Skip to content

(වම) සනීපාරක්ෂක පියවර ගන්න. ඔයාගේ ගෙදර සහ රැස්වීම් ශාලාවේ නිතරම ඇල්ලෙන තැන් පිරිසිදු කරන්න; (මැද) රෝගයට ගොදුරු වුණ ප්‍රදේශවල ඉන්න ප්‍රචාරකයන්ට පුළුවන් දුරකථනයෙන් සාක්ෂි දැරීම වගේ ක්‍රම පාවිච්චි කරන්න; (දකුණ) ප්‍රදේශයේ තත්වය අනුව රැස්වීම් රෙකෝඩ් කරලා ප්‍රචාරකයන්ට දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන්

2020 මාර්තු 3
සිව් දෙසින්

කොරෝනා වයිරසය පැතිරීම සහ ගෙන තිබෙන පියවර ගැන අලුත්ම තොරතුරු

කොරෝනා වයිරසය පැතිරීම සහ ගෙන තිබෙන පියවර ගැන අලුත්ම තොරතුරු

නව කොරෝනා වයිරස් රෝගයේ (COVID-19 ලෙසත් හඳුන්වනවා) පැතිරීම ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය සිටින්නේ ඉතාම කිට්ටු අවධානයකින්. අවසාන කාලයේදී වැඩි වැඩියෙන් වසංගතවලට මුහුණ දෙන්න වෙනවා කියලා බයිබලයේ කලින්ම කියලා තියෙනවා. (ලූක් 21:11) යම් රෝගයක් හදිසියේම පැතිරෙන්න පටන්ගත්තාම හොඳට හිතලා බලලා අපිවත් අනිත් අයවත් ආරක්ෂා කරගන්න අපි පියවර ගන්න ඕනේ.—හිතෝපදේශ 22:3.

කොරෝනා වයිරස් රෝගයට ගොදුරු වුණ රටවල ඉන්න අපේ සහෝදර සහෝදරියන් ගැන හුඟක් අය හිතනවා කියලා අපි දන්නවා. මේ රෝගය නිසා ඉතාලිය, ජපානය, දකුණු කොරියාව සහ තවත් රටවල්වල තියෙන ශාඛා කාර්යාලවලට සහ සභාවන්වලට සකස් කිරීම ගණනාවක් කරන්න සිදු වුණා. සමහර රටවල්වල ශාඛා කාර්යාලය නැරඹීමේ සැලසුම් සහ අමුත්තන්ව පිළිගැනීම තාවකාලිකව නවතා තිබෙනවා. සමහර රටවල්වල ආණ්ඩු මගින් විශාල එක්රැස්වීම් පවත්වන එක තහනම් කරලා තියෙන නිසා චාරිකා සමුළු වගේ විශාල රැස්වීම් පවත්වන්නේ නැතුව ඉන්න තීරණය කරලා තියෙනවා. තවත් සමහර ප්‍රදේශවල සේවයේ හවුල් වෙන සහ රැස්වීම් පවත්වන විදි වෙනස් කරන්න වුණා. අභියෝග රැසක් තිබුණත් දෙවියන් එක්ක තියෙන බැඳීම රැකගන්න වගේම එක් එක්කෙනාව දිරිමත් කරන්න එයාලා දිගටම මහන්සි වෙනවා.—යූද් 20, 21.

මේ වගේ දෙයක් වුණාම මොකද කරන්නේ? පහත තියෙන මඟ පෙන්වීම් සහෝදරයන්ට ගොඩක් උදව් වෙලා තියෙනවා. ඔයා ඉන්න ප්‍රදේශයේ රෝගයක් පැතිරෙන්න පටන්ගත්තොත් මේ කරුණු ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් උදව් වෙයි.

  • කලබල වෙන්න එපා. රෝගයේ පැතිරීම ගැන දැනුවත් වෙන්නත් ආරක්ෂා වෙන්න පියවර ගන්නත් ඕනෙ තමයි. ඒත් අපි පියවර ගන්න ඕනෙ බය නිසා නෙමෙයි, තොරතුරු පදනම් කරගෙනයි.—හිතෝපදේශ 14:15; යෙසායා 30:15.

  • ආණ්ඩුවෙන් දෙන මඟ පෙන්වීම් පිළිපදින්න. මහජනයාගේ ආරක්ෂාව ගැන හිතලා හුඟක් වෙලාවට ආණ්ඩු මගින් නීතිරීති දානවා. ඒ ගැන දැනුවත් වෙලා ඒවාට කීකරු වෙන්න.—රෝම 13:1.

  • නිතරම පිරිසිදුව ඉන්න. නිතරම ඔයාගේ අත් සබන් ගාලා සෝදගන්න. එහෙම නැත්නම් අත් පිරිසිදු කරන ඇල්කොහොල් අඩංගු දියරයකින් (Alcohol-based hand sanitizer) අත් පිරිසිදු කරගන්න. ඔයාගේ ගෙදර සහ නමස්කාර මධ්‍යස්ථානයේ නිතරම ඇල්ලෙන තැන් පිරිසිදු කරන්න. ඒ වගේම රෝගය පැතිරෙන්න ගොඩක් ඉඩකඩ තියෙන නිසා මිතුරන්ට, අමුත්තන්ට අතට අත දෙන එකෙන් වළකින්න කියලා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නිර්දේශ කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරස් රෝගයෙන් ආරක්ෂා වෙන්න මහජනයාට තවත් ප්‍රයෝජනවත් මඟ පෙන්වීම දීලා තියෙනවා.

  • අනිත් අය ගැන හිතන්න. රැස්වීම්වලට එන එක සහ සේවයේ හවුල් වෙන එක වැදගත් වුණත් ඔයාට සනීප නැත්නම් මොකද කරන්නේ? ඔයාගේ ලෙඩේ අනිත් අයට බෝ වෙන්න පුළුවන් නිසා ගෙදර නවතින එකයි හොඳම දේ. එහෙම කරන එකෙන් පෙන්වන්නේ ඔයා සහෝදර සහෝදරියන්ට වගේම ඔයාගේ ප්‍රදේශයේ ඉන්න සාක්ෂිකරුවන් නොවන අයටත් ඔයා ප්‍රේම කරනවා කියලයි.—මතෙව් 22:39.

  • රැස්වීම් ගැන ලබා දෙන තාවකාලික සැලසුම්වලට සහය වෙන්න. රෝගයක් පැතිරෙන ප්‍රදේශවල රැස්වීම්, සමුළු සහ හුඟදෙනෙක් රැස්වෙන අවස්ථා තාවකාලිකව නවතා දමන්න ශාඛා කාර්යාලය තීරණය කරන්න ඉඩ තියෙනවා. කොරෝනා වයිරසය දරුණු විදිහට පැතිරුණු ඉතාලිය, ජපානය සහ දකුණු කොරියාව වගේ රටවල සමහර ප්‍රදේශවල ඒ වගේ දෙයක් කරන්න සිදු වුණා. ප්‍රදේශයේ පවතින තත්වය අනුව රැස්වීම් රෙකෝඩ් කරලා ප්‍රචාරකයන්ට බලන්න අවස්ථාව දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන්. ප්‍රචාරකයන්ට පුළුවන් දුරකථනයෙන් වගේම කෙටි පණිවිඩ, ඊමේල් හෝ ලිපි මගින් සාක්ෂි දරන්න.