Skip to content

නෝවාගේ කාලේ විශාල ජලගැල්මක් ඇත්තටම සිද්ධ වුණාද?

නෝවාගේ කාලේ විශාල ජලගැල්මක් ඇත්තටම සිද්ධ වුණාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඔව්, ඒක ඇත්තටම සිද්ධ වුණා. ඒ කාලයේ හිටපු දුෂ්ට මිනිසුන්ව විනාශ කරන්න දෙවියන් ඒ ජලගැල්ම ගෙනාවා. ඒත් හොඳ මිනිසුන්වත් සතුන්වත් බේරගන්න දෙවියන් නෝවාට නැවක් හදන්න කිව්වා. (උත්පත්ති 6:11-20) ‘දෙවිගේ මඟ පෙන්වීමෙන්’ ලියවුණ බයිබලයේ ඒ ජලගැල්ම ගැන කියන නිසා ඒක ඇත්තටම සිද්ධ වුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.—2 තිමෝති 3:16

 ඇත්ත සිද්ධියක්ද? ගොතපු කතාවක්ද?

 නෝවා කියලා කෙනෙක් ඇත්තටම හිටියා කියලත් ඒ කාලේ ජලගැල්මක් ඇත්තටම වෙලා තියෙනවා කියලත් බයිබලයේ තියෙන තොරතුරුවලින් අපිට දැනගන්න පුළුවන්.

  •   නෝවා කියලා කෙනෙක් ඇත්තටම ජීවත් වුණා කියලා බයිබල් ලේඛකයන් විශ්වාස කළා. උදාහරණයකට තොරතුරු නිවැරදිව වාර්තා කරපු ඉතිහාසඥයන් දෙන්නෙක් වුණ එස්රා සහ ලූක් ඊශ්‍රායෙල් ජාතියේ පෙළපත් වාර්තාවලට නෝවාගේ නම ඇතුළත් කරලා තියෙනවා. (1 ලේකම් 1:4; ලූක් 3:36) බයිබලයේ සුවිශේෂ පොත් ලියපු මතෙව් සහ ලූක්, නෝවාගේ ජලගැල්ම ගැන යේසුස් කියපු දේ වාර්තා කරලා තියෙනවා.—මතෙව් 24:37-39; ලූක් 17:26, 27.

     ඒ වගේම අනාගතවක්තෘ එසකියෙල් සහ නියෝජිත පාවුල්, නෝවාව හඳුන්වන්නේ විශ්වාසය සහ ධර්මිෂ්ඨකම සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් තියපු කෙනෙක් විදිහට. (එසකියෙල් 14:14, 20; හෙබ්‍රෙව් 11:7) නෝවා සැබෑ පුද්ගලයෙක් නෙමෙයි නම් අපිට අනුකරණය කරන්න පුළුවන් ආදර්ශයක් විදිහට ඒ ලේඛකයන් එයාව සඳහන් කරයිද? නෝවා සහ වෙනත් විශ්වාසවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් ඇත්තටම ජීවත් වුණ නිසයි එයාලා අපිට අනුකරණය කරන්න වටින ආදර්ශ වෙන්නේ.—හෙබ්‍රෙව් 12:1; යාකොබ් 5:17.

  •   ජලගැල්ම ගැන නිශ්චිත විස්තර බයිබලයේ තියෙනවා. සුරංගනා කතාවල නිශ්චිත තොරතුරු නැහැ. ඒ නිසා ඒවා ආරම්භ වෙන්නේ “ඈත අතීතයේ, එකමත් එක රටක” කියලයි. හැබැයි ජලගැල්ම ගැන බයිබලයේ තියෙන වාර්තාව ඊට වඩා වෙනස්. ඒකට සම්බන්ධ දේවල් සිද්ධ වුණ අවුරුද්ද, මාසය සහ දවස බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 7:11; 8:4, 13,14) නෝවා හදපු නැවේ ප්‍රමාණයත් පැහැදිලිව බයිබලයේ සඳහන් කරලා තියෙනවා. (උත්පත්ති 6:15) ජලගැල්ම ගොතපු කතාවක් නෙමෙයි ඇත්ත සිද්ධියක් කියලා ඒ විස්තරවලින් පැහැදිලි වෙනවා.

 දෙවියන් ජලගැල්ම ගෙනාවේ ඇයි?

 ජලගැල්මට කලින් “මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබුණා” කියලා බයිබලයේ කියනවා. (උත්පත්ති 6:5) ඒ කාලයේ අනාචාරයෙන් සහ සැහැසික ක්‍රියාවලින් පොළොව පිරිලා තිබුණා. ඒ නිසා “දෙවි පොළොව දෙස බැලූ විට එය නාස්ති වී තිබුණු බව ඔහුට පෙනුණේය” කියලත් බයිබලයේ සඳහන් වෙනවා.—උත්පත්ති 6:11; යූද් 6, 7.

