Skip to content

2021 ජනවාරි 8
සිව් දෙසින්

2020 දේවරාජ්‍යය ව්‍යාපෘතිය: “කවදාවත් අමතක නොවෙන ව්‍යාපෘතියක්” නිසා දිරිගැන්වුණ සහෝදරයන්

2020 දේවරාජ්‍යය ව්‍යාපෘතිය: “කවදාවත් අමතක නොවෙන ව්‍යාපෘතියක්” නිසා දිරිගැන්වුණ සහෝදරයන්

2020 නොවැම්බර් මාසේ අපි කරපු සේවය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසයේ නොමැකෙන සටහනක්! දරුණු වසංගතයක් නිසා අපි හැමෝම හිටියේ ගෙවල්වලට කොටු වෙලා. ඒ වගේම අපි කාලයක් තිස්සේ සේවය කරපු විදි තාවකාලිකව වෙනස් කරන්නත් අපිට සිද්ධ වුණා. ඒ මොනවා වුණත් දෙවියන්ගේ රාජ්‍යය ගැන ලෝකේ පුරාම ඉන්න මිනිසුන්ට දේශනා කරන විශේෂ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරන්න සාක්ෂිකරුවන්ට පුළුවන් වුණා. 2020 අංක 2 ‘මුරටැඹ’ සඟරාව ව්‍යාපාරිකයන්, රජයේ නිලධාරීන්, ගුරුවරුන්, යාළුවන්, නෑදෑයන් ඇතුළු හැම කෙනෙක්ටම දෙන්න ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන් මිලියන ගාණක් මහන්සි වෙලා වැඩ කළා. මේ ව්‍යාපෘතිය නිසා සත්‍ය දැනගන්න ලැබුණ හුඟක් අය ඒකෙන් ලොකු සතුටක් ලැබුවා. හැබැයි ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරපු අයට ඊටත් වඩා ලොකු සතුටක් සහ දිරිගැන්වීමක් ලැබුණා.

ඒ ව්‍යාපෘතියෙන් ලබපු අද්දැකීම් සහ ඒ ගැන ලෝකේ පුරා ඉන්න අපේ සහෝදර සහෝදරියන් කියපු දේවල් කීපයක් දැන් අපි බලමු.

ඔස්ට්‍රලේසියාව

සහෝදරි ලුසින්ඩා ෆර්කින්

ඕස්ට්‍රේලියාවේ ඉන්න අවුරුදු 18ක් වයස ලුසින්ඩා ෆර්කින් ළඟදී බව්තීස්ම වුණ සහෝදරියක්. එයා මෙහෙම කියනවා. “මේ ව්‍යාපෘතිය තිබුණ නොවැම්බර් මාසේ මං හොඳටම අසනීප වුණා. හැබැයි යෙහෝවා දෙවියන් මගේ අත අල්ලගෙන හැම දේම දරාගන්න අවශ්‍ය ශක්තිය මට දුන්නා කියලා මට දැනුණා.”

නවසීලන්තයේ ඉන්න තාත්තා කෙනෙක් මේ ව්‍යාපෘතිය එයාගේ පවුලේ අයට උදව් වුණ විදිහ ගැන මෙහෙම කියනවා. “අපිට දුවලා හතරදෙනෙක් ඉන්නවා. ලොකු දුවට අවුරුදු 13යි. අනිත් එක්කෙනාට 11යි. තුන්වෙනියාට 9යි. බාලයාට 7යි. අපිට දැනුණේ මේ ව්‍යාපෘතිය අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන් අපේ පවුලටම දීපු පැවරුමක් කියලා. ඒ විදිහට හිතපු එක ඒ මාසේ හැම දවසකම පවුලක් විදිහට සේවයේ හවුල් වෙන්න අපිට ලොකු තල්ලුවක් වුණා.”

