Skip to content

2015 අප්‍රියෙල් 10
රුසියාව

රුසියානු සාක්ෂිකාරියක් මඟ වැටී තිබුණ යූරෝ 6,000ක් අයිතිකරුට දෙයි

රුසියානු සාක්ෂිකාරියක් මඟ වැටී තිබුණ යූරෝ 6,000ක් අයිතිකරුට දෙයි

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්—2014 නොවැම්බර් මාසයේදී ස්වෙට්ලානා නෙම්චිනොවා කියන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියට බිම වැටිලා තිබුණ ලියුම් කවරයක් හම්බ වුණා. ඒකේ යූරෝ 6,000ක් (රු. 9,00,000ක් පමණ මුදලක්) තිබුණා! ඇය ගොඩක් මහන්සි වෙලා අයිතිකරුව හොයාගෙන ඒ මුදල ඔහුට භාර දුන්නා. ඇය කළ යහපත් ක්‍රියාව ගුවන්විදුලියේ, රූපවාහිනියේ සහ වෙනත් ප්‍රචාරණ මාධ්‍යයන්වල පවා කතාබහට ලක් වීම පුදුමයක් නෙමෙයි.

නෙම්චිනොවා ජීවත් වෙන්නේ මොස්කව් නගරයේ ඉඳන් කිලෝමීටර 450ක් විතර ඊසාන දිගට වෙන්න තියෙන නගරයක. ඇය රැකියාවක් හැටියට කෙරුවේ පාර අතුගෑමයි. දවසක් පාර අතුගගා ඉද්දී ලියුම් කවරයක් වැටිලා තියෙනවා දැක්කා. ඒක අතට අරන් බලද්දී ලොකු මුදලක් ලියුම් කවරයේ තිබුණා. ඇය ජීවත් වෙන්නේ පුංචි ගේ කෑල්ලක අගහිඟකම් මැද්දේ. ඒ වගේම ඇය දරුවෝ තුන්දෙනෙක්ගේ මවක්. ඒත් ඇය මෙහෙම කියනවා. “මට නිකමටවත් ඒ සල්ලි ගන්න ආසාවක් ඇති වුණේ නෑ. මට හිතුණේ මේ සල්ලි නැති වෙච්ච කෙනා මොන තරම් ගින්දරකින් ඉන්නවා ඇද්ද කියලා විතරයි.”

සල්ලි කාගේද කියලා දැනගන්න ඇය ළඟපාත තිබුණු ගොඩනැඟිලිවල පොස්ටරයක් ඇලෙව්වා, අයිතිකාරයෙක් ඉන්නවා නම් ඇයව හමු වෙන්න කියලා. කවුරුවත් ආවේ නැති නිසා ඒ සල්ලිත් එක්ක තිබුණ රිසිට් පතේ සඳහන් වෙලා තිබුණ බැංකුවට ඇය ගියා. බැංකුවේ හිටිය අය හොයාගත්තා ඒ සල්ලි පවෙල් ස්මර්නොෆ් කියන කෙනාගේ කියලා. බැංකුවේ අය ඔහු සමඟ කිහිප වතාවක් කතා කරන්න උත්සාහ කළාට පස්සේ ස්වෙට්ලානා නෙම්චිනොවා කියන කාන්තාවට ඔහුගේ සල්ලි හම්බ වෙලා තියෙනවා කියලා අයිතිකරුට දැනුම් දුන්නා.

රුසියාවේ එක් පුවත්පතක මෙහෙම කියලා තිබුණා. “ස්වෙට්ලානා මේ දේ කෙරුවේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඇය ආගමට ලැදි කෙනෙක්. ඒ වගේම ඇය හැමදාම බයිබලය කියවනවා. ඒකයි ඇය ඒ වගේ යහපත් දෙයක් කෙරුවේ.” සල්ලි භාර දෙන්න හිතුවේ “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න” කියලා මතෙව් 7:12 තියෙන රන් අණ නිසයි කියලා තවදුරටත් ඇය එම පුවත්පතට පැහැදිලි කළා.—Premier

චිත්‍ර ශිල්පියෙක් වන පවෙල් ස්මර්නොෆ්ගේ නැති වුණ සල්ලි ස්වෙට්ලානා නෙම්චිනොවා ඔහුට නැවත ලබා දුන්නට පස්සේ.

සල්ලිවල අයිතිකරු වන ස්මර්නොෆ් චිත්‍ර ශිල්පියෙක්. ඔහු අලුත් ව්‍යාපෘතියකට අවශ්‍ය කරන උපකරණ වගයක් ගන්න තමයි සල්ලි එකතු කරලා තියෙන්නේ. නැති වෙලා තිබුණේ ඒ සල්ලි ටික. ඔහු මෙහෙම කියනවා. “ස්වෙට්ලානාට ස්තුති කරන්න මං ළඟ වචන නෑ. මේ සමාජයෙත් අවංක මිනිස්සු ඉන්නවා කියලා දැන් මං දන්නවා. මෙච්චරයි මට කියන්න තියෙන්නේ ‘ඇත්තටම දෙවිකෙනෙක් ඉන්නවා!’”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර් බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

රුසියාව: යරල්ස්ලාෆ් සිවෙල්ස්කි, විමසීම්: +7 812 702 2691