Skip to content

2015 ඔක්තෝබර් 14
රුසියාව

JW.ORG වෙබ් අඩවිය රුසියාවේ තහනම් කිරීම ගැන විද්වතුන්ගේ විරෝධය

JW.ORG වෙබ් අඩවිය රුසියාවේ තහනම් කිරීම ගැන විද්වතුන්ගේ විරෝධය

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් - 2015 ජූලි 21වෙනිදා රුසියානු රජය විසින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ jw.org කියන නිල වෙබ් අඩවිය තහනම් කෙරුවා. එම වෙබ් අඩවිය ඒ රටේ පාවිච්චි කිරීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් විදිහටයි රුසියානු රජය සැලකුවේ. මෙම වෙබ් අඩවිය තහනම් කර ඇති එකම රට රුසියාව.

මොස්කව් නගරයේ කම්කරු හා මහජන සබඳතා පිළිබඳ ආයතනයේ මහාචාර්යවරයෙක් සහ ආගම් පිළිබඳ අධ්‍යයනය කරන විශේෂඥයෙක් වන ජෙකතරීනා එල්බකියාන් jw.org වෙබ් අඩවිය ගැන පැවසුවේ මෙහෙමයි. “මට හිතෙන හැටියට මේ වෙබ් සයිට් එක අපේ රටට අවශ්‍යයි. මොකද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන දැනගන්න වෙන අය ළඟට යන්නේ නැතුව කෙළින්ම මේ වෙබ් සයිට් එකෙන් තොරතුරු ලබාගන්න පුළුවන්. සාක්ෂිකරුවන්ට විතරක් නෙමෙයි වෙන ආගම්වල අයත් මේ වෙබ් සයිට් එකෙන් ප්‍රයෝජන ගන්නවා. මං වගේ අයට විතරක් නෙමෙයි ආගම් ගැන තොරතුරු හොයන වෙනත් අයටත් මේක ප්‍රයෝජනවත්.”

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන තොරතුරු කෙළින්ම මේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්”—ජෙකතරීනා එල්බකියාන්, කම්කරු හා මහජන සබඳතා පිළිබඳ ආයතනයේ මහාචාර්යවරයෙක්

නීතිය ගැන මනා දැනුමක් තියෙන මොස්කව් මානව හිමිකම් ආයතනයේ සේවය කරන ලෙව් ලෙවින්සන් රජයේ තීරණය ගැන මෙහෙම කිව්වා. “19වෙනි සියවසේදී ආගම නිදහසේ ඇදහීමට රුසියාවේ නීතියෙන් අවසර දීලා තිබුණේ නැහැ. ඒත් 21වන සියවස වෙද්දී රුසියානු රජය සියලු වැසියන්ට තම ආගම නිදහසේ ඇදහීමටත් හැම ආගමික සංවිධනයකටම එක හා සමානව සැලකීමටත් නීතියෙන් අවසර දුන්නා. ඒත් අන්තවාදීන්ට විරුද්ධව ක්‍රියා කරනවා කියන මුවාවෙන් සාක්ෂිකරුවන්ගේ පොත් පත් සහ වෙබ් අඩවිය තහනම් කිරීමෙන් ඔවුන් කරන්නේ 19වෙනි සියවසේ තිබුණු අසාධාරණ නීති යළි ක්‍රියාත්මක කිරීමයි. මේ වගේ ක්‍රියා මාර්ගයක් අරන් තියෙන්නේ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වීම කනගාටුවට කාරණයක්.”

2013 අගෝස්තු 7වෙනිදා රුසියාවේ දිසා අධිකරණය රහසිගත නඩු කැඳවීමකින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවිය තහනම් කරන්න තීරණය කළා. ඒ, අන්තවාදී අදහස් එම වෙබ් අඩවියේ ඇතුළත් කියන චෝදනාව මතයි. නමුත් 2014 ජනවාරි 22වෙනිදා ප්‍රාදේශීය අධිකරණය මඟින් ඒ තීරණය වෙනස් කෙරුවා. ඒත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ 2013දී දුන් තීන්දුව නැවත ක්‍රියාත්මක කරන්න කියායි. 2014 දෙසැම්බර් 2වෙනිදා එම අභියාචනය සලකා බැලුවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට කිසිම දැනුම් දීමකින් තොරවයි. රුසියානු රජයෙන් තහනම් කරලා තිබුණු සාක්ෂිකරුවන්ගේ පොත් පත් එම වෙබ් අඩවියෙන් ඒ වෙනකොට ඉවත් කරලා තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය වෙනස් කරන්න කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අභියාචනයක් ඉදිරිපත් කෙරුවත් එය ප්‍රතික්ෂේප වුණා. jw.org වෙබ් අඩවිය රජයට විරුද්ධ තොරතුරු ඇතුළත් වෙබ් අඩවිවලින් එකක් කියලා තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය රුසියාවේ පාවිච්චි කරන එක තහනම් කෙරුවා.

තහනම නිසා මොන තරම් පාඩුවක් සිද්ධ වෙලා තියෙනවද කියලා රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් වන යරස්ලොව් සිවුල්ස්කී පැහැදිලි කෙරුවේ මෙහෙමයි. “රුසියානු බලධාරීන් කිසිම පදනමක් නැතුව අරන් තියෙන මේ තීරණය ගැන අපිට ඇත්තටම කනගාටුයි. මේ නිසා රුසියාවේ ජීවත් වෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 1,70,000කට සිද්ධ වෙලා තියෙන්නේ විශාල පාඩුවක්. හැම දවසකම අපේ වෙබ් අඩවිය 2,85,000දෙනෙක් පාවිච්චි කරනවා. මේකෙන් පැහැදිලි වෙන්නේ මේ තහනම නිසා සාක්ෂිකරුවන්ට විතරක් නෙමෙයි තවත් හුඟදෙනෙක්ට බයිබලය ගැන දැනගන්න තිබුණු කදිම අවස්ථාවක් මඟහැරිලා ගියා කියලයි.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශක ජේ. ආර්. බ්‍රවුන් මෙවැනි ප්‍රකාශනයක් කෙරුවා. “අපේ jw.org වෙබ් අඩවියේ තියෙන වීඩියෝවලට සම්මාන පවා ලැබිලා තියෙනවා. බයිබලය ගැන දැනගන්න භාෂා 100ගණනකින් ප්‍රකාශන තියෙනවා. ලෝකෙ වැඩියෙන්ම බෙදාහරින ‘මුරටැඹ’ හා ‘පිබිදෙව්!’ සඟරා කියවන්නත් පුළුවන්. මේ වෙබ් අඩවිය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනවලදී පවා හඳුන්වලා දීලා තියෙනවා. ගොඩක් පාසැල් පවා වෙබ් අඩවියෙන් ප්‍රයෝජන ගන්නවා. ලෝ පුරා බොහෝ රටවල් වගේම රුසියාවත් ගොඩක් ප්‍රයෝජන අරන් තියෙනවා. ඇත්තටම කරන්න ඕනෙ මේ වෙබ් අඩවිය තහනම් කරන එක නෙමෙයි ඒක පාවිච්චි කරන්න කියලා අනිත් අයවත් දැනුවත් කිරීමයි.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

රුසියාව: යරොස්ලාෆ් සිවුල්ස්කි, විමසීම්: +7 812 702 2691