පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට
ජාති භේද ගැන දරුවා එක්ක කතා කරන්නේ කොහොමද?
හමේ පාට නිසා, ජාතිය නිසා අනිත් අයව පහත් කරලා සලකන එක අද සමාජය පුරාම දකින්න තියෙනවා. පුංචි කාලේ ඉඳන්ම ඔයාගේ දරුවාත් ඒ දේවල් දකින නිසා එයාගේ පුංචි මනසට ඒක බලපාන්න පුළුවන්. ඒ බලපෑමෙන් දරුවාව ආරක්ෂා කරන්නේ කොහොමද? වෙන ජාතියකට අයිති නිසා ඔයාගේ දරුවාවත් අනිත් අය පහත් කරලා සැලකුවොත් ඒකට මුහුණ දෙන්න එයාට උදව් කරන්නේ කොහොමද?
මේ ලිපියෙන්
විවිධ ජාතීන්වල අය ගැන දරුවා එක්ක කතා කරන්න
කතා කරන්න පුළුවන් මොනවා ගැනද? ලෝකේ පුරාම ඉන්න මිනිස්සු පෙනුමෙන් වගේම සංස්කෘතිය සහ සිරිත් විරිත් අතිනුත් එකිනෙකාට වෙනස්. ඒ වෙනස විවිධත්වයක් ඇති කරලා තියෙනවා. ඒ විවිධත්වය ලෝකේ සුන්දර කරලා තියෙනවා. හැබැයි සමහර අය ඒ සුන්දරත්වය විඳිනවා වෙනුවට ඒක හේතුවක් කරගෙන අනිත් අය ගැන පහත් විදිහට හිතන්න, එයාලට පහත් විදිහට සලකන්න පෙලඹිලා තියෙනවා.
හැබැයි බයිබලේ කියනවා මිනිස්සු හැමෝම පැවතෙන්නේ එක අම්මා කෙනෙක්ගෙන් සහ තාත්තා කෙනෙක්ගෙන් කියලා. ඒ විදිහට බලද්දී අපි හැමෝම නෑදෑයෝ.
‘දෙවියන් එක මිනිසෙකුගෙන් සියලුම ජාතීන් බිහි කළා.’—ක්‍රියා 17:26.
“අපේ ළමයි වෙන ජාතීන්වල අය එක්ක ආශ්‍රය කරද්දී එයාලා දකිනවා ඒ අය ගාවත් ගොඩක් හොඳ ගතිගුණ තියෙනවා කියලා. ඒ නිසා අපි එයාලටත් ආදරෙන්, ගෞරවයෙන් සලකන්න ඕනෙ කියන එක දරුවෝ තේරුම්ගන්නවා.”—කැරන්.
ජාති භේද ගැන දරුවාට පැහැදිලි කරන්නේ කොහොමද?
ජාතිවාදය නිසා මිනිස්සු අනිත් අයට කරන කුරිරුකම්, අපරාධ ගැන තියෙන ප්රවෘත්ති කවදා හරි දවසක ඔයාගේ දරුවාටත් අහන්න, දකින්න ලැබෙයි. ඒ දේවල් ගැන ඔයා දරුවාට පැහැදිලි කරන්නේ කොහොමද? දරුවාගේ වයසට ගැළපෙන විදිහට ඒක කරන්න ඔයාට පුළුවන්.
පෙර පාසැල් දරුවන්ට. මනෝ වෛද්‍යවරියක් වන ඇලිසන් බ්‍රිස්කෝ-ස්මිත් එක සඟරාවක මෙහෙම කියනවා. “සාධාරණය සහ අසාධාරණය දරුවන්ගේ පුංචි හිත්වලට තදින්ම දැනෙනවා. ඒ නිසා අනිත් අයව පහත් කරලා සලකන එක වැරදි ඇයි කියලා දරුවන්ට උගන්වන්න ඔයාට හුඟක් අවස්ථා උදා වෙයි.”—Parents.
‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.’—ක්‍රියා 10:34, 35.
ප්‍රාථමික පාසැල් දරුවන්ට. වයස අවුරුදු 6ත් 12ත් අතර ඉන්න දරුවන්ට හැම දෙයක් ගැනම ලොකු කුතුහලයක් තියෙනවා. ඒ නිසා එයාලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන එක ලේසි නැහැ. හැබැයි පුළුවන් විදිහට ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න බලන්න. එයාලා ඉස්කෝලේදී වගේම ටීවී එකෙන් සහ ඉන්ටර්නෙට් එකෙන් රටේ තොටේ වෙන දේවල් දකිනවා. ඒවාම පාවිච්චි කරලා අනිත් අයව පහත් කරලා සලකන එක වැරදි ඇයි කියලා දරුවාට කියලා දෙන්න.
