස් කළා. එය රුවන්ඩාවේ පාසැල්වල ආගම නිසා සිදු කරන හිංසනවලට තිත තියන්න උදව් වෙයි කියලා හිතනවා.

මූලික අයිතිවාසිකම්වලට ගරු කරන්න කියා ඉල්ලයි

ගෲප් ස්කොල්‍යා මුසාංගෝ කියන පාසැලේ ශිෂ්‍යයන්ට උසාවියෙන් හිතකර තීන්දුවක් ලැබුණ එක ගැන රුවන්ඩාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ස්තුතිවන්ත වෙනවා. ඒත් වෙනත් අවස්ථාවලදී ආගමික විශ්වාසය නිසා සාක්ෂිකාර දරුවන්ව පාසැලෙන් අස් කළාම වෙන පාසැලකට යනවා හැර එයාලට කරන්න වෙන දෙයක් නැහැ. සමහර වෙලාවට වෙන පාසැලකට තියෙන්නේ පෞද්ගලික පාසැල් විතරයි. ඒකට යන වියදම දෙමාපියන්ට දරාගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා සමහර දරුවන්ට එයාලගේ අධ්‍යාපන කටයුතු නතර කරන්න සිදු වෙලා තියෙනවා.

සාක්ෂිකාර දෙමාපියනුත් කැමතියි වෙනත් දෙමාපියන් වගේ තමන්ගේ දරුවන්ටත් අධ්‍යාපනය ලබා දෙන්න. එයාලගේ දරුවනුත් රැකියාවක් කරන්න පුළුවන් කුසලතා ඉගෙනගෙන සමාජයේ වැඩදායී සාමාජිකයන් වෙනවා දකින්න එයාලා කැමතියි. කරූංජී උසාවියෙන් ලැබුණ හිතකර තීන්දුව නිසා රුවන්ඩාවේ හැම පාසැල් සිසුවෙක්ටම තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව කටයුතු කරන්න තියෙන අයිතියට වගේම නිදහසේ තමන්ගේ ආගම අදහන්න තියෙන අයිතියට, ඉදිරියේදී හැමෝම ගරු කරයි කියලා යෙහෝවාදෙවිගේ සාක්ෂිකරුවන් බලාපොරොත්තු වෙනවා.

^ රුවන්ඩාවේ නීතියට අනුව දරුවෙක් වැඩිහිටියෙක් ලෙස සලකන වයස (පූර්ණ වයස) අවුරුදු 21යි (සිවිල් නීති සංග්‍රහයේ 360වෙනි වගන්තිය)