බොට්ස්වානා

කහීසෝ සහ ලිදියා මරුමෝ කියන්නේ චාරිකා සේවය කරන යුවළක්. එයාලා සත්‍යයේ නැති එයාලගේ නෑදෑයන්ට සඟරාවේ ඉලෙක්ට්‍රෝනික පිටපත් යැව්වා. එයාලට හුඟදෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. දොස්තර කෙනෙක් විදිහට වැඩ කරන කහීසෝගේ නෑදෑයෙක් කිව්වා ඒ සඟරාව එයාට ලැබුණේ නියම වෙලාවට කියලා. මොකද එයාගෙන් බෙහෙත් ගන්න එන සමහර අය දෙවියන් ගැන, බයිබලේ ගැන එයාගෙන් ප්‍රශ්න අහලා තිබුණා. ඒ වගේම එයාගෙම දරුවනුත් ඒ කාලේ මැජික් වගේ අද්භූත දේවල් ගැන උනන්දු වෙලා ඉඳලා තියෙනවා. ඉතිං අපේ චාරිකා යුවළ එදාම හවස ඒ නෑදෑයාට කතා කරලා බයිබල් පාඩමක් පටන්ගත්තා. දැන් එයාලා සතියට දෙපාරක්ම පාඩම කරනවා.

සහෝදර කහීසෝ මරුමෝ සහ එයාගේ බිරිඳ ලිදියා

කැනඩාව

සහෝදරි සෝරොයා තොම්සන්

සෝරොයා තොම්සන් කියන්නේ ඔන්ටාරියෝවල පුරෝගාමි සේවය කරන සහෝදරියක්. එයා කියන්නේ මෙහෙමයි. “තව කොච්චර දේවල් කරන්න තියෙනවාද කියලා තේරුම්ගන්නත් වඩා වැදගත් දේවල්වලට මුල් තැන දෙන්නත් මේ ව්‍යාපෘතිය මට උදව් වුණා. යෙහෝවා දෙවියන් හැම කෙනෙක්ටම ගොඩක් ආදරෙයි කියලත් කවුරුත් විනාශ වෙනවා දකින්න දෙවියන් කැමති නෑ කියලත් මේ ව්‍යාපෘතිය නිසා මට තවත් පැහැදිලි වුණා. ඒ විදිහට හිතපු නිසා මේ ව්‍යාපෘතිය වෙනුවෙන් මගේ උපරිමය දෙන්න මට පුළුවන් වුණා.”

බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ ජීවත් වෙන සහෝදරියක් මෙහෙම කියනවා. “වසංගතය නිසා දැනෙන පීඩනය අඩු කරගන්න මං සහායක පුරෝගාමි සේවය කරන්න තීරණය කළා. ඒ විදිහට වැඩිපුර සේවයක් කරපු නිසා මටයි මගේ පවුලේ අයටයි කනස්සලු නොවී සතුටින් ඉන්න පුළුවන් වුණා.”

මේ ව්‍යාපෘතිය නිසා හුඟක් අයගේ පවුල් බැඳීම් තවත් ශක්තිමත් වුණා කියලා කැනඩාවේ ශාඛා කාර්යාලයේ ඉන්න සහෝදරයන් කියනවා. පුංචි දරුවනුත් ඒ කාලේ හුඟක් ආසාවෙන් සේවය කළා. එයාලා එයාලගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා ඇඩ්‍රස් හෙව්වා. ලියුම් කවරවල ඇඩ්‍රස් ලිව්වා. මුද්දර ඇලෙව්වා. ඒ විතරක් නෙවෙයි එයාලගෙම අත් අකුරෙන් පුංචි ලියුම් පවා ලිව්වා.

ෆින්ලන්තය

චාරිකා සේවය කරන සහෝදර සහ සහෝදරි ටුඕමිස්ටෝ මෙහෙම කිව්වා. “නොවැම්බර් මාසේ කියන්නේ මෙහෙට හුඟක් කළුවර කාලයක්. ඉර එළිය වැටෙන්නේ නැති තරම්. ඒ වගේ කාලෙක මේ විශේෂ ව්‍යාපෘතිය කරන්න ලැබුණ එක ගැන අපේ සහෝදර සහෝදරියන් විශේෂයෙන්ම පුරෝගාමීන් හුඟක් සතුටු වුණා. මොකද එයාලට ඒ මාසේ සතුටින් කරන්න හුඟක් වැඩ තිබුණා.”

