Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

උත්සාහය අත්හරින්නේ නැතුව ඉන්න දරුවාට උදව් කරන්න

උත්සාහය අත්හරින්නේ නැතුව ඉන්න දරුවාට උදව් කරන්න

 “අයියෝ මට බෑ මේක කරන්න. මේක ගොඩක් අමාරුයි.” හිතන්න, ඔයාගේ දරුවා අඬඅඬ එහෙම කියනවා කියලා. එයාට දුන්න වැඩේ එයාට කරගන්න අමාරු නිසා එයා ඒක අත්හැරලා දානවා. ඔයාත් කැමති නැහැ දරුවා අමාරුවෙන් දෙයක් කරලා කරලා හෙම්බත් වෙලා ඉන්නවා දකින්න. හැබැයි ඔයාට ඕනෙ ඒ වගේ අමාරු දේකදී කොහොමහරි උත්සාහ කරලා එයා ඒක ජය ගන්නවා දකින්න. ඉතින් ඔයා මොනවාද කරන්නේ? ටක් ගාලා එයාගේ උදව්වට යනවාද? එහෙම නැත්නම් ඒක අත්හැරලා දාන්න ඉඩ දෙනවාද? එහෙමත් නැත්නම් උත්සාහය අත්හරින්නේ නැතුව කොහොමහරි ඒක කරන්න ඔයා එයාට උගන්නනවාද?

දැනගන්න ඕන දේ

 දිගටම උත්සාහ කරන එක වැදගත්. දෙමාපියන් පොඩි කාලේ ඉඳන්ම දරුවන්ට උත්සාහය අත්හරින්නේ නැතුව දිගටම මහන්සි වෙලා වැඩ කරන්න උගන්නද්දී ඒකෙන් එයාලට ගොඩක් ප්‍රයෝජන තියෙනවා. එයාලා ඉස්කෝලේ වැඩත් හොඳට කරයි. ඒ වගේම එයාලා ගොඩක් සතුටින්, සෞඛ්‍යසම්පන්නව ඉඳියි. ඒගොල්ලන්ට අනිත් අයට ළං වෙන්න, කිට්ටු යාළුකම් ඇති කරගන්නත් ඒක උදව් වෙයි. හැබැයි දරුවන්ට අභියෝග එද්දී ඒකට මූණ දෙන්න දෙමාපියන් එයාලට උගන්නන්න ඕනේ. එහෙම නැතුව එයාලාගේ පස්සෙන්ම ඉඳන් උදව් කරනවා නම් ඒක දරුවාට මානසිකව බලපාන්න පුළුවන්. දරුවන්ට හිතෙයි එයාලට කිසිම දෙයක් තනියෙන් කරගන්න බැහැ කියලා. ඒ වගේම එයාලා වැඩිහිටියන් වුණාට පස්සෙත් ජීවිතේ නියම සතුට අද්දකින්න එයාලට බැරි වෙයි.

 උත්සාහය අත් නොහැර වැඩ කරන හැකියාව වර්ධනය කරගන්න පුළුවන්. අත්හරින්නේ නැතුව දිගටම උත්සාහ කරලා අභියෝගයක් ජය ගන්න තියෙන හැකියාව වර්ධනය කරගන්න පොඩි දරුවෙක්ට වුණත් පුළුවන්. එක අධ්‍යයනයකදී හොයාගත්තා වැඩිහිටි කෙනෙක් අමාරුවෙන් දෙයක් කරද්දී ඒක දකින මාස 15ක ළදරුවෙක් වුණත් අමාරු දෙයක් දුන්නාම ඒක කොහොමහරි කරන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා.

 “මට මතකයි මං මගේ පුංචි කෙල්ලොන්ට ඉගැන්නුවා කොහොමද සපත්තුවේ ලේස් ගැටගහගන්නේ කියලා. ඒක දවසින් දෙකෙන් ඉගෙනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැම වතාවෙම ඉතිං විනාඩි 10ක් 15ක් අරගෙන, ඉඳගෙන එයාලා මතක් කරගන්නවා කොහොමද ලේස් ගැටගහගන්නේ කියලා. ඒ වගේ වෙලාවට මං එයාලට පොඩ්ඩක් උදව් කරනවා. ඉතිං මාස ගාණක් තිස්සේ සමහර වෙලාවට අඬඅඬ කොහොමහරි අන්තිමේදී එයාලා වැඩේ අල්ලගත්තා. ඕනෙ නම් මට තිබ්බා ලේස් නැති සපත්තු ගෙනත් දෙන්න. ඒක මටත් ලේසිනේ. හැබැයි දෙමාපියන් විදිහට අපිත් උත්සාහය අත්හරින්නේ නැතුව දරුවාට උදව් කරන්න ඕනෙ උත්සාහය අත් නොහැර වැඩ කරන්න.”—කාලීන්.