“සියලුදෙනාම එකඟතාවකින්ද එකිනෙකාට අනුකම්පාව පෙන්වමින්ද සහෝදර ස්නේහය ඇතුවද ගැඹුරු දයානුකම්පාවෙන් ක්‍රියා කරමින්ද නිහතමානීවද සිටිය යුතුයි.”—1 පේතෘස් 3:8.
යෞවන දරුවන්ට. යෞවන වයසට ආවාම හුඟක් දරුවන් සමාජයේ සිද්ධ වෙන දේවල් ගැන දැනගන්න ටික ටික උනන්දු වෙනවා. ඉතින් ජාතිවාදය නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් ගැන ටීවී එකේ පෙන්නද්දී දරුවා එක්ක විවෘතව කතා කරන්න දෙමාපියන්ට ඒක හොඳ අවස්ථාවක්.
‘අවබෝධයෙන් ක්‍රියා කරන අය තම වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.’—හෙබ්‍රෙව් 5:14.
“අපි ලෝකේ කොහේ හිටියත් දවසක අපේ ළමයින්ට ජාතිවාදී ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. අපි ඔය ගැන ගෙදරදී දරුවන්ට කියලා දුන්නේ නැත්තං පිට අය තමයි දරුවන්ගේ ඔළුවලට එක එක දේවල් දාන්නේ. ඒ නිසා අපි නං අපේ ළමයින්ට වරද්දන්නේ නැතුව ඒ ගැන කියලා දෙනවා.”—ටාන්යා.
ආදර්ශයෙන් උගන්වන්න
ඔයාගේ දරුවන් ඔයා කියන දේවල් ගැන විතරක් නෙවෙයි ඔයා කරන දේවල් දිහාත් හොඳට බලාගෙනයි ඉන්නේ. ඒ නිසා එයාලට හොඳ ආදර්ශයක් වෙන්න.
ඔයා වෙන ජාතියක අයව විහිළුවට ගන්නවාද? එයාලව පහත් කරලා කතා කරනවාද? “දරුවන් ඔයාලා කරන කියන දේවල් හොඳට බලාගෙන ඉන්න නිසා දවසක එයාලත් කරන්නේ ඔයාලා කරන දේමයි” කියලා එක්සත් ජනපදයේ ළමා හා නව යොවුන් දරුවන්ගේ මානසික සෞඛ්‍යය ගැන හදාරන ආයතනයක් කියනවා.
ඔයා එක එක රටවල්වලට, සංස්කෘතිවලට අයිති අයත් එක්ක ආශ්‍රය කරන්න කාලේ ගන්නවාද? “එක එක පසුබිම්වලට අයිති අයත් එක්ක දරුවා ආශ්‍රය කරනවා දකින්න ඔයා කැමති නම් ඉස්සෙල්ලාම ඔයා ඒක කරනවා දරුවෝ දකින්න ඕනෙ” කියලා ළමා රෝග විශේෂඥවරියක් වන අලෑනා න්සෝමා කියනවා.
“සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න.”—1 පේතෘස් 2:17.
“අවුරුදු ගාණක් තිස්සේ අපි ලෝකේ එක එක රටවල්වලින් ආපු අයට අපේ ගෙදර නවාතැන් දීලා තියෙනවා. අපි එයාලගේ කෑම බීම ගැන, සංගීතය ගැන ඉගෙනගත්තා. ඒ වගේම එයාලගේ රටේ ඇඳුම් ඇඳලත් බැලුවා. අපි දරුවෝ එක්ක කතා කරන්නේ මිනිස්සු ගැන මිසක් එයාලගේ ජාතිය ගැන නෙවෙයි. ඒ වගේම අපේම සංස්කෘතිය ගැන මහ ඉහළින් කයිවාරු ගහන්නේ නැතුව ඉන්නත් අපි පරෙස්සම් වෙනවා.”—කැතරිනා.
අනිත් අය ඔයාගේ දරුවාව පහත් කරලා සලකනවා නම් . . .
අද මිනිස්සු හැමෝටම එක වගේ සලකන එක ගැන කතා කළත් ජාතිවාදය ලෝකේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා. දවසක ඔයාගේ දරුවාටත් අනිත් අය ඒ විදිහට සලකන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ඔයාලා ජීවත් වෙන පැත්තේ ඔයාලගේ ජාතියේ අය ඉන්නේ ටිකදෙනයි නම් ඒක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. එහෙම වුණොත් මොකද කරන්නේ?
