Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | විවාහය

පවුල් අවුල් කරන මත්පැන්

පවුල් අවුල් කරන මත්පැන්

 ඔයා බොන එක ගැන සැමියා හරි බිරිඳ හරි වධ වෙනවා කියලා එයා ඔයාට කියලා තියෙනවාද? එහෙමනම් ඔයා හිතන්න ඕන පැති කීපයක් තියෙනවා.

මේ ලිපියෙන්

 බීමත්කමයි, විවාහයයි නොගැළපෙන බැඳීමක්

 ඕනෑවට වඩා බොන එකෙන් හෘදයාබාධ, සිරෝසිස්, පිළිකා වගේ ගොඩක් සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි බොන එකෙන් සෞඛ්‍ය ප්‍රශ්න විතරක් නෙවෙයි ගෘහස්ථ හිංසන, ආර්ථික ප්‍රශ්න, ද්‍රෝහිවීම්, දික්කසාද වගේ විවාහයට බලපාන දේවලුත් වෙන්න පුළුවන්.

 සීමාවක් නැතුව කෙනෙක් මත්පැන් ගද්දී “අන්තිමේදී ඒක සර්පයෙක් වගේ දෂ්ට කරයි. පොළඟෙක් වගේ විෂ පිට කරයි” කියලා බයිබලේ කියනවා. (හිතෝපදේශ 23:32) ඔයා මත්පැන්වලට ඇබ්බැහි වෙලාද කියලා කොහොමද දැනගන්නේ?

 ඔයාට මත්පැන් නැතුවම බැරිද?

 ඇබ්බැහි වෙලාද කියලා දැනගන්න මේ රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවාද බලන්න.

  •   බොන ප්‍රමාණය පාලනය කරගන්න ඔයාට අමාරුයිද?

  •   ඔයා හැම තිස්සේම හිතන්නේ ඊළඟට බොන්නේ කොයි වෙලේද කියලද?

  •   කොච්චර ප්‍රශ්න ඇති වුණත් විවාහ ජීවිතේ අවුල් වුණත් බොන එක ඔයා නවත්තන්නේ නැද්ද?

  •   බොන එක නතර කරන්න හදද්දී මුළු ඇඟම පණ නැති වෙලා වෙවුලනවා වගේ ඔයාට දැනෙනවාද?

  •   ඔයාගේ බීම නිසා බිරිඳ එක්ක, සැමියා එක්ක හැමදාම වගේ රණ්ඩුද?

  •   කලින්ට වඩා දැන් ඔයාට බොන්න පුළුවන්ද?

  •   ඔයා වැඩපොළේදී, ගෙදරදී මත්පැන් හංගන් බොනවාද?

 ඒ ප්‍රශ්නවලින් එකකට හරි උත්තරේ ඔව් නම් ඒ කියන්නේ ඔයා බීමට ඇබ්බැහි වෙලා.

 ප්‍රශ්නයක් නැහැ කියලා හිතන එක අනතුරක්

 ඔයා බොන එක ගැන බිරිඳ හරි සැමියා හරි වධ වෙනවා කියලා එයා ඔයාට කියලා තියෙනවාද? එහෙමනම් ඔයා නිදහසට කරුණු කියලා ඇති. එහෙම දෙයක් නැහැ කියලා පෙන්නන්න හදලත් ඇති. මේ වගේ දේවල් කියලා බිරිඳට, සැමියාට නැත්නම් වෙන කාට හරි වරද පටවන්න හදලත් ඇති.

  •   “ඔයා මට මීට වඩා හොඳට සැලකුවා නම් මං බොන්නේ නෑනේ.”

  •   “අපේ බොස් එක්ක ඔයාත් වැඩ කරා නම් ඔයාත් බොයි.”

  •   “මට වඩා බොන අය තව කොච්චර ඉන්නවාද!”

 ඔයාත් ඒ වගේ දේවල් කියනවා නම් විවාහයේ සතුට රැකගන්න එකට වඩා බොන්න තියෙන ආසාව ඔයාට ලොකු වෙලා කියලා හිතෙන්නේ නැද්ද? වැඩියෙන් වැදගත් වෙන්න ඕන බෝතලේද විවාහයද?

 බයිබල් ප්‍රතිපත්තිය: ‘විවාහ වෙලා ඉන්න පුරුෂයෙක්ගේ මනසේ දුවන්නේ බිරිඳව සතුටු කරන්නේ කොහොමද කියන එක.’—1 කොරින්ති 7:33.

