විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි - ක්රිමියාව
රුසියාවේ බලධාරීන් දැන් ක්රිමියාවේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටත් විරුද්ධවාදිකම් එල්ල කරන්න පටන් අරන්. රුසියානු රජය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නීතික ආයතන තහනම් කළා විතරක් නෙමෙයි එයාලා පැහැදිලිවම පෙන්නලා තියෙනවා එයාලාගේ අරමුණ සාක්ෂිකරුවන් සාමකාමීව කරන නමස්කාර වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අතුගාලා දාන එකයි කියලා. සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු 2017 අප්රියෙල් මාසේ තහනම් කරපු දවසේ ඉඳන් අවස්ථා ගණනාවකදී රුසියානු බලධාරීන් සාක්ෂිකරුවන් එකතු වෙන තැන්වලට හදිස්සියේ කඩා පැනලා හුඟදෙනෙක්ව අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේ දේවල්වලට දැන් ක්රිමියාවේ ඉන්න සාක්ෂිකරුවන්ටත් මුහුණ දෙන්න වෙලා.
මුල්ම වතාවට 2018 නොවැම්බර් 15වෙනිදා ක්රිමියාවේ ජංකොයිවල පොලිස් සහ හමුදා නිලධාරීන් 200කට වැඩි පිරිසක් නිවාස 8කට හදිස්සියේ කඩා පැන්නා. ඒ වෙලාවේ ඒ නිවෙස්වල සාක්ෂිකරුවන් කුඩා කණ්ඩායම් විදිහට එකතු වෙලා බයිබලේ කියවලා ඒකේ තියෙන තොරතුරු සාකච්ඡා කරමිනුයි හිටියේ. තුවක්කු අතැතිව, මුහුණු ආවරණය කරගෙන හිටපු නිලධාරීන් 35දෙනෙක් විතර බලෙන්ම සාක්ෂිකරුවන් 6දෙනෙක් එකතු වෙලා හිටපු සර්ජි ෆිලාතොව්ගේ ගෙදරට කඩා පැනලා හරිම බිහිසුණු විදිහට හැසිරුණා. ඒ නිලධාරීන් වයස 78ක පුරුෂයෙක්ව බිත්තියට තියලා තද කරලා, එයාව බිමට ඇදලා දාලා, එයාට මාංචු දැම්මා. ඒ විතරක් නෙමෙයි එයාට දරුණු විදිහට පහර දුන්න නිසා ඉක්මනින්ම එයාව රෝහල්ගත කරන්නත් වුණා. තවත් වැඩිහිටි පුරුෂයන් දෙන්නෙක් මොන තරම් කම්පනයට පත් වුණාද කියනවා නම් අධික රුධිර පීඩනය නිසා එයාලවත් ඉක්මනින්ම රෝහල්ගත කරන්න සිද්ධ වුණා. තරුණ කාන්තාවකගේ ගෙදරට නිලධාරීන් හදිස්සියේ කඩා පැන්න නිසා එයාට ලැබෙන්න හිටපු දරුවා නැති වුණා.
ෆිලාතොව් මහතාගේ නිවසට කඩා පැන්නාට පස්සේ රුසියානු අපරාධ නීතියේ 282.2(1) වගන්තියට අනුව “අන්තවාදී සංවිධානයක” වැඩකටයුතු සැලසුම් කිරීමේ වරද මත එයාට විරුද්ධව චෝදනාවක් ගොනු කළා. 2020 මාර්තු 5වෙනිදා ක්රිමියාවේ දිසා අධිකරණයේ විනිසුරුවරිය ෆිලාතොව් මහතාට අවුරුදු 6ක සිරදඬුවමක් නියම කළා. නඩු තීන්දුව දුන්න ගමන්ම එයාව ආරක්ෂාව තර කරලා තිබුණ සිරකඳවුරකට අරන් ගියා.