ඇත්ත නැත්ත හොයලා බලන්න. දරුවාව පහත් කරලා සලකපු කෙනා ඒ දේ කළේ හිතාමතාමද? නැත්නම් ඒක එච්චර හිතන්නේ බලන්නේ නැතුව කරපු දෙයක්ද? (යාකොබ් 3:2) වෙච්ච දේ කතා කරලා විසඳගත්තොත් හොඳයි කියලා හිතෙනවාද? නැත්නම් ඒක අමතක කරලා දාන්න පුළුවන් දෙයක්ද?
ඒ වගේ අවස්ථාවලදී සාධාරණ වෙන එක හරිම වැදගත්. මොකද බයිබලේ කියනවා “අමනාප වීමට ඉක්මන් නොවන්න” කියලා. (දේශනාකාරයා 7:9) ඇත්ත, ජාතිවාදය කීයටවත් සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි කෙනෙක් ඔයාව රිද්දන, ඔයාව පහත් කරන හැම වෙලාවකම ඒ දේ කළේ ජාතිවාදය නිසා කියලා කියන්න බැහැ.
ඒ නිසා ඔයාගේ දරුවා මුහුණ දෙන එක එක සිද්ධීන් එකිනෙකට වෙනස් කියලා තේරුම්ගන්න. ඒ වගේම ඒවාට මුල් වෙච්ච හේතුත් වෙනස් කියලා තේරුම්ගන්න. ඒ නිසා ඔයා මොනවා හරි පියවරක් ගන්න කලින් ඇත්තටම මොකක්ද වුණේ කියලා හොඳට හොයලා බැලුවොත් නරකද?
“කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි. එයින් අත් වන්නේ ලැජ්ජාවකි.”—හිතෝපදේශ 18:13.
තොරතුරු හොයලා බැලුවාට පස්සේ මේ ගැන හිතන්න.
‘“හැමෝම අනිත් අයව පහත් කරනවා. අනිත් අය හැම තිස්සේම මට නරක විදිහට සලකන්නෙත් මගේ ජාතිය නිසයි” කියලා දරුවා හිතන එකෙන් එයාට හොඳක් වෙයිද?’
‘“මිනිසුන් කියන සෑම දෙයක්ම සිතට නොගන්න” කියලා බයිබලේ දීලා තියෙන උපදෙස පිළිපදින එකෙන් දරුවාට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැද්ද?’—දේශනාකාරයා 7:21.
“ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි.”—ෆිලිප්පි 4:5.
ඒක හිතාමතාම කරපු දෙයක් නම්? ප්‍රශ්නයක් ඇති වුණාම අපි වැඩ කරන විදිහෙන් ප්‍රශ්නේ තව අවුළුවන්න හරි ඒක නිවලා දාන්න හරි පුළුවන් කියලා දරුවාට තේරුම් කරලා දෙන්න. සමහර වෙලාවට අනිත් අයට ලැජ්ජා කරන, අපහාස කරන අනිත් අයව කේන්ති ගස්සන අයට ඕනෙ කොහොමහරි අනිත් කෙනාවත් අවුස්සලා ප්‍රශ්නෙකට පටලවාගන්න. ඒ නිසා ඒ වගේ වෙලාවකදී කරන්න පුළුවන් හොඳම දේ තමයි මුකුත්ම කරන්නේ නැතුව ඉන්න එක.
“දර නැති විට ගින්න නිවී යයි.”—හිතෝපදේශ 26:20.
අනිත් අතට ප්‍රශ්නේ දුර දිග යන එකක් නැහැ කියලා හිතෙනවා නම් දරුවාට පුළුවන් එයාට නරක විදිහට සලකපු කෙනා එක්ක කතා කරන්න. සමහරවිට දරුවාට පුළුවන් හරිම සන්සුන්ව එයාට කියන්න “ඔයා කරපු දේ නිසා මගේ හිත හොඳටම රිදුණා” කියලා.
වෙච්ච දේ ගැන කාව හරි දැනුවත් කරන්න ඕනෙ කියලා හිතුණොත්? වෙච්ච දේ නිසා දරුවාට අනතුරක් වෙයි කියලා ඔයාට හිතෙනවාද? එහෙම නැත්නම් වෙන හේතුවක් නිසා වෙච්ච දේ සැහැල්ලුවට ගන්න බැහැ කියලා හිතෙනවාද? එහෙමනම් ඉස්කෝලේ ඉන්න වගකිව යුතු අයට හරි පොලීසියට හරි ඒ ගැන දැනුම් දෙන්න ඔයාට පුළුවන්.