සහකරු කියන දේ පිළිගන්නේ නැති වෙද්දී ඔයා ඔයාලා දෙන්නා අතරේ ලොකු තාප්පයක් බඳිනවා. ඒත් සහකරුට ඇහුම්කන් දෙද්දී ඔයා කරන්නේ ඒ තාප්පේ මැදින් කවුළුවක් හදන එක

 ඔයාට කරන්න පුළුවන් දේ

  •   ඔයාගේ බිරිඳ හරි සැමියා හරි කියන දේ ගණන් නොගෙන ඉන්න එපා. එයා මේ ගැන ඕනෑවට වඩා වධ වෙනවා කියලා හිතුණත් වෙනස්කම් කරගන්න එක හොඳ නැද්ද? ඔයාට වෙනස්කම් කරගන්න බැරි නම්? ඔයාගේ බිරිඳ, සැමියා ඒ ගැන වධ වෙනවා කියලා දැනදැනත් ඔයා දිගටම බොනවා නම්? එහෙමනම් ඔයාට බොන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා කියන්න ඒකම ලකුණක්.

     බයිබල් ප්‍රතිපත්තිය: “ඔයාලා දිගටම කරන්න ඕනෙ ඔයාලට යහපතක් වෙන දේවල්ම නෙමෙයි, අනිත් අයට යහපතක් වෙන දේවල්.”—1 කොරින්ති 10:24.

  •   දැනුවත් වෙන්න. යුද්ධයක් දිනන්න නම් හතුරා පහර දෙන විදි ගැන සෙබළෙක් හොඳට දැනුවත් වෙලා ඉන්න ඕනේ. මත්පැන් කියන ඔයාගේ හතුරාව පරද්දන්න නම් ඔයාත් කරන්න ඕන ඒකමයි. මත්පැන්වලට ඇබ්බැහි වෙන එක ගැන, ඒක මොන තරම් භයානක උගුලක්ද කියන එක ගැන ඔයා දැනගන්න ඕනේ. ඒ පුරුද්ද කඩාගන්න විදිහ ගැනත් ඒකට ආයෙත් වැටෙන්න නැතුව ඉන්න කරන්න පුළුවන් දේවල් ගැනත් හොයලා බලන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: “ඔයාලත් එක්ක නිතරම සටන් කරන, ඔයාලාගේ වැරදි ආශාවන්වලට කිසිම ඉඩක් දෙන්න එපා.”—1 පේතෘස් 2:11.

  •   උදව් ගන්න. පුනරුත්ථාපන වැඩසටහන්වලින්, ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් සහ රෝහල්වලින් මත්පැන්වලට ඇබ්බැහි වෙලා ඉන්න අයට ඒකෙන් ගොඩ එන්න උදව් ලබා දෙනවා. අවබෝධයෙන් වැඩ කරන ඔයාගේ යාළුවෙක්ටත් පුළුවන් මත්පැන්වලට ඔයා ඇබ්බැහි වෙන්න තව මොනවා හරි හේතු තියෙනවාද කියලා තේරුම්ගන්න ඔයාට උදව් කරන්න. එහෙම කෙනෙක් එක්ක කතා කරන්න. ආයෙත් බොන්න හිතෙන වෙලාවලදීත් එයාට කතා කරලා උදව් ගන්න.

    වෛද්‍ය උපදෙස් ගන්න

     බයිබල් ප්‍රතිපත්තිය: “අවංක යාළුවෙක් හැම වෙලාවෙම ආදරේ පෙන්වනවා. එයා කරදරයකදී උදව් කරන්න ඉපදුණ සහෝදරයෙක්.”—හිතෝපදේශ 17:17.

 මත්පැන්වලට ඇබ්බැහි වුණ කෙනෙක්ට ඒකෙන් ගොඩ එන එක හිතන තරම් ලේසි නැහැ. නිකම්ම ඒ ගැන තියෙන කෙටි ලිපියක් කියෙව්වා කියලවත් “මං බොන එක අඩු කරනවා” කියලා කිව්වා කියලවත් ඒක කරන්න බැහැ. ඒ කොහොමවුණත් ඔයා තේරුම්ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ, මත්පැන් නිසා ඔයාගේ සෞඛ්‍යයට විතරක් නෙවෙයි ඔයාගේ විවාහයටත් හානියක් වෙන්න පුළුවන් කියන දේ.

 තවත් තොරතුරු දැනගන්න: මත්පැන්වලට ඇබ්බැහි වුණ එකෙන් ගොඩ එන්න සමහරුන්ට උදව් වුණේ මොනවාද? ඒ ගැන දැනගන්න මේ ලිපි කියවන්න.

 “මං දැන් නපුරු නැහැ”

 “මගේ ජීවිතේට දැන් වටිනාකමක් තියෙනවා”

 “මට ජීවත් වෙන්න වුණේ පාරේ”

 ‘මටම එපා වුණා මං ගත කරපු ජීවිතේ’ කියන වීඩියෝ එකත් බලන්න