පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට
නව යොවුන් වියේ ඉන්න ඔයාගේ දරුවා ඔයාගේ විශ්වාසය කඩ කළොත්
නව යොවුන් වියේ ඉන්න සමහර දරුවන් අම්මා, තාත්තා කියලා තියෙන වෙලාවට ගෙදර එන්නේ නැහැ. තවත් දරුවන් අම්මලාට හොරෙන් ගිහිල්ලා යාළුවන් එක්ක කාලේ ගත කරනවා. ඔයාගේ දරුවා ඒ විදිහට ඔයාගේ විශ්වාසය කඩ කළොත් ඔයා මොනවද කරන්නේ?
නව යොවුන් වියේ ඉන්න මගේ දරුවා කැරලිකාරයෙක්ද?
බයිබලයේ මෙහෙම කියනවා: “මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී ඇත.” (හිතෝපදේශ 22:15) නව යොවුන් වියේ ඉන්න දරුවන් ගොඩක් වෙලාවට හැසිරෙන විදිහෙන් ඒ කියමන ඇත්තක් කියලා ඔප්පු වෙනවා. “නව යොවුන් වියේ ඉන්න දරුවන් හදිස්සි වෙලා මෝඩ තීරණ ගන්නවා. ඒක අපි බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්” කියලා විශාරද ලෝරන්ස් ස්ටයින්බර්ග් පොතක සඳහන් කරලා තියෙනවා. a එහෙම බලද්දි ඔයාගේ දරුවා කැරලිකාරයෙක් කියලා තීරණය කරන්න ඉක්මන් වෙන්න හොඳ නැහැ.
දරුවා මාව රවට්ටනවා නම් මොකද කරන්නේ?
දරුවන් දෙමව්පියන්ට පෙන්නුවේ නැති වුණාට දෙමව්පියන් එයාලා ගැන සැලකිලිමත් වෙන එකට එයාලා කැමතියි කියලා පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. ඉතිං ඔයාට නොපෙන්නුවාට එයා ඔයාගේ බලාපොරොත්තු කඩ කරන අවස්ථාවලදී එයා ගැනම කලකිරිලා දුක් වෙනවා ඇති. ඒ නිසා දරුවාගේ එකම අරමුණ ඔයාව රවට්ටන එක කියලා නිගමනය කරන්න එපා.
වරද කාගෙද?
සමාජයේ බලපෑමද? බයිබලයේ මෙහෙම කියනවා. “මුළා නොවන්න. නරක ආශ්රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.” (1 කොරින්ති 15:33) ඇත්ත, නව යොවුන් වියේ ඉන්න දරුවන්ට එයාලගේ යාළුවන්ගෙන් ලොකු බලපෑමක් එල්ල වෙනවා. සමාජ ජාලා වෙබ් අඩවි වගේම වෙළඳ දැන්වීම් එයාලට ලොකු බලපෑමක් කරනවා. ඒ විතරක්ද? එයාලට ජීවිතය ගැන තියෙන අද්දැකීමුත් හරිම අඩුයි. ඉතින් නව යොවුන් වියේ ඉන්න දරුවන් මෝඩ තීරණ ගන්න එක පුදුමක්ද? හැබැයි එයාලා ගන්න තීරණවලට වගකීම භාරගන්න එයාලා දැන් ඉඳන්ම පුරුදු වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි වැඩිහිටියන් වුණාම හොඳට හිතලා බලලා වගකීමෙන් වැඩ කරන්න එයාලට පුළුවන් වෙන්නේ.
එහෙම වුණේ මගේ වරදින්ද? දරුවා හිතුවක්කාර වුණේ ‘මං ඕනෑවට වඩා තදින් හිටපු නිසාවත්ද’ නැත්නම් ‘බුරුලක් දුන්නා වැඩිද’ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. වුණේ මොකක් වුණත් ඔයාගෙන් වුණු අඩුපාඩු ගැන හිතහිතා ඉන්නේ නැතුව ගැටලුව විසඳන්න දැන් කරන්න ඕන දේ ගැන කල්පනා කරන්න.
