Skip to content

2017 ජූනි 15
රුසියාව

2017 ජූලි 17වෙනිදා රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය සලකා බලන්න එකඟ වෙයි

2017 ජූලි 17වෙනිදා රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය සලකා බලන්න එකඟ වෙයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර කටයුතු තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට එරෙහිව සාක්ෂිකරුවන් අභියාචනයක් ඉදිරිපත් කළා. විනිසුරු යූරී ඉවානෙන්කො විසින් ඒ තීන්දුව ලබා දුන්නේ පසුගිය අප්‍රියෙල් 20වෙනිදායි. ඒ තීන්දුව ගැන සාක්ෂිකරුවන් විසින් ගොනු කළ අභියාචනය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් 2017 ජූලි 17වෙනිදා සලකා බැලීමට නියමිතයි.

සාක්ෂිකරුවන් ඉල්ලා සිටින්නේ දුන් තීන්දුව වෙනස් කරන්න කියලයි. ඒ තීන්දුව ලබා දීමට යොදාගත් සාක්ෂිවල කිසිදු පදනමක් නැහැ කියලත් සාක්ෂිකරුවන් අන්තවාදී ක්‍රියාවලට කිසිම විදිහකින් සම්බන්ධ නැහැ කියලත් ඒ අභියාචනයේ සඳහන් වෙනවා. සෝවියට් පාලන කාලයේදී සාක්ෂිකරුවන්ට පීඩා කරන්න යොදාගත්ත චෝදනාවලින් පසු කාලෙදි ඔවුන්ව සම්පූර්ණයෙන්ම නිදහස් කළා. ඒත් අද ශ්‍රේෂ්ඨාධිකරණය එම චෝදනාම සාක්ෂිකරුවන්ට විරුද්ධව එල්ල කර තියෙනවා කියලත් ඒ අභියාචනයේ සඳහන් වෙනවා. ඒ වගේම මේ තීන්දුව රුසියානු ව්‍යවස්ථාවෙන් එහි වැසියන්ට ආගම ඇදහීමට ලබා දී තියෙන නිදහස උල්ලංගනය කිරීමක් කියලත් රුසියාව අන්තර්ජාතික වශයෙන් අත්සන් කරලා තියෙන ගිවිසුම් කඩ කිරීමක් කියලත් එහි තවදුරටත් සඳහන් වෙනවා.

කොමියුනිස්ට් පාලන කාලයේදී මුහුණ දුන්නා හා සමාන විරුද්ධවාදිකම්වලට මේ තීන්දුව නිසා සාක්ෂිකරුවන්ට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ආණ්ඩුවේ බලධාරීන් සමහර සාක්ෂිකරුවන්ව අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ අය හැටියට චෝදනා කරලා අත්අඩංගුවට අරන් තියෙනවා. තවත් සාක්ෂිකරුවන්ව රැකියා ස්ථානවලින් ඉවත් කරලා තියෙනවා. පාසල් ගුරුවරු සාක්ෂිකරුවන්ගේ දරුවන්ව අනිත් ළමයි ඉස්සරහ බිය ගන්වනවා. මේ තීන්දුවට පක්ෂව කටයුතු කරන පුද්ගලයන් සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථාන කඩා බිඳ දැමූ අතර සාක්ෂිකරුවන්ගේ නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම ගිනිබත් කළා.

රුසියාවේ සාක්ෂිකරුවන්ට විරුද්ධව දී ඇති මේ අසාධාරණ තීන්දුව වෙනස් කරයි කියලා ලොව පුරා ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටේ සෑම පුරවැසියෙක්ටම තම ආගම නිදහසේ ඇදහීමට ඇති අයිතියට රුසියාව ගරු කරයි කියලත් සාක්ෂිකරුවන් බලාපොරොත්තු වෙනවා.