Skip to content

පල්ලියට බද්දක් ගෙවන්න ප්‍රතික්ෂේප කරපු නිසා මුලින් ඇගයීම් වාර්තා පොත් නොලැබුණ ශිෂ්‍යයන්

2017 අප්‍රියෙල් 7
රුවන්ඩා

ආගම නිසා පාසැල් දරුවන්ට කරන වෙනස්කම් වළක්වන්න රුවන්ඩාව පියවර ගනියි

ආගම නිසා පාසැල් දරුවන්ට කරන වෙනස්කම් වළක්වන්න රුවන්ඩාව පියවර ගනියි

ආගම නිසා පාසැල් දරුවන්ට කරන වෙනස්කම් නතර කරන්න රුවන්ඩාවේ ආණ්ඩුව පියවර ගත්තා. ඒ ශිෂ්‍යයන්ගේ ආගමික විශ්වාසයන්ට ගරු කරන්න කියලා නියෝගයක් නිකුත් කිරීමත් එක්කයි. තමන්ගේ හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා පාසැලේ පවත්වන සමහර වැඩසහන්වලට සහභාගි වෙන්න අකමැති ශිෂ්‍යයන්ට ඒක සතුටුදායක ආරංචියක් වුණා.

රුවන්ඩාවේ තියෙන පාසැල් වැඩි හරියකට මූල්‍යාධාර ලැබෙන්නේ ආණ්ඩුවෙන් වුණත් ඒවායේ පරිපාලන කටයුතු කෙරෙන්නේ ආගමික සංවිධාන මගින්. ඕනෙම දරුවෙක්ට ඕනෙම පාසැලකට ඇතුල් වෙන්න පුළුවන් නිසා විවිධ ආගම්වලට අයිති දරුවන් ඒ පාසැල්වල ඉන්නවා. ඒත් සමහර පාසැල් අධිකාරීන් ජාතිවාදී හැඟීම් අවුස්සන වැඩසටහන්වලට වගේම ආගමික වැඩසටහන්වලට සහභාගි වෙන්න ළමයින්ට බල කරලා තියෙනවා. එහෙමත් නැත්නම් පල්ලියට බදු මුදලක් ගෙවීම අනිවාර්යය කරලා තියෙනවා. තමන්ගේ ආගමික විශ්වාසයන්ට පටහැනි නිසා ඒ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්නේ නැති දරුවන්ට එයාලා දඬුවම් කරනවා. ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය භාරව ඉන්න ඇමතිවරයෙක් කියපු විදිහට සමහර පාසැල් අධිකාරීන් හිතන්නේ මෙහෙමයි. “අපේ ආගමික විශ්වාසයන්ට පටහැනි විදිහට දෙවියන්ට නමස්කාර කරන්න අපි කිසිම ශිෂ්‍යයෙක්ට ඉඩ දෙන්නේ නැහැ.”

ආණ්ඩුවෙන් ලැබුණ නියෝගය හෘදය සාක්ෂියට එකඟව වැඩ කරන්න දිරියක්

ආණ්ඩුවේ බලධාරීන් ගැටලුව නිරාකරණය කරන්න පියවර ගත්තේ අලුත් නීති ඇතුළත් නියෝගයක් පණවලයි. 2015 දෙසැම්බර් 14වෙනිදා නිකුත් කරපු ගැසට් පත්‍රයේ, අංක 290/03 දරන නියෝගයේ 12වෙනි වගන්තියේ ඒ ගැන සඳහන් වුණා. ශිෂ්‍යයන්ට තියෙන ආගමික නිදහසට හැම පාසැලක්ම ගරු කළ යුතු බවත් ශිෂ්‍යයන්ගේ ආගම හෝ පල්ලිය රටේ නීතියට අනුව ලියාපදිංචි වුණ එකක් නම් පාසැලේ අධ්‍යාපන කටයුතුවලට ඒක බාධාවක් නෙමෙයි නම් ඒ ඒ දරුවාගේ විශ්වාසයට එකඟව යාච්ඤා කිරීමට ඉඩහැරිය යුතු බවත් එහි සඳහන් වුණා.

