Skip to content

2024 සැප්තැම්බර් 11
සිව් දෙසින්

2024 අගෝස්තු මාසේ භාෂා හතකින් බයිබලය මුදාහරියි

2024 අගෝස්තු මාසේ භාෂා හතකින් බයිබලය මුදාහරියි

ඉබින්ඩා භාෂාව

2024 අගෝස්තු 2වෙනිදා ඇංගෝලාවේ ශාඛා කමිටු සාමාජික සහෝදර කාලොස් ඕට්ලෝ ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය’ ඉබින්ඩා භාෂාවෙන් මුදාහැරියා. ඒත් එක්කම බයිබලේ උත්පත්ති, රූත්, එස්තර් සහ යෝනා කියන පොත් හතරත් ඒ භාෂාවෙන් මුදාහැරියා. ඒ ගැන නිවේදනය කළේ 2024 ඇංගෝලාවේ කබින්දවල පවත්වපු “ශුභාරංචිය දේශනා කරන්න” කියන තුන්දින සමුළුවේ පළවෙනි දවසේදී. එදා සමුළුවට සහභාගි වෙලා හිටපු 953දෙනාටම ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනයේ’ පිටපතක් ලැබුණා. ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලත්’ හෙබ්‍රෙව් ලියවිල්ලේ මුදාහැරපු පොත් 4ත් ඒ වෙලාවෙම jw.org වෙබ් අඩවියෙනුත් ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙනුත් ඩවුන්ලෝඩ් කරගන්න හැමෝටම අවස්ථාව ලැබුණා.

ඉබින්ඩා භාෂාව කතා කරන 7,16,000කට වඩා වැඩි සෙනඟක් ඇංගෝලාවේ ඉන්නවා. නව ලොව පරිවර්තනය තමයි ඉබින්ඩා භාෂාවෙන් මුදාහැරපු පළවෙනි බයිබල් පරිවර්තනය. ඉබින්ඩා භාෂාව කතා කරන සභා 13කුත් එක කණ්ඩායමකුත් ඇංගෝලාවේ තියෙනවා. තමන්ගේම භාෂාවෙන් දෙවියන්ගේ වචනය කියවන්න ලැබුණ එක ගැන ඒ සභාවල ඉන්න සහෝදර සහෝදරියන් 335දෙනාම ඉන්නේ පුදුම සතුටකින්!

සිම්බාබ්වේ සංඥා භාෂාව

2024 අගෝස්තු 9වෙනිදා සිම්බාබ්වේවල හරාරේ නගරේ පවත්වපු “ශුභාරංචිය දේශනා කරන්න” කියන තුන්දින සමුළුවේදී ඒ රටේ ශාඛා කමිටු සාමාජික සහෝදර එනජි මටන්ඩා, සිම්බාබ්වේ සංඥා භාෂාවෙන් ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය’ මුදාහැරියා. එදා ඒ අවස්ථාවට 405දෙනෙක් සහභාගි වුණ අතර මුදාහැරපු පරිවර්තනය ඒ වෙලාවෙම jw.org වෙබ් අඩවියෙනුත් ’JW ලයිබ්‍රරි සංඥා භාෂාව’ ඇප් එකෙනුත් ඩවුන්ලෝඩ් කරගන්න එයාලට අවස්ථාව ලැබුණා.

2021දී සිම්බාබ්වේ සංඥා භාෂාවෙන් මතෙව් පොත මුදාහැරලා තිබුණා. එදා ඉඳන් ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ තවත් පොත් ටිකෙන් ටික මුදාහැරියා. ගණන් බලලා තියෙන විදිහට ලක්ෂ 10ක විතර සෙනඟක් සිම්බාබ්වේ සංඥා භාෂාව පාවිච්චි කරනවා. සිම්බාබ්වේවල සංඥා භාෂාව කතා කරන සභා 11ක සහ කණ්ඩායම් 11ක සේවය කරන සහෝදර සහෝදරියන් 377දෙනෙකුත් ඒ අයට ඇතුළත්.

බල්ගේරියානු භාෂාව

2024 අගෝස්තු මාසේදී බල්ගේරියාවේ සොෆියා නගරේ “ශුභාරංචිය දේශනා කරන්න” කියන විශේෂ සමුළුව පැවැත්තුවා. අගෝස්තු 11වෙනිදා ඒ සමුළුවේ අන්තිම දේශනයේදී පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර මාක් සැන්ඩසන් නිවේදනය කළා ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ සංශෝධනය කරනවා කියලා. ඒත් එක්කම එයා මතෙව්, මාක්, ලූක් කියන පොත් තුනත් මුදාහැරියා. මුදාහැරපු ඒ පොත් තුන ඒ වෙලාවෙම jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහභාගි වෙලා හිටපු 5,418දෙනාටම අවස්ථා ලැබුණා.

‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ බල්ගේරියානු භාෂාවෙන් මුලින්ම මුදාහැරියේ 2009දී. අද වෙනකොට බල්ගේරියාවේ පුරා සභා 57ක සහෝදර සහෝදරියන් 3,000ක් විතර සේවය කරනවා.

ආජා භාෂාව

2024 අගෝස්තු 16වෙනිදා පවත්වපු “ශුභාරංචිය දේශනා කරන්න” කියන තුන්දින සමුළුවේදී බටහිර අප්‍රිකාවේ ශාඛා කමිටු සාමාජික සහෝදර බ්වා සිල්වැං මතෙව් සහ මාක් කියන බයිබල් පොත් ආජා භාෂාවෙන් මුදාහැරියා. ඒ සමුළුව පැවැත්තුවේ බෙනින්වල ජාකතොමේ නගරේදී. ඒ අවස්ථාවට 631දෙනෙක් සහභාගි වුණා. බෙනින්වල අබොමි කැලවිවල තියෙන සමුළු ශාලාවේ රැස් වෙලා හිටපු 435දෙනෙකුත් වීඩියෝ කොන්ෆරන්සිං හරහා ඒ අවස්ථාවට සම්බන්ධ වෙලා හිටියා. මුදාහැරපු පොත් ඒ වෙලාවෙම jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව ලැබුණා.

බෙනින් සහ ටෝගෝවල ලක්ෂ 12කට වඩා වැඩි පිරිසක් ආජා භාෂාව කතා කරනවා. දැනටමත් ආජා භාෂාවෙන් ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ පරිවර්තන දෙකක් තියෙනවා. ඒ වුණත් ඒ පරිවර්තනවල පාවිච්චි කරලා තියෙන භාෂාව හුඟක් අයට තේරුම්ගන්න අමාරුයි. ඒ වගේම ඒවා ලබාගන්න එකත් එච්චර ලේසි නැහැ. ඒ විතරක් නෙමෙයි ඒ පරිවර්තනවලින් යෙහෝවා කියන දෙවියන්ගේ නම අයින් කරලත් තියෙනවා. අද වෙනකොට බෙනින්වල ආජා භාෂාව කතා කරන සභා 25කුත් එක කණ්ඩායමකුත් ටෝගෝවල ආජා භාෂාව කතා කරන සභා 12කුත් කණ්ඩායම් 2කුත් තියෙනවා. ඒ සභාවල සහෝදර සහෝදරියන් 1,300ක් විතර ඉන්නවා. නියමිත තැන්වල දෙවියන්ගේ නම ඇතුළත් කරපු, පැහැදිලි පරිවර්තනයක් ලැබුණ එක ගැන ඒ හැමෝම ඉන්නේ ගොඩක් සතුටින්.

කින්යාර්වන්ඩා භාෂාව

2024 අගෝස්තු 16වෙනිදා පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ජෙෆ්රි වින්ඩ කින්යාර්වන්ඩා භාෂාවෙන් සංශෝධනය කරපු ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ මුදාහැරියා. එයා ඒක නිවේදනය කළේ රුවන්ඩාවේ කිගාලිවල පවත්වපු “ශුභාරංචිය දේශනා කරන්න” කියන තුන්දින සමුළුවේ පළවෙනි දවසේදී. ඒ අවස්ථාවට 9,908දෙනෙක් සහභාගි වුණා. ඒ වැඩසටහනට තවත් ස්ථාන දෙකකින් 1,141දෙනෙකුත් සම්බන්ධ වෙලා හිටියා. ඒ ස්ථානවල හිටපු හැමෝටම බයිබලේ පිටපතක් ලබා දුන්නා. jw.org වෙබ් අඩවිය සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එක හරහා ඒ වෙලාවෙම සංශෝධිත ‘නව ලොව පරිවර්තනය’ ඕඩියෝ විදිහටත් ඩිජිටල් මාධ්‍යයෙනුත් ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව ලැබුණා.