2018 ජංකොයිවලදී කරපු වැටලීමෙන් පස්සේ ගත වුණ අවුරුදු කිහිපය තුළ විශේෂ බලකා නිලධාරීන් අන්තවාදී ක්රියාකාරකම්වලට සම්බන්ධයි කියලා සැක කරන සාක්ෂිකරුවන්ගේ නිවෙස්වලට දිගටම බලහත්කාරයෙන් ඇතුල් වෙන්න පටන්ගත්තා. මෑතකම වැටලීම කෙරුවේ 2023 මැයි 22දා. උදේ 6:30ට විතර 10කට වැඩි නිලධාරීන් පිරිසක් ෆියෝඩෝසියා ප්රදේශයේ නිවසකට ඇතුල් වුණා. එයාලාගෙන් පස්දෙනෙක් අතේ ආයුධ තිබුණා. පැය 3කට වැඩි කාලයක් නිවස සෝදිසි කෙරුවා. ඒ කාලයේදී සාක්ෂිකරුවන්ට බිම දිගා වෙන්න කියලා නියෝග කළා. පිරිමි සාක්ෂිකරුවෙක්ව රඳවාගෙන ප්රශ්න කරන්න සෙවස්ටොපොල්වලට අරන් ගියා.
මේ නිවාස වැටලීම්, පසුව කරපු අපරාධ නඩු විභාග සහ සාක්ෂිකරුවන්ව වැරදිකරුවන් කිරීමේ ප්රතිඵලයක් විදිහට දැනට සාක්ෂිකරුවන් 9දෙනෙක් අවුරුදු 6 1⁄2ක කාලයක් දක්වා සිරදඬුවම් විඳිමින් ඉන්නවා. අන්තවාදී සංවිධානයක කටයුතු වැඩි දියුණු කරන්න හවුල් වෙනවා කියන චෝදනාවයි එයාලට විරුද්ධව එල්ල කරලා තියෙන්නේ.
කාල රේඛාව
2024 සැප්තැම්බර් 17
දැනට සිරගත කරලා තියෙන සාක්ෂිකරුවන්ගේ මුළු ගණන 9යි.
2023 මැයි 22
නීතික අංශයේ නිලධාරීන් ෆියොඩෝසියා ප්රදේශයේ සාක්ෂිකරුවෙක්ගේ නිවසක් වැටලුවා. සාක්ෂිකරුවෙක්ව ප්රශ්න කරන්න රඳවාගත්තා. ඩිවයිස් කිහිපයක් රාජසන්තක කළා.
2021 අගෝස්තු 5
සාක්ෂිකරුවන් 8දෙනෙක්ගේ නිවාස සෝදිසි කෙරුවා. අලෙක්සන්දර් ඩුබොවෙන්කෝ සහ අලෙක්සන්දර් ලිට්වින්යුක් යන අයව අත්අඩංගුවට ගත්තා.
2020 ඔක්තෝබර් 1
සෙවස්ටොපොල් ප්රදේශයේ නිවාස 9ක් වැටලුවා. ඊගර් ෂ්මිට්ව අත්අඩංගුවට ගෙන නඩු පවරන තුරු රඳවා තබාගත්තා.
2019 ජූනි 4
විශේෂ කාර්ය බලකාය සෙවස්ටොපොල් නගරයේ නිවාස දහයක් වටලයි. අන්තවාදී ක්රියා සංවිධානය කරන කෙනෙක් කියන චෝදනාව පිට ස්ටෂවෙස්කි මහතාට නඩු පවරයි.
2019 මාර්තු 20
බලධාරීන් අලුප්කා සහ යාල්ටා නගරවල සාක්ෂිකරුවන් 8දෙනෙක්ගේ නිවාස වැටලුවා. ගෙරාසිමොව් මහතාව ප්රශ්න කිරීම්වලට ලක් කළාට පස්සේ අන්තවාදී ක්රියා සංවිධානය කළා කියන චෝදනාව එයා පිට පැටෙව්වා.
2018 නොවැම්බර් 15
පොලිස් සහ හමුදා නිලධාරීන් 200කට වැඩි පිරිසක් ජංකොයිවල තිබුණ ෆිලාතොව් මහතාගේ නිවස ඇතුළුව නිවාස 8ක් වැටලුවා.