 ඒ තත්වයට ප්‍රධාන හේතුව වුණේ, ස්වර්ගය අත්හැරලා ආපු දුෂ්ට දේවදූතයන් කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ අය පොළොවට ඇවිල්ලා ස්ත්‍රීන් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්වුවා. එයාලගේ දරුවන්ව නෙෆිලිම්වරු කියලා හැඳින්නුවා. එයාලා ඒ කාලේ හිටපු මිනිසුන්ට ගොඩක් හිංසා පීඩා කළා. (උත්පත්ති 6:1, 2, 4) ඒ නිසා පොළොවෙන් දුෂ්ටකම ඉවත් කරලා හොඳ මිනිසුන්ට අලුත් ආරම්භයක් දෙන්න දෙවියන් තීරණය කළා.—උත්පත්ති 6:6, 7, 17.

 ජලගැල්ම එන්න කලින් මිනිස්සු ඒ ගැන දැනගෙන හිටියාද?

 ඔව්. ඒ ගැන දෙවියන් නෝවාට දැනුම් දුන්නා. නෝවාගේ පවුලේ අයවයි, සතුන්වයි බේරාගන්න නැවක් හදන්න කියලත් දෙවියන් එයාට කිව්වා. (උත්පත්ති 6:13, 14; 7:1-4) ඒ කාලේ හිටපු අයට නෝවා ඒ විනාශය ගැන අනතුරු ඇඟෙව්වත් කවුරුත් එයාව ගණන් ගත්තේ නැහැ. (2 පේතෘස් 2:5) “ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ” කියලා බයිබලයේ සඳහන් වෙනවා.—මතෙව් 24:37-39.

 නෝවා හදපු නැව කොයි වගේද?

 නැවට තිබුණේ සෘජුකෝණාස්‍රාකාර හැඩයක්. ඒක මීටර් 133ක් විතර දිගයි. මීටර් 22ක් විතර පළලයි. මීටර් 13ක් විතර උසයි. a ඒක හොඳ ලී වර්ගයකින් හදලා, ඇතුල් පැත්තටත් පිට පැත්තටත් තාර ගාලා තිබුණා. ඒකට තට්ටු තුනක් තිබුණා. ඒවා කාමරවලටත් වෙන් කරලා තිබුණා. නැවේ එක පැත්තක දොරක් තිබුණා. වහලය යට නැව වටේට කවුළුවක් තිබුණා. වැහි වතුර දෙපැත්තෙන් බේරිලා යන්න පුළුවන් විදිහට වහලයේ මැද ටිකක් ඉස්සිලා තිබුණා කියලත් හිතන්න පුළුවන්.—උත්පත්ති 6:14-16.

 නැව හදන්න කොච්චර කාලයක් ගත වුණාද?

 නැව හදන්න කොච්චර කාලයක් ගත වුණාද කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි නෝවාට ඒක හදන්න දශක කිහිපයක් ගත වුණා කියලා අපිට හිතන්න පුළුවන්. නෝවාගේ කුලුඳුල් පුතා ඉපදෙනකොට නෝවාගේ වයස අවුරුදු 500කට වඩා වැඩියි. ජලගැල්ම ඇති වෙද්දී නෝවාට අවුරුදු 600යි. bඋත්පත්ති 5:32; 7:6.

 නැව හදන්න කියලා දෙවියන් නෝවාට කියද්දී එයාගේ පුතාලා තුන්දෙනාම විවාහ වෙලයි හිටියේ. ඒ කියන්නේ ඒ වෙනකොට පුතාලා ඉපදිලා අවුරුදු 50ක් හරි 60ක් හරි ගත වෙලා තියෙන්න ඇති. (උත්පත්ති 6:14, 18) එහෙම බලද්දී නැව හදන්න අවුරුදු 40ක් හරි 50ක් හරි ගත වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්.

a නැවේ දිග, පළල සහ උස බයිබලයේ සඳහන් වෙලා තියෙන්නේ රියන්වලින්. “හෙබ්‍රෙව්වරුන්ගේ සම්මත රියනක් අඟල් 17.5යි (සෙන්ටිමීටර් 44.45යි).”—The Illustrated Bible Dictionary, Revised Edition, Part 3, page 1635.

b නෝවා වගේ අයගේ ආයු කාලය ගැන වැඩි විස්තර දැනගන්න 2010 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ, “අතීතයේ සිටි අය දිගු කලක් ජීවත් වුණාද?” කියන ලිපිය බලන්න.