මගේ හිත වධ දෙනවා නම් බයිබලෙන් සහනයක් ලබාගන්න පුළුවන්ද?
බයිබලයේ ඒ ගැන කියන දේ
ඔව්. අපි කරපු වරදක් ගැන අපේ හිත වධ දෙනවා නම් අනවශ්‍ය විදිහට ඒ ගැන දුක් නොවී ඉන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් අපිට උදව් වෙනවා. (ගීතාවලිය 32:1-5) අපේ අතින් වරදක් වුණත් අපි ඒ ගැන අවංකවම පසුතැවිලි වෙනවා නම් දෙවියන් අපිට සමාව දීලා ඒකෙන් ගොඩ එන්න උදව් කරනවා. (ගීතාවලිය 86:5) කරපු වරදක් ගැන හිත වධ දෙන එකේ හොඳ පැත්තකුත් තියෙනවා කියලා බයිබලේ කියනවා. මොකද එතකොට වරද හදාගෙන ආපහු ඒක නොකර ඉන්න අපිට පුළුවන් හැම දේම කරන්න අපි පෙලඹෙනවා. (ගීතාවලිය 51:17; හිතෝපදේශ 14:9) හැබැයි අපි කරපු වරදක් ගැන ඕනෑවට වඩා දුක් වෙන්න එපා කියලත් බයිබලේ කියනවා. මොකද අපි එහෙම කළොත් දෙවියන්ට අපිව වටින්නේ නැහැ කියලා හිතලා අපි ‘සම්පූර්ණයෙන්ම කලකිරෙන්න’ ඉඩ තියෙනවා.—2 කොරින්ති 2:7.
කෙනෙක්ගේ හිත වධ දෙන්න පුළුවන් මොන වගේ හේතු නිසාද?
හුඟක් හේතු නිසා එහෙම වෙන්න පුළුවන්. අපේ අතින් අපි ආදරේ කරන කෙනෙක්ගේ හිත රිදුණා නම් එහෙම නැත්නම් වැරදි දෙයක් අපේ අතින් වුණා නම් අපිට එහෙම දැනෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට කිසිම සාධාරණ හේතුවක් නැතුවත් අපේ හිත වධ දෙනවා. උදාහරණෙකට අපි අපේ සීමාවන් තේරුම්ගන්නේ නැතුව අපෙන්ම ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙලා ඒ දේවල් කරගන්න බැරි වෙද්දී අපේ හිත අපිට දොස් කියන්න ඉඩ තියෙනවා. ඒකයි බයිබලේ කියන්නේ අපිට අපි ගැනම සාධාරණ වෙන්න කියලා.—දේශනාකාරයා 7:16.
හිත වධ දෙන එකෙන් ගොඩ එන්න පුළුවන් කොහොමද?
ඒ හැඟීම්වලින් යටපත් වෙන්නේ නැතුව ඒකෙන් ගොඩ එන්න ඔයාගේ උපරිමය කරන්න. ඒක ඔයාට කරන්න පුළුවන් කොහොමද?
ඔයාගේ වැරදි පිළිගන්න. යෙහෝවා a දෙවියන්ට යාච්ඤා කරලා ඔයාගේ අතින් වුණ වැරදිවලට සමාව ඉල්ලන්න. (ගීතාවලිය 38:18; ලූක් 11:4) ඔයා වැරදි ගැන අවංකවම පසුතැවිලි වෙලා ආපහු ඒවා නොකර ඉන්න ඔයාගේ උපරිමය කරනවා නම් දෙවියන් අනිවාර්යයෙන්ම ඒ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා. (2 ලේකම් 33:13; ගීතාවලිය 34:18) අනිත් අයට ඔයාගේ හිත පේන්නේ නැති වුණාට දෙවියන් ඒක දකිනවා. ඉතින් වැරැද්ද හදාගන්න ඔයා කොච්චර උත්සාහ කරනවාද කියලා දෙවියන් හොඳින්ම තේරුම්ගන්නවා. එතකොට “දෙවි අපගේ පව්වලට සමාව දී සෑම අධර්මිෂ්ඨකමකින්ම අපව පවිත්‍ර කරයි. මන්ද ඔහු විශ්වාසවන්ත මෙන්ම ධර්මිෂ්ඨ කෙනෙකි.”—1 යොහන් 1:9; හිතෝපදේශ 28:13.
ඔයා කරපු වරද නිසා තව කෙනෙක්ගේ හිත රිදිලා නම් ඔයා අවංකවම එයාගෙන් සමාව ඉල්ලන්න ඕනේ. සමහරවිට ඒක ලේසි වෙන එකක් නැහැ. ඒකට ඔයාට ධෛර්යයත් නිහතමානිකමත් ඕනේ. හැබැයි එහෙම කරන එක හුඟක් වැදගත්. මොකද එතකොට ඔයාගේ හිතේ තියෙන ලොකු බරක් නිදහස් වෙයි. ඒ වගේම ඔයාලට ආපහු හොඳ යාළුවෝ වෙන්නත් පුළුවන් වෙයි.—මතෙව් 3:8; 5:23, 24.
