2014 ඔක්තෝබර් 9
සිව් දෙසින්
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉබෝලා වසංගතයට මුහුණ දෙයි
නිව් යෝක්—මාරාන්තික ඉබෝලා වසංගතය බටහිර අප්‍රිකාව වෙළාගන්නවත් එක්කම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමන්ගේ සභාවේ අයව ඒ රෝගය ගැන හොඳින් දැනුවත් කරන්න පටන්ගත්තා.
ඉබෝලා වයිරසයෙන් ආසාධිත වූ රෝගීන් ගිනියාවේ ඉන්නවා කියලත් ඒක ලයිබීරියාවට සහ සියරා ලියොන් කියන අසල්වැසි රටවලට ඉක්මනින්ම පැතිරෙයි කියලත් දැනගත්තා. ඒත් එක්කම ඒ රටවල් තුනේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවලට ලිපි යැව්වා රටවල් තුනේ තියෙන සභාවන් ඉක්මනින් දැනුවත් කරන්න කියලා. වයිරසයේ භයානකකම, බෝ වන ආකාරය, රෝගය බෝ වීම වළක්වාගන්න කරන්න පුළුවන් දේවල් වගේ තොරතුරු ඇතුළු සෞඛ්‍ය ආයතන මගින් ලබා දී තිබූ මඟ පෙන්වීම් සහ යෝජනා ඒ ලිපිවලට ඇතුළත් කරලා තිබුණා. සියරා ලියොන්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නියෝජිතයෙක් වන කොලින් ඇටික් මෙහෙම කිව්වා. “මේ රටවල්වල ඉන්න අයට ලෙඩ රෝග ගැන ඒ තරම් අවබෝධයක් නැහැ. ඉබෝලා පැතිරෙන ආකාරය ගැන විවිධ කටකතාත් පැතිරිලා තිබුණා. ඒ නිසා මුලින්ම හුඟදෙනෙක් හිටියේ අන්දමන්ද වෙලා. ඒත් නමස්කාර මධ්‍යස්ථානයෙන් ලබා දුන්න තොරතුරුවලින් දැනුවත් වුණාට පස්සේ හැමෝම ඉක්මනින් හොඳ ප්‍රතිචාරයක් දැක්කුවා.”
ජූලි මාසයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක සේවකයන් සියරා ලියොන්වල සහ ගිනියාවේ තියෙන සභාවල අයව හමු වෙන්න වෙනදාට වඩා වෙනස් වැඩපිළිවෙළක් දියත් කෙරුවා. එක සභාවක දවස් දෙක බැගින් ගත කළ ඔවුන් “කීකරුකම ජීවිත ගලවයි” කියන තේමාව ඇසුරෙන් දේශනයක් ඉදිරිපත් කළා. රෝගයෙන් ආරක්ෂා වීමට ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ගැන වැඩි අවධානයක් දෙන්න කියලත් අලුත්ම මඟ පෙන්වීම්වලට අවනත වෙන්න කියලත් ඒ දේශනයෙන් දිරිගැන්නුවා. මේ හමු වීම් 2014 නොවැම්බර් මාසය වන තුරු ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ගිනියාවේ, ලයිබීරියාවේ සහ සියරා ලියොන්වල සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානවලට ඇතුල් වන ස්ථානවල විෂබීජ නාශක මිශ්‍ර කළ අත් සෝදාගන්න ජලය තබා තිබුණා. මේ රටවල්වල ඉන්න සාක්ෂිකරුවන් ඒක ආදර්ශයට අරගෙන තමන්ගේ ගෙවල්වලත් අත් සෝදගන්න තැනක් වෙන් කළා.
