2021 ඔක්තෝබර් 15
සිව් දෙසින්
තෝරගත්ත ප්‍රදේශවල එකට එකතු වෙලා පවත්වන රැස්වීම් ආයෙත් පටන්ගනියි!
එකට එකතු වෙලා පවත්වන රැස්වීම් ආයෙත් පටන්ගන්න එක ගැන පාලක මණ්ඩලය නිවේදනයක් කළා. මුලින්ම ඒකට අත්හදා බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියලා ඒ නිවේදනයේ සඳහන් වුණා. ඒ වැඩසටහනෙන් කරන්නේ ප්‍රදේශ කීපයක් තෝරගෙන සමහර රැස්වීම් එකට එකතු වෙලා පවත්වන එකයි. පාලක මණ්ඩලය ඒකට ශාඛා කාර්යාල කීපයක් තෝරගෙන තියෙනවා. රැස්වීම් පවත්වන්නේ කොයි නමස්කාර මධ්‍යස්ථානවලද කියලා ඒ ශාඛා කාර්යාල තීරණය කරන්නේ කොහොමද? එයාලා ඒකට තෝරගන්නේ එන්නත්කරණය වැඩියෙන් සිද්ධ වෙන සහ ආසාදිතයන්ගේ අනුපාතය අඩු ප්‍රදේශවල තියෙන නමස්කාර මධ්‍යස්ථාන. එහෙම කරද්දී ශාලාවක් තුළ රැස් වෙන එක ගැන රජයෙන් දාලා තියෙන නීති රීති ගැනත් එයාලා සැලකිලිමත් වෙනවා. මේ අලුත් වැඩසටහන ගැන 2021 ඔක්තෝබර් 15වෙනි සිකුරාදා ලෝකේ පුරා බෙතෙල් පවුල්වල අයට නිවේදනය කළා.
මේ අත්හදා බැලීමේ වැඩසටහනේ ප්‍රතිඵල බලලා තවත් නමස්කාර මධ්‍යස්ථානවල ආයෙත් රැස්වීම් පටන්ගන්න පුළුවන්ද කියලා තීරණය කරනවා. ඒ විතරක් නෙවෙයි අනිත් අයව මුණගැහිලා කරන සංවිධානයේ වැඩකටයුතු අඩුම තරමින් 2022 ජනවාරි 1වෙනිදා වෙන කල්වත් පටන්ගන්නේ නැහැ කියලත් පාලක මණ්ඩලය නිවේදනය කළා.
පාලක මණ්ඩලය ලෝකේ පුරාම ඉන්න සහෝදර සහෝදරියන්ට පෙන්නන සැලකිල්ල ගැන අපි කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද! ඒ වගේම සංවිධානයේ වැඩ ආයෙත් පටන්ගන්න එයාලා කලබල නොවී හරිම පරෙස්සමින් දේවල් කරන විදිහත් අපි හුඟක් අගය කරන්න ඕනේ. ඒ නිසා මේ සැලසුම් සාර්ථක කරගන්න යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය සහ මඟ පෙන්වීම් ඉල්ලලා අපි දිගටම යාච්ඤා කරමු.—හිතෝපදේශ 14:16.