Skip to content

2022 දෙසැම්බර් 28
සිව් දෙසින්

JW.ORG දස වසරක් සපුරයි!—1වෙනි කොටස

වීඩියෝ සහ ප්‍රකාශන ඩිජිටල් මාධ්‍යයෙන්

JW.ORG දස වසරක් සපුරයි!—1වෙනි කොටස

අපි කලිනුත් දැනුම් දීපු විදිහට 2022 වෙද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නිල වෙබ් අඩවියට අවුරුදු 25ක් සම්පූර්ණ වුණා. හැබැයි මීට අවුරුදු දහයකට කලින් ඒ කියන්නේ 2012 අගෝස්තු 27වෙනිදා තමයි ඒ වෙබ් අඩවිය jw.org කියලා නව මුහුණුවරකින් එළිදැක්වුවේ. එදා ඉඳලා ලෝකේ පුරාම මිලියන ගාණක් දෙනා ඒකෙන් ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද? ඒ ගැන කොටස් තුනකින් යුත් මේ ලිපි මාලාවෙන් අපි බලමු.

වීඩියෝ: 2012 පවත්වපු සමුළුවකදී ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ’ කියන වීඩියෝ මාලාවේ පළවෙනි කොටස් දෙක DVD විදිහට මුදාහැරියා. හැබැයි කාලයත් එක්කම මිනිස්සු DVD පාවිච්චි කරන එක ටික ටික අඩු වුණා. ඒ වගේම ඒවා නිෂ්පාදනය කරන්නත් ලොකු වියදමක් ගියා. ඉතින් 2012දී අපේ වෙබ් අඩවිය අලුත් වුණාට පස්සේ අපිට පුළුවන් වුණා ඒ වගේ වීඩියෝ අපේ වෙබ් අඩවිය හරහාම මුදාහරින්න. ඒ නිසා 2013 ජනවාරිවල ඒ වීඩියෝ මාලාවේ ‘දෙවිත් එක්ක කතා කරන්න’ කියන ඊළඟ වීඩියෝ එක වෙබ් අඩවිය හරහා මුදාහැරියා. මේ වෙද්දී ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ’ කියන වීඩියෝ මාලාවේ වීඩියෝ 40කටත් වඩා ලබාගන්න අවස්ථාව තියෙනවා.

‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක 2013දී ඩිජිටල් මාධ්‍යයෙන් මුදාහැරියා. ඒක අපේ සේවේ ලොකු පෙරළියක් ඇති කළා. දැන් ඒක අපේ ඉගැන්වීම් කට්ටලයටත් ඇතුළත් කරලා තියෙනවා. එදා ඉඳන් jw.org වෙබ් අඩවියේ තියෙන වීඩියෝ සේවේදී පාවිච්චි කරන එක වැඩි වෙලා තියෙනවා. උදාහරණෙකට 2014 අගෝස්තුවල අපි පවත්වපු විශේෂ ව්‍යාපෘතියේදී පත්‍රිකාවක් හරහා මිනිස්සුන්ට අපේ වෙබ් අඩවිය හඳුන්වලා දුන්නා. ඒ මාසේ වීඩියෝ මිලියන 15ක් විතර එක්කෝ ඩවුන්ලෝඩ් කරලා නැත්නම් බලලා තියෙනවා.

jw.org වෙබ් අඩවිය නිර්මාණය කරන්න හවුල් වුණ සහෝදරයෙක් මෙහෙම කියනවා. “මේක නිර්මාණය කරන කාලේ අපිට හිතාගන්න බැරි වුණා මේ හරහා කට්ටිය කොහොම ප්‍රයෝජන ලබයිද කියලා. හැබැයි දැන් ඒ ගැන කල්පනා කරද්දී පේනවා යෙහෝවා අපිව අනාගතේට සූදානම් කරපු විදිහ. ඇත්තටම ඒ ගැන හිතද්දී විශ්වාසය පුදුම විදිහට ශක්තිමත් වෙනවා.” උදාහරණයක් විදිහට 2014 ඔක්තෝබර්වල JW බ්‍රෝඩ්කාස්ටිං එක හඳුන්වා දුන්නා. ඒ මාසේ අපේ වීඩියෝ මිලියන 37කටත් වඩා ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. 2020දී කොරෝනා වසංගතය පටන්ගත්ත කාලේ අපේ වෙබ් අඩවියේ තියෙන වීඩියෝ බලන සහ ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණය හිතාගන්නවත් බැරි විදිහට ඉහළ ගියා. 2022දී සාමාන්‍යයක් විදිහට ගත්තාම හැම මාසෙම jw.org වෙබ් අඩවිය හරහා වීඩියෝ මිලියන 260කටත් වඩා ඩවුන්ලෝඩ් කරලා තියෙනවා.