සහෝදර ටීමෝ ටුඕමිස්ටෝ සහ එයාගේ බිරිඳ ඒවා

එක යුවළක් එයාලා අඳුරන කෙනෙක්ට සඟරාව යැව්වා. ඒ සඟරාව ලැබුණ කෙනා ඒකට ස්තුති කරලා එවපු ලියුමක මෙහෙම කියලා තිබුණා. “අද මං යාකොබ් පොත කියෙව්වා. එකේ කියනවා ක්‍රියාවන් නැති විශ්වාසය මිය ගිය විශ්වාසයක් කියලා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පුළුවන් හැම වෙලාවකම අනිත් අයට බයිබලේ තියෙන දේවල් කියලා දෙනවා. එයාලට තියෙන්නේ ශක්තිමත් විශ්වාසයක් කියලා එයාලා වැඩ කරන විදිහෙන්ම ඔප්පු කරලා තියෙනවා.”

ග්‍රීසිය

ග්‍රීසියේ ශාඛා කාර්යාලයේ සහෝදරයන් මෙහෙම කියනවා. “මේ වසංගතයත් එක්ක ආණ්ඩුවලින් දාලා තියෙන තහංචි නිසා ඒ වගේම ලොක්ඩවුන් එක නිසා සහෝදරයන් ඉන්නේ හෙම්බත් වෙලා. මේ කාලේ එයාලට ඕනම වෙලා තිබුණ දිරිගැන්වීම ඒ ව්‍යාපෘතිය නිසා එයාලට ලැබුණා. අමාරු කාලේ දේවල් හොඳින් දරාගන්න මේ ව්‍යාපෘතිය හුඟක් උදව් වුණා කියලා හැමෝම වගේ කිව්වා.”

සහෝදරි සූසී ගොඩයිරේ

හුඟක් අසනීප තිබ්බත් මහත්තයා සත්‍යයේ නැති වුණත් සහෝදරි සූසී ගොඩයිරේ සහායක පුරෝගාමි සේවය කරන්න තීරණය කළා. එයා කියන්නේ මෙහෙමයි. “මේ ව්‍යාපෘතිය නිසා මට කනස්සල්ලෙන් ගොඩ එන්න පුළුවන් වුණා. මං හැමදාම උදේට නැඟිටින්නේ හරිම සතුටින්. ගෙදරදොරේ වැඩ, උයන පිහන එක වගේ මහත්තයා වෙනුවෙන් කරන දේවල් කළාට පස්සේ මං මගේ සේවේ පටන්ගන්නවා. මගේ මහත්තයා සත්‍යයේ නැති වුණත් එයා වෙලාවකට අහනවා ‘ඔයා අද සේවේ කරන්නේ නැද්ද?’ කියලා. මොකද මං අපේ සහෝදරියන් එක්ක සතුටින් සේවේ කරනවා එයා හැම තිස්සේම වගේ දකිනවානේ.”

ජපානය

සහෝදරි ටාමාකි හිරෝටා රජයේ නිලධාරීන්ට ලිපි මාර්ගයෙන් සාක්ෂි දරුවා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “ලිපි මාර්ගයෙන් සාක්ෂි දරපු මුල්ම කෙනා යෙහෝවා දෙවියන්. ඔහු මිනිසුන් වෙනුවෙන් ලියුම් 66ක් ලිව්වා. ඉතිහාසය පුරාවටම ඒ ලියුම් කියවලා හුඟක් අය දෙවියන්ට ළං වෙලා තියෙනවා. ඒ නිසා යෙහෝවා දෙවියන් හොඳින්ම දන්නවා මේ ක්‍රමය කොච්චර සාර්ථකයිද කියලා. මේක නං කවදාවත් අමතක නොවෙන ව්‍යාපෘතියක්!”

සහෝදරි ටාමාකි හිරෝටා

ශ්‍රී ලංකාව

අත්වැරදීමකින් මෙහෙරාජා විජේ සහ ඉමයනාදන් අමුදා කියන සහෝදරියන් දෙන්නා එකම ලිපිනයට ලියුම් දෙකක් ලියලා තියෙනවා. ඒ ගෙදර කෙනා පළවෙනි ලියුම ලැබුණාම ඇරලා බලන්නේවත් නැතුව ඒක විසි කළා. ඊටපස්සේ එයාට දෙවෙනි ලියුමත් ලැබුණා. දෙපාරක්ම එකම ලියුම එන්න නම් මේකේ මොකක් හරි වැදගත් දෙයක් තියෙන්න ඕනෙ කියලා හිතලා එයා සඟරාව කියෙව්වා. ඊටපස්සේ එයා දෙවෙනි ලියුම එවලා තිබුණ සහෝදරියට කෝල් කරලා බයිබල් පාඩමක් කරන්න කැමතියි කියලා කිව්වා.