දෙවියන් සමාව දෙන්න කොච්චර කැමැත්තෙන් ඉන්නවාද කියලා පෙන්නන බයිබල් පද ගැන හොඳට හිතන්න. උදාහරණෙකට 1 යොහන් 3:19, 20 ගැන හිතන්න. එතන කියනවා සමහර වෙලාවට ‘අපගේ සිත් අපිට දොස් නඟනවා’ කියලා. ඒ කියන්නේ අපි දෙවියන්ගේ ආදරේ ලබන්න තරම් වටින්නේ නැහැ කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි එතන ඊළඟට කියන්නේ ‘අපිට වඩා හොඳින් දෙවියන් අපගේ සිත් ගැන දන්නවා’ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ අපිට තියෙන දුර්වලකම්, අපිට දැනෙන විදිහ වගේ අපි ගැන හැම දෙයක්ම දෙවියන් දන්නවා කියන එකයි. ඒ වගේම අපිට උරුම වෙලා තියෙන පව්කාර ස්වභාවය නිසා වැරදි කරන්න අපි තුළ ලොකු පෙලඹීමක් තියෙනවා කියලත් දෙවියන් තේරුම්ගන්නවා. b (ගීතාවලිය 51:5) ඒ නිසා අපේ වැරදි ගැන අපි අවංකවම පසුතැවිලි වෙනවා නම් දෙවියන් අනිවාර්යයෙන්ම අපිට සමාව දෙනවා.—ගීතාවලිය 32:5.
කලින් කරපු වැරදි ගැන හිතහිත දුක් වෙන්න එපා. කලින් හුඟක් වැරදි දේවල් කළත් පස්සේ ඒවා හදාගෙන ජීවිතය වෙනස් කරගත්ත හුඟදෙනෙක් ගැන බයිබලේ සඳහන් වෙනවා. සාවුල් කියලා හඳුන්වන පාවුල් ඒ වගේ කෙනෙක්. පරිසිවරයෙක් වෙලා හිටපු කාලේ එයා යේසුස්ගේ අනුගාමිකයන්ට හුඟක් පීඩා කළා. (ක්‍රියා 8:3; 9:1, 2, 11) හැබැයි එයා ඇත්තටම කරන්නේ දෙවියන්ටයි ක්‍රිස්තුස්ටයි විරුද්ධව වැඩ කරන එකයි කියලා තේරුම්ගත්තාම පාවුල් පසුතැවිලි වෙලා එයාගේ ජීවිතය වෙනස් කරගෙන යේසුස්ගේ ගෝලයෙක් වුණා. කලින් කරපු වැරදි ගැන එයා හුඟක් දුක් වෙන්න ඇති. හැබැයි එයා ඒ ගැනම හිතහිත හිටියේ නැහැ. දෙවියන් එයාට සමාව දුන්නා කියලා තේරුම්ගත්තාට පස්සේ පාවුල් උද්යෝගයෙන් දේශනා කළා. එයා කවදාවත් සදාකාල ජීවිතේ ගැන එයාට තිබුණ බලාපොරොත්තුව නැති කරගත්තේ නැහැ.—ෆිලිප්පි 3:13, 14.
හිත වධ දෙන එක සහ දෙවියන්ගෙන් ලැබෙන සමාව ගැන සඳහන් බයිබල් පද
ගීතාවලිය 51:17: ‘දෙවියනි, තැළුණාවූ බිඳුණාවූ හදවතක් ඔබ හෙළා නොදකින්නෙහිය.’
තේරුම: කරපු වැරදි ගැන ඔයා අවංකවම පසුතැවිලි වෙනවා නම් දෙවියන් කවදාවත් ඔයාව අත්හරින්නේ නැහැ.
හිතෝපදේශ 28:13: “තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත. නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.”
තේරුම: අපේ වැරදිවලට දෙවියන්ගෙන් සමාව ඉල්ලලා ඒ වැරදි හදාගත්තොත් දෙවියන් අපිට සමාව දෙනවා.
යෙරෙමියා 31:34: “මම ඔවුන් කළ වරදට සමාව දෙන්නෙමි. ඔවුන් කළ පව් නැවත කිසිදාක සිහි නොකරන්නෙමි.”
තේරුම: අපි කරපු වරදකට සමාව දුන්නාට පස්සේ දෙවියන් කවදාවත් ආපහු ඒක මතක් කරන්නේ නැහැ. මොකද ඔහු අපිට සම්පූර්ණයෙන්ම සමාව දෙනවා.
a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—නික්මයාම 6:3.
b වැරදි කරන්න පෙලඹීමක් අපිට තියෙන්නේ මුල්ම මිනිසා වුණ ආදම්ගෙන් අපිට පව්කාර ස්වභාවය උරුම වෙලා තියෙන නිසයි. ආදම් සහ ඒව දෙවියන්ට විරුද්ධව කැරලිගහපු වෙලාවේ එයාලට හිමි වෙලා තිබුණ පරිපූර්ණ ජීවිතය නැති කරගත්තා. එයාලට විතරක් නෙවෙයි එයාලගෙන් පැවතෙන අපිටත් ඒක නැති වුණා.—උත්පත්ති 3:17-19; රෝම 5:12.