 උත්සාහය අත් නොහැර වැඩ කරන හැකියාව දුර්වල වෙන්නත් පුළුවන්. උත්සාහය අත්හරින්නේ නැතුව දෙයක් කරන්න දරුවාට තියෙන හැකියාව දෙමාපියන්ගේ අතින්ම මොට වෙන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? මොකද දරුවාගේ හිතේ එයා ගැනම හොඳ හැඟීමක් ඇති කරන්න තියෙන කැමැත්ත නිසා සමහර දෙමාපියන් දරුවා මොකක් හරි කරගන්න බැරුව කලකිරෙනවා දකිද්දී ටක් ගාලා එයාගේ උදව්වට යනවා. එහෙම කරන එක හැම තිස්සේම හොඳ දෙයක් නෙවෙයි. බලන්න ලේඛිකාවක් වන ජෙසිකා ලේහි කියන දේ. “දරුවා අභියෝගයක් මැද හිර වෙන හැම වතාවකම දෙමාපියන් එයාගේ උදව්වට යන එකෙන් මොකක්ද වෙන්නේ? ඒකෙන් එයාලා දරුවාට මෙසේජ් එකක් දෙනවා ‘මේක ඔයාට හරියට කරගන්න බෑ. මේක ඔයා හරියට කරයි කියලා අපිට කිසිම විශ්වාසයක් නෑ’ කියලා.” a අන්තිමේදී මොකද වෙන්නේ? අමාරු දෙයක් කරන්න වුණ ගමන් ඒක කරගන්න බැහැ කියලා දරුවා ඒක අත්හැරලා දායි. එයා හිතයි ‘ලොකු කෙනෙක්ගේ උදව් නැතුව මේක නං කීයටවත් කරගන්න බෑ’ කියලා.

අභියෝගයක් මැද ඉද්දී දරුවාව ඒකෙන් ගලවගන්නවා වෙනුවට උත්සාහය අත්හරින්නේ නැතුව ඒකට මූණ දෙන්න දරුවාට උගන්නන්න

කරන්න පුළුවන් දේ

 මහන්සි වෙලා වැඩ කරන්න කියලා කියන්න. වයසට ගැළපෙන වැඩ දරුවන්ට පවරන එකෙන් දිගටම මහන්සි වෙලා වැඩ කරන විදිහ උගන්නන්න දෙමාපියන්ට පුළුවන්. උදාහරණෙකට අවුරුදු තුනත් පහත් අතර ළමයෙක්ට පුළුවන් හෝදපු ඇඳුම් වෙන් කරන්න. එහෙම නැත්නම් එයාගේ සෙල්ලම් බඩු තියන්න ඕන තැන තියන්න. ඔයාගේ දරුවාගේ වයස ඊට වඩා පොඩ්ඩක් වැඩියි නම් එයාට පුළුවන් කඩෙන් ගෙනාපු බඩු අදාළ තැන තියන්න, කෑම මේසේ පිරිසිදු කරන්න, උයපු කෑම මේසෙට ගිහින් තියන්න සහ කුණු එළියට දාන්න. එහෙම නැත්තම් මොනවා හරි හැලුණාම ඒක අස් කරන්න. යෞවන වයසේ ඉන්න දරුවෙක්ට ඊට වඩා ටිකක් අමාරු වැඩ පවරන්න පුළුවන්. ගේදොර අස්පස් කරන වැඩ, නඩත්තු කරන වැඩ, කැඩුණු බඩුවක් හදන එක වගේ වැඩ කරන්න එයාට පුළුවන්. දරුවෝ ගෙදරදොරේ වැඩ කරන්න එච්චර කැමති නැති වුණත් පුංචි වයසේ ඉඳන්ම එයාලට වැඩක් පවරන එකෙන් දරුවන්ට ප්‍රයෝජන ලැබෙනවා. ඒත් ඒ මොන වගේ ප්‍රයෝජනද? ඒකෙන් එයාලා මහන්සි වෙලා වැඩ කරන්න ඉගෙනගන්නවා. ඒ වගේම වැඩිහිටියන් වුණාට පස්සෙත් දෙයක් කරගන්න බැරුව මඟ අත්හරිනවා වෙනුවට කොහොමහරි ඒ වැඩේ කරන්න එයා උත්සාහ කරනවා.