2014 ඔක්තෝබර් 1වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරපු වාර්තාවකට අනුව බටහිර අප්‍රිකාවේ ඉබෝලා වසංගතයට 7,178දෙනෙක් ගොදුරු වී ඇති අතර ඉන් 3,300දෙනෙකුට වඩා මිය ගිහින්. සංඛ්‍යාව තවත් වැඩි වෙයි කියලා ඔවුන් හිතනවා. ඔක්තෝබර් 2වෙනිදා වෙනකොට ගිනියාවේ සහ සියරා ලියොන්වල සාක්ෂිකරුවන් 2,800දෙනෙක් මේ වසංගතයට ගොදුරු වෙලා හිටියා. ඒ අතර හෙදියක්ව සිටි සාක්ෂිකාරියක් 2014 සැප්තැම්බර් 25වෙනිදා මරණයට පත් වෙලා තිබුණා. ලයිබීරියාවේ සාක්ෂිකරුවන් 6,365ක් ඊට ගොදුරු වූ අතර 10දෙනෙක් මිය ගියා. ඉන් 6දෙනෙක්ම සෞඛ්‍ය ක්ෂේත්රයේ වැඩ කරපු අය. ළඟදී ඉබෝලා වයිරසය නයිජීරියාවට ඇතුල් වුණත් කිසිම සාක්ෂිකරුවෙකුට රෝගය වැළඳුණේ නැහැ. මේ රටවල හිටපු සාක්ෂිකරුවන්ගේ කිසිම මිෂනාරිවරයෙක් ඊට ගොදුරු වුණේ නැහැ. වයිරසය පැතුරුණ කාලයේදී ඔවුන්ගෙන් හුඟදෙනෙක් හිටියේ තමන්ගේ රටවල නිවාඩුවට ගිහින්, එහෙම නැත්නම් යුරෝපයේ සහ එක්සත් ජනපදයේ පවත්වපු සමුළුවලට සහභාගි වෙමින්. ඔවුන්ගෙන් සමහරෙක් නැවත ඒ රටවලට ගිහින් සිටින අතර ඒ රටේ ශාඛා කාර්යාලයෙන් ලබා දෙන මඟ පෙන්වීම් පිළිපදිමින් සිටිනවා. ඒ රටවලට ගුවන් ගමන් තවකාලිකව නවතා දමා තිබෙන නිසාත් වෙනත් හේතු නිසාත් අනිත් මිෂනාරිවරුන් තවම ඒ රටවලට ඇතුල් වීමට බැරුව බලා සිටිනවා.
සාක්ෂිකරුවන්ගේ සහන කමිටුවල සේවය කරන ස්වේච්ඡා සේවකයන් ඉබෝලා වසංගතයෙන් වැඩිපුර බැට කන රටවල සිටින සාක්ෂිකාර පවුල්වල අයගේ අවශ්‍යතා බලා කියා ගනිමින් සිටිනවා. “පිරිසිදුකම සහ රෝගීන්ව වෙන් කරලා තියෙන එක ගැන බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අපි අනුගමනය කරන නිසා සෑහෙන දුරට බේරිලා ඉන්න පුළුවන් වුණා” කියලා ලයිබීරියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නියෝජිතයෙක් වන තෝමස් එන්යායින් කිව්වා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට අපි බයිබලයට පටහැනි භූමදාන කටයුතුවල හවුල් වෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම මේ රෝගය බෝ වෙන කාලයේ ඒ වගේ චාරිත්‍රවලින් වැළකිලා ඉන්න එක අපි හැමෝටම ලොකු ආරක්ෂාවක්” කියලත් ඔහු කිව්වා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමන්ගේ ආගමේ අයව වගේම අනිත් ආගම්වල අයවත් ඉබෝලා වයිරසයෙන් බේරගන්න කරන දේවල් ගැන සියරා ලියොන්වල ගුවන් විදුලි විකාශන සේවයක් මාර්ගයෙන් ජනයාව දැනුවත් කළා. ඒ විතරක් නෙමෙයි රටේ අධිකාරීන් විසින් සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලීමකුත් කළා ආණ්ඩුවේ සෞඛ්‍ය සේවකයන්ට උපකාර කරන්න කියලා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නිව් යෝක්වල තියෙන ලෝක මූලස්ථානයේ නියෝජිතයෙක් වන ජේ. ආර්. බ්‍රවුන් මෙහෙම කිව්වා. “බටහිර අප්‍රිකාවේ ඉන්න අපේ සෙසු සාක්ෂිකරුවන් බොහොම සැලකිල්ලෙන් කටයුතු කරන අතරේ දිගටම පුළුවන් උපරිමයෙන් බයිබල් අධ්‍යාපන කටයුතු කරගෙන යන එක අපිට ලොකු දිරිගැන්වීමක්. ඉබෝලා වසංගතයට ගොදුරු වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරියන් ගැන වගේම අනිත් අය ගැනත් අපි යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරනවා.”
මාධ්‍ය ප්‍රකාශකයන්:
ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000
ගිනියාව: තිඑරි පෝතී, විමසීම්: +224 631 40 96 50
ලයිබීරියාව: තෝමස් එන්යායින්, විමසීම්: +231 886 513 414
නයිජීරියාව: පෝල් ඇන්ඩෘ, විමසීම්: +234 7080 662 020
සියරා ලියොන්: කොලින් ඇටික්, විමසීම්: +232 77 850 790