ඩිජිටල් ප්‍රකාශන: පහුගිය අවුරුදු ගාණ පුරාම හුඟක් අය මුද්‍රිත ප්‍රකාශන කියවනවා වෙනුවට ඔන්ලයින් හරහා නැත්නම් ඇප් හරහා කියවන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් 2012දී අපේ වෙබ් අඩවිය අලුත් කළාට පස්සේ ඕනම කෙනෙක්ට පුළුවන් සඟරාව අතට එන්න කලින්ම ඔන්ලයින් හරහා ඒක කියවන්න. ඒ වෙනුවෙන් වෙහෙසුණ අපේ සහෝදර සහෝදරියන්ගේ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට 2013දී අපිට ‘JW ලයිබ්‍රරි’ ඇප් එක මුදාහරින්න පුළුවන් වුණා. දැන් ප්‍රකාශන කියවන්න, අධ්‍යයනය කරන්න jw.org වෙබ් අඩවිය සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එක හැමෝටම නියම තෝතැන්නක්!

ඉස්සර සමුළු මුදාහැරීම් අපේ වෙබ් අඩවියෙන්, ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඊළඟ අවුරුද්දේ ජනවාරි වෙන කල් බලන් ඉන්න වුණා. හැබැයි 2015 පවත්වපු සමුළුවකදී හරිම සතුටු හිතෙන නිවේදනයක් කළා. ඒ සමුළුවේදී ‘මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්’ සහ ‘ආයෙත් එන්න’ කියන ප්‍රකාශනත් ‘සැබෑ ආදරය’ කියන වීඩියෝ එකත් මුදාහැරලා නිවේදනය කළා ඕනම කෙනෙක්ට ඒ වෙලාවෙම ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා. ඊටපස්සේ 2016 මැයි බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහනේදී පාලක මණ්ඩලයේ සේවේ කරන සහෝදර ඇන්තනි මොරිස් ‘යොවුන් සිතේ ගැටලු 10කට උත්තර’ කියන සඟරාව මුදාහැරියා. ඒක මුදාහරිනවාත් එක්කම ඕනම කෙනෙක්ට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා සහෝදර මොරිස් කිව්වා. එකම ප්‍රකාශනය, එකම වෙලාවේදී ලෝකේ පුරාම ඉන්න සහෝදරයන්ට මුදාහැරපු මුල්ම අවස්ථාවයි ඒ.

මිනිස්සු ළඟට ශුභාරංචිය ගෙනියන්න, අපේ සහෝදර සහෝදරියන්ව ශක්තිමත් කරන්න දෙවියන්ගේ සංවිධානය කවදත් තාක්ෂණය හොඳම විදිහට පාවිච්චි කරලා තියෙනවා. දෙවියන්ගේ සෙනඟට “නියම වේලාවට ආහාර දෙන්න” jw.org වෙබ් අඩවිය උදව් වෙලා තියෙන විදිහ දකිද්දී අපේ හිතට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්!—මතෙව් 24:45.

  • හැම මාසෙම ඩවුන්ලෝඩ් කරන වීඩියෝ ගණන

  • හැම මාසෙකම වෙබ් අඩවියට පිවිසෙන ගණන

  • 2013 ජනවාරිවල ‘දෙවිත් එක්ක කතා කරන්න’ කියන වීඩියෝ එක මුදාහැරියා

  • 2013 ඔක්තෝබර්වල ‘JW ලයිබ්‍රරි’ ඇප් එක මුදාහැරියා

  • 2014 අගෝස්තුවල පවත්වපු විශේෂ ව්‍යාපෘතියේදී පත්‍රිකාවක් හරහා jw.org වෙබ් අඩවිය හඳුන්වලා දුන්නා

  • 2014 ඔක්තෝබර්වල JW බ්‍රෝඩ්කාස්ටිං එක හඳුන්වලා දුන්නා

  • 2015 මැයිවල ඉඳන් සමුළු මුදාහැරීම් ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් ලබාගන්න අවස්ථාව ලැබුණා

  • 2016 මැයිවලදී ‘යොවුන් සිතේ ගැටලු 10කට උත්තර’ කියන සඟරාව ලෝකේ පුරාම ඉන්න සහෝදරයන්ට එකම වෙලාවේදී මුදාහැරියා