 බයිබල් ප්‍රතිපත්තිය: “වෙහෙස මහන්සි වී කරන සෑම වැඩකින්ම ප්‍රයෝජන අත් වෙයි.”—හිතෝපදේශ 14:23.

 “දරුවාට මොකක් හරි වැඩක් දෙන්න ඕනෙ නිසාම ඔහේ තේරුමක් නැති දෙයක් දෙන්න එපා. ඒකෙන් වෙන්නේ බොරුවට කාලේ නාස්ති වෙන එක. කිසිම කෙනෙක්, අඩුම ගාණේ දරුවෙක්වත් කැමති නෑ එයාට එහෙම සලකනවාට. ඒ වෙනුවට මොකක් හරි ප්‍රයෝජනයක් තියෙන වැඩක් එයාට දෙන්න. ඔයාගේ දරුවා ගොඩක් පොඩියි නම් ගෙදර බඩුවල එයාට පිහදාන්න පුළුවන් තැන්වල තියෙන දූවිලි පිහදාන්න කියලා එයාට කියන්න. ඔයා වාහනේ හෝදන වෙලාවට වාහනේ යට හරිය එයාට හෝදන්න කියලා කියන්න. ඊටපස්සේ එයා කියපු වැඩේ හොඳට කළා කියලා එයාට කියන්න.”—ක්‍රිස්.

 අමාරු වැඩක් සාර්ථකව කරන්න පියවරෙන් පියවර දරුවාට මඟ පෙන්වන්න. සමහර වෙලාවට දරුවා භාර දුන්න වැඩක් මඟ නතර කරන්නේ එයා ඒක කරන විදිහ දන්නේ නැති නිසයි. ඉතින් දරුවාට මොකක් හරි වැඩක් භාර දුන්නාම මේ පියවර අදාළ කරගන්න. (1) මුලින්ම ඒ වැඩේ කරන විදිහ ඔයා දරුවාට කරලා පෙන්නන්න. (2) දරුවාත් එක්ක එකතු වෙලා ඒක කරන්න. (3) දරුවා ඒක කරන අතරේ බලන් ඉඳලා ඕන කරන මඟ පෙන්වීම් එයාට දෙන්න. ඊටපස්සේ ඔයාට පුළුවන් සම්පූර්ණ වැඩේ එයාට තනියෙන් කරන්න භාර දෙන්න.

 බයිබල් ප්‍රතිපත්තිය: “මා ඔබට කළා වගේ ඔබත් කළ යුතුයි. ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි.”—යොහන් 13:15.

 “මගේ අද්දැකීම නං දරුවාට උත්සාහය අත්හරින්නේ නැතුව මොකක් හරි වැඩක් කරන්න උගන්නන්න නං අපි ඒකට හොඳ ආදර්ශයක් තියලා ඉන්න ඕනේ. දරුවා මොකක් හරි ගුණාංගයක් වර්ධනේ කරගන්නවා දකින්න අපි කැමති නං මුලින්ම අපි ඒක පෙන්නන්න ඕනේ.”—ඩග්.