වමේ සිට දකුණට: මෙහෙරාජා විජේ සහ ඉමයනාදන් අමුදා කියන සහෝදරියන් දෙන්නා

එක රජයේ නිලධාරිනියක් සඟරාව ලැබුණාට පස්සේ ශ්‍රී ලංකා ශාඛා කාර්යාලයට කතා කළා. එයා කිව්වා එයා ක්‍රිස්තියානි කෙනෙක් වුණත් කවදාවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හම්බ වෙලා තිබුණේ නැහැ කියලා. අපේ සඟරාවේ සහ වෙබ් අඩවියේ තියෙන දේවල් අගය කළාට පස්සේ එයා මෙහෙම ඇහුවා. “මට කොහොමද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන්?” අපේ සහෝදරයන් ඉක්මනින්ම එයාව හම්බ වෙන්න යන්න සැලසුම් යෙදුවා.

ඇමරිකා එක්සත් ජනපදය

මේ පුංචි ප්‍රචාරකයාගේ වයස අවුරුදු 13යි. එයා යන ඉස්කෝලේ ඉන්න අය නිතරම වගේ දේශපාලනික දේවල් ගැන කතාබහ කරනවා. නොවැම්බර් මාසේ තිබුණ විශේෂ ව්‍යාපෘතිය එයාට උදව් වුණ විදිහ ගැන එයා කියන්නේ මෙහෙමයි. “මං කිසිම දේශපාලන පක්ෂයක පැත්ත ගන්නේ නැත්තේ ඇයි කියලා බය නැතුව ගුරුවරුන්ට පැහැදිලි කරන්න මට පුළුවන් වුණා. ඒ නිසා මගේ විශ්වාසයත් තව ශක්තිමත් වුණා.”

සහෝදරි මාර්ගිට් හෙරීන්

සහෝදරි මාර්ගිට් හෙරීන්ට දැනුණෙත් ඒ විදිහටමයි. එයා මෙහෙම කියනවා. “ධෛර්යය තවත් වැඩි කරගන්නයි උද්‍යෝගයෙන් සේවේ කරන්නයි මේ ව්‍යාපෘතිය මට උදව් වුණා. ව්‍යාපාරිකයන්ට, රජයේ නිලධාරීන්ට සාක්ෂි දරන්න මුලදී මට බයක් දැනුණා. මගේ විශ්වාසයන් ගැන ප්‍රශ්න කරන අයට සන්සුන්ව උත්තර දෙන්න දැන් ලැබුණ පුහුණුව අනාගතේටත් හුඟක් ප්‍රයෝජනවත්.”

එක වැඩිමහල්ලෙක් මෙහෙම කියනවා. “හුඟක් බරපතළ අසනීප මැද වුණත් සහෝදර සහෝදරියන් පුරෝගාමි සේවය කරනවා දැක්කාම ඒක මගේ හිතට ගොඩක් වැදුණා. පුරෝගාමි සේවය කරන එක අමාරුයි කියලා කියන්න එයාලට ඕන තරම් හේතු තිබුණා. හැබැයි මේ ව්‍යාපෘතියට හවුල් වෙන්න එයාලට ලැබුණ අවස්ථාවෙන් එයාලා උපරිම ප්‍රයෝජන ගත්තා. එයාලා අද්දැකපු සතුට, යෙහෝවා දෙවියන්ටයි සහෝදරයන්ටයි එයාලා පෙන්නපු ආදරය දැකපු හුඟදෙනෙක්ගේ ඇස්වලට කඳුළු ආවා.”

ලෝකේ පුරාම ඉන්න සහෝදර සහෝදරියන්ට මේ වගේ තවත් හුඟක් අද්දැකීම් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම මේ ලිපියට ඇතුළත් කරන්න බැහැ. මිලියන ගාණක් මිනිසුන්ට දෙවියන්ගේ රාජ්‍යය ගැන කියන්න පුළුවන් වුණ එක ඇත්තටම කියලා නිම කරන්න බැරි සතුටක්!—යොහන් 15:11.