මගේ විශ්වාසය ආයෙත් දිනාගන්න දරුවාට උදව් කරන්නේ කොහොමද?
කලබල වෙන්න එපා. දරුවා අතින් වරදක් වුණාම එයා දන්නවා ඔයාට කේන්ති යනවා කියලා. ඒ නිසා කලබල වෙන්න එපා. එයාත් එක්ක සන්සුන්ව කතා කරන්න. වරද කරන්න හේතු වුණේ මොකක් නිසාද කියලා එයාගෙන් අහන්න. එයාට කුතුහලයක් ඇති වුණාද? ඒක කළේ කම්මැළිකමෙන් හිටපු වෙලාවකද? තනිකමක් දැනුණාද? එහෙම කරලා හරි යාළුවෝ හදාගන්න ආසාවක් ආවාද? ඒ එක හේතුවක්වත් දරුවා කරපු වරද සැහැල්ලු කරන නිදහසට කරුණු නෙමෙයි. හැබැයි ඒ වරද කරන්න එයා පෙලඹුණේ ඇයි කියලා තේරුම්ගන්න ඔයාටයි, ඔයාගේ දරුවාටයි ඒ දේවල් ගැන හිතන එක උදව් වෙයි.
බයිබල් ප්රතිපත්තිය: “සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්රමාද විය යුතුයි. කෝප වීමටද ප්රමාද විය යුතුයි.”—යාකොබ් 1:19.
වරද වුණේ ඇයි කියලා හොඳට හිතලා බලන්න නව යොවුන් වියේ ඉන්න දරුවාට උදව් කරන්න. මේ වගේ ප්රශ්න එයාගෙන් අහන්න. ‘වෙච්ච දෙයින් ඔයා මොනවාද ඉගෙනගත්තේ? ආයෙත් ඒ වගේ දේකට මුහුණ දුන්නොත් ඔයා මොනවාද කරන්නේ?’ තර්කානුකූලව හිතලා හොඳ තීරණ ගන්න දරුවාට උදව් කරන්න ඒ වගේ ප්රශ්න අහන එක ඔයාට උදව් වෙයි.
බයිබල් ප්රතිපත්තිය: “බොහෝ ඉවසිලිවන්තකමින් හා දක්ෂ ලෙස ඉගැන්වීමෙන් අවවාද, ඍජු උපදෙස් සහ දිරිගැන්වීම් ලබා දෙන්න.”—2 තිමෝති 4:2.
දඬුවමක් නියම කරන්න. නියම කරන්නේ දරුවා කරපු වරදට අදාළ දඬුවමක් නම් ඒක වඩාත් සාර්ථකයි. උදාහරණයකට දරුවා යාළුවෝ එක්ක ඉස්කෝලෙන් කට්ටි පැනලා සෙල්ලම් කරන්න ගිහින් කියලා දැනගත්තොත් යම් සාධාරණ කාලයක් යන තුරු යාළුවන්ව ආශ්රය කරන එකට තහංචි දාන්න ඔයාට පුළුවන්.
බයිබල් ප්රතිපත්තිය: “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.”—ගලාති 6:7.
ඔයාගේ විශ්වාසය ආයෙත් දිනාගන්න පුළුවන් විදිහ දරුවාට කියලා දෙන්න. එක දවසෙන් ඒක වෙන එකක් නැහැ. ඒකට කාලයක් ගත වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ විශ්වාසය නැවත දිනාගන්න එයාට පුළුවන් කියන බලාපොරොත්තුව දරුවාට දෙන්න ඕනේ. ඔයා ඒක දරුවාට තේරුම් කරලා දෙන්න. එහෙම කළේ නැත්නම් එයා විශ්වාසය ආයෙත් දිනාගන්න දරන උත්සාහය අත්හැරලා දාන්න ඉඩ තියෙනවා.
බයිබල් ප්රතිපත්තිය: “ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති නොකරන්න. මන්ද එසේ කිරීමෙන් ඔවුන් තුළ කලකිරීමක් ඇති වේ.”—කොලොස්සි 3:21.
a එම පොත You and Your Adolescent.