නමස්කාර කිරීමට ශිෂ්‍යයන්ට තියෙන නිදහසට හැම පාසැලක්ම ගරු කළ යුතුයි. - අංක 290/03 දරන නියෝගයේ, 12වෙනි වගන්තිය

ආණ්ඩුව ගත්ත ඒ තීරණය කරූංජී උසාවියෙන් දුන්න තීරණය යළි තහවුරු කිරීමක්. ඒ තීරණය ගත්තේ 2014 මැයි මාසයේදී සාක්ෂිකාර ශිෂ්‍යයන්ව කරූංජී පාසැලකින් අස් කිරීම සම්බන්ධ නඩුවේදී. පාසැලේ පවත්වපු ආගමික වැඩසටහනකට සහභාගි වෙන්න ඒ ශිෂ්‍යයන් ප්‍රතික්ෂේප කළ විට පාසැලේ අධිකාරීන් දරුවන්ගේ ඒ තීරණයට ගරු කළේ නැහැ. ඒත් කරූංජී උසාවිය ශිෂ්‍යයන්ව වරදින් නිදහස් කළ අතර ශිෂ්‍යයන්ට පුළුවන් වුණා එයාලගේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යන්න.

න්ගොරොරේරො දිස්ත්‍රික්කයේ තවත් පාසැලක පාසැල් ගාස්තුවට අමතරව අය කරපු පල්ලියේ බද්දක් ගෙවන්න ප්‍රතික්ෂේප කරපු නිසා විදුහල්පති ශිෂ්‍යයන් 30දෙනෙකුගේ ඇගයීම් වාර්තා පොත් එයාලාට දුන්නේ නැහැ. ශිෂ්‍යයන්ගේ දෙමාපියන් දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට ඒ ගැන පැමිණිලි කළාට පස්සේ විදුහල්පති ඒ වසරේ අවසාන වාර විභාගයෙන් පස්සේ ඒ සියලුදෙනාටම වාර්තා පොත් දුන්නා.

සාක්ෂිකාර ශිෂ්‍යයන්ට සහනයක්

පාසැලේ පවත්වපු කතෝලික පූජාවට සහභාගි වෙන එක ප්‍රතික්ෂේප කරපු නිසා සාක්ෂිකාරියක් වන ෂාන්ටාල් උවිම්බාබාසිව පාසැලෙන් අස් කළා. පන්තියේ ශිෂ්‍යයන්ගෙත් අනිත් අයගෙත් උසුළුවිසුළුවලට එයා ලක් වුණා. අවුරුද්දක් පුරාම අධ්‍යාපනය ලබන්න එයාට බැරි වුණා. අන්තිමේදී එයා වැඩි මුදලක් ගෙවලා එයාගේ ගෙදරට හුඟක් දුරින් පිහිටි වෙන පාසැලකට ඇතුළත් වුණා. ඒක එයාගේ දුප්පත් වැන්දඹුවක් වුණ අම්මාට දරන්න පහසු වුණේ නැහැ. අලුතින් පනවපු නීතිය ෂාන්ටාල්ට සහනයක් වුණා. “ආගමික පරිපාලනයක් තියෙන ඉස්කෝලවල ඉගෙනගන්න මං මුහුණ දුන්නා වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන ශිෂ්‍යයන්ට මින් ඉස්සරහටවත් එයාලගේ අයිතිවාසිකම් කඩ කරන්නේ නැතුව සැනසීමේ ඉගෙනගන්න ලැබෙයි කියලා මං හිතනවා” කියලා ෂාන්ටාල් කිව්වා.

රුවන්ඩාවේ ව්‍යවස්ථාවට අනුව හැමෝටම ආගමික නිදහස වගේම අධ්‍යාපනය ලබන්න අයිතියක් තියනවා. ඒ අලුත් නියෝගයෙන් ඒක තහවුරු කරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන ශිෂ්‍යයන් වගේම එයාලාගේ දෙමාපියන් ආගම නිසා කරන වෙනස්කම්වලට අවසානයක් දකින්න බලාපොරොත්තු වෙනවා. පාසැල් දරුවන්ට තමන්ගේ ආගම අදහන්න තියෙන නිදහස ආරක්ෂා කිරීමට ආණ්ඩුවෙන් ගත්ත පියවර ගැන එයාල ගොඩක් ස්තුතිවන්ත වෙනවා.