 ඕනම කෙනෙක්ට දෙයක් කරන්න අමාරු වෙන්න පුළුවන්, දෙයක් වරදින්න පුළුවන් කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. ඔයාට ජීවිතේ කරන්න අමාරු වුණ දෙයක් ගැන දරුවාට කියන්න. කොච්චර අමාරු වුණත් අත්හරින්නේ නැතුව ඒක කරපු නිසා ඔයා ලබපු ප්‍රයෝජන ගැනත් එයාට කියන්න. දෙයක් මුලින් කරද්දී ඒක ටිකක් අමාරුයි කියලත් වැරදෙන තැන්වලින් පාඩම් ඉගෙනගන්න පුළුවන් කියලත් එයාට තේරුම් කරලා දෙන්න. එයාට වැරදුණත් ඔයාගේ හිතේ එයාට තියෙන ආදරේ අඩුවක් වෙන්නේ නැහැ කියලත් කියන්න. සාමාන්‍යයෙන් වෙහෙසිලා වැඩ කරද්දී අපේ මස්පිඩු වර්ධනය වෙනවා වගේ අභියෝග මැද දිගටම උත්සාහ කරද්දී අත්හරින්නේ නැතුව දෙයක් කරන්න තියෙන හැකියාවත් වර්ධනය වෙනවා. ඉතින් දරුවා අභියෝගවලට මූණ දෙද්දී ටක් ගාලා ගිහිල්ලා එයාට උදව් කරන්න එපා. එයාට ඒ වැඩේ එපා වෙලා කියලා පෙනුණත් දිගටම ඒක කරන්න එයාට ඉඩ දෙන්න. එක පොතක මෙහෙම කියනවා. “යෞවන කෙනෙක්ට දැනුම් තේරුම් තියෙන හොඳ වැඩිහිටියෙක් වෙන්න උදව් වෙන එක දෙයක් තමයි එයාට කරන්න අමාරු දෙයක් කරන්න එයාට ඉඩහරින එක.”—How Children Succeed.

 බයිබල් ප්‍රතිපත්තිය: “යොවුන් වියේදී දුෂ්කරතාවලට මුහුණ දීම මනුෂ්‍යයෙකුට යහපත්ය.”—විලාප ගී 3:27.

 “අම්මායි, තාත්තායි එයා ළඟ ඉන්නවා කියලා පෙන්නන අතරේ අමාරු දෙයක් කරන්න දරුවාට ඉඩ දෙන්න ඕනේ. මුලදී අමාරුයි කියලා දැනුණත් කාලෙත් එක්කම ඒක කරන්න එයා ඉගෙනගන්නවා. ඒකෙන් එයා අලුත් දෙයක් ඉගෙනගන්නවා. දෙයක් අත්හරින්නේ නැතුව කරන්න පුළුවන් කියන විශ්වාසෙත් වැඩි වෙනවා.”—ජෝඩ්න්.

 දරුවාගේ දක්ෂකම වෙනුවට මහන්සිය අගය කරන්න. උදාහරණෙකට “ඔයා විභාගේ හොඳට කළා. ඔයා නං මාර දක්ෂයි” කියලා කියනවා වෙනුවට “ඔයා විභාගේ හොඳට කළා. මහන්සි වෙලා පාඩම් කරපු එක ගැන මට හරිම සතුටුයි” කියලා දරුවාට කියන්න. එයාගේ දක්ෂකම අගය කරනවා වෙනුවට එයාගේ මහන්සිය අගය කරන එක වැදගත් ඇයි? බලන්න මහාචාර්යවරියක් වන කැරල් ඩ්වෙක් කියන දේ. “දරුවාගේ දක්ෂකම අගය කරද්දී එයාට දෙයක් කරගන්න බැරි වුණාම, එයාට වැරදුණාම එයාට හිතෙයි එයාගෙන් කිසිම වැඩක් නෑ කියලා. අභියෝගවලට ආස කරන්න, වැරදුණ තැන්වලින් ඉගෙනගන්න, මහන්සි වෙලා වැඩ කරන එකෙන් සතුටක් ලබන්න, අලුත් අලුත් ක්‍රමවලින් දෙයක් අත්හදා බලන්න, දිගටම ඉගෙනගන්න ආසාවක් ඇති කරගන්න එයාලට උගන්නන එක තමයි දෙමාපියන්ට දරුවන් වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම තෑග්ග. එහෙම කළොත් දරුවෙක් ප්‍රශංසාව ලබාගන්න බලාගෙන දේවල් කරන්නේ නෑ.” b

 බයිබල් ප්‍රතිපත්තිය: “අන්‍යයන්ගෙන් ලබන ප්‍රශංසාව මගින් මිනිසෙකු කෙබඳු පුද්ගලයෙකුදැයි හෙළි වනු ඇත.”—හිතෝපදේශ 27:21.

a The Gift of Failure කියන පොතෙන්.

b Mindset කියන පොතෙන්.