කින්යාර්වන්ඩා භාෂාව කතා කරන එක් කෝටි තිස්ලක්ෂයකට වඩා වැඩි සෙනඟක් රුවන්ඩාවේ ඉන්නවා. කින්යාර්වන්ඩා භාෂාව කතා කරන අය කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙත් ටැන්සානියාවෙත් උගන්ඩාවෙත් ඉන්නවා. සම්පූර්ණ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ කින්යාර්වන්ඩා භාෂාවෙන් මුලින්ම මුදාහැරියේ 2010දී. මේ වෙනකොට රුවන්ඩාවේ සභා 634ක කින්යාර්වන්ඩා භාෂාව කතා කරන සහෝදර සහෝදරියන් 35,500කට වඩා වැඩිදෙනෙක් සේවය කරනවා.

සිංහල භාෂාව

2024 අගෝස්තු 16වෙනිදා පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ඩේවිඩ් ස්ප්ලේන් සංශෝධනය කරපු ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ සිංහල භාෂාවෙන් මුදාහැරියා. ඒක මුදාහැරියේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරේ පවත්වපු “ශුභාරංචිය දේශනා කරන්න” කියන තුන්දින සමුළුවේ පළවෙනි දවසේදී. ඒ අවස්ථාවට 4,273දෙනෙක් සහභාගි වෙලා හිටියා. ශ්‍රී ලංකාවේ හලාවත නගරේ රැස් වෙලා හිටපු 1,045දෙනෙකුත් වීඩියෝ කොන්ෆරන්සිං හරහා වැඩසටහනට සම්බන්ධ වෙලා හිටියා. ඒ තැන් දෙකේම හිටපු හැමෝටම ‘නව ලොව පරිවර්තනයේ’ පිටපතක් ලැබුණා. ඒ වගේම jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් ඒ වෙලාවෙම සංශෝධිත පරිවර්තනය ඩිජිටල් මාධ්‍යයෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් අවස්ථාව ලැබුණා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මේ වෙනකොට අවුරුදු 75කට වඩා වැඩි කාලයක් තිස්සේ බයිබලයට සම්බන්ධ පොත්පත් සිංහල භාෂාවෙන් පරිවර්තනය කරනවා. ශ්‍රී ලංකාවේ එක් කෝටි පනස්ලක්ෂයකට වඩා වැඩිදෙනෙක් සිංහල භාෂාව කතා කරනවා. එහේ සභා 62ක සිංහල භාෂාව කතා කරන සහෝදර සහෝදරියන් 4,808දෙනෙක් ඉන්නවා.

වෝලිසියන් භාෂාව

2024 අගෝස්තු 30වෙනිදා පවත්වපු “ශුභාරංචිය දේශනා කරන්න” කියන තුන්දින සමුළුවේදී නව කැලිඩෝනියාවේ ශාඛා කමිටු සාමාජික සහෝදර මාටැං ඩෙකූසුස් වෝලිසියන් භාෂාවෙන් සම්පූර්ණ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ මුදාහැරියා. ඒ සමුළුව පැවැත්තුවේ නව කැලිඩෝනියාවේ නූමේයා කියන නගරේදී. වෝලිස් හා ෆුටුනා දූපත්වල මලෙයි කියන ගමේ රැස් වෙලා හිටපු පිරිසකුත් වීඩියෝ කොන්ෆරන්සිං හරහා වැඩසටහනට සම්බන්ධ වෙලා හිටියා. ඒ අවස්ථාවට සහභාගි වුණ 317දෙනාටම ‘නව ලොව පරිවර්තනයේ’ පිටපතක් ලබා දුන්නා. ඒ වෙලාවෙම jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් බයිබලේ ඩවුන්ලෝඩ් කරගන්න එයාලට අවස්ථාවත් ලැබුණා.

2018දී ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය’ වෝලිසියන් භාෂාවෙන් මුදාහැරලා තිබුණා. නව කැලිඩෝනියාවෙත් වෝලිස් හා ෆුටුනා දූපත්වලත් සභා දෙකක සහෝදර සහෝදරියන් 153දෙනෙක් සේවය කරනවා. ඒ හැමදෙනාම ඒ ප්‍රදේශවල ඉන්න වෝලිසියන් භාෂාව කතා කරන 35,000දෙනාට සම්පූර්ණ ‘නව ලොව පරිවර්තනය’ පාවිච්චි කරලා දේශනා කරන්න බලාගෙන ඉන්නේ හරිම සතුටින්.