බයිබල් පද පැහැදිලි කිරීමක්
මීකා 6:8 - “නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරෙන්න”
“මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ. සාධාරණව ක්‍රියා කරන්න. ප්‍රේමයෙන් කටයුතු කරන්න. ඔබේ දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න. යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.”—මීකා 6:8, ‘නව ලොව පරිවර්තනය.’
“එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?”—මීකා 6:8, ‘පැරණි අනුවාදය.’
මීකා 6:8 අදහස
මීකා පැහැදිලි කරනවා යෙහෝවා a දෙවියන්ව සතුටු කරන එක හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි කියලා. (1 යොහන් 5:3) දෙවියන්ව සතුටු කරන්න නම් අපි කරන්න ඕනෙ දේවල් තුනක් ගැන ඒ බයිබල් පදයේ විස්තර කරලා තියෙනවා. පළවෙනි කරුණු දෙකෙන් අනිත් අයට සලකන්න ඕනෙ කොයි විදිහටද කියලා පැහැදිලි කරනවා. ඒ වගේම තුන්වෙනි කරුණ දෙවියන් එක්ක අපිට තියෙන බැඳීමට සම්බන්ධයි. අපි දැන් ඒ කාරණා තුන බලමු.
“සාධාරණව ක්‍රියා කරන්න.” දෙවියන්ට නමස්කාර කරන අය හැම වෙලේම සාධාරණ විදිහට වැඩ කරයි කියලා දෙවියන් එයාලගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දෙවියන්ගේ සේවකයන් හිතන විදිහෙන්, වැඩ කරන විදිහෙන් පෙන්නනවා හරි වැරැද්ද ගැන දෙවියන් දීලා තියෙන ප්‍රමිතිවලට එයාලගේ හිතේ ලොකු අගයක් තියෙනවා කියලා. (ද්විතීය කතාව 32:4) උදාහරණෙකට දෙවියන්ට නමස්කාර කරන අය කිසිම වංචාවක් කරන්නේ නැහැ. එයාලා අවංකයි. ඒ වගේම එයාලා අනිත් අයගේ පසුබිම, ජාතිය, සමාජ තත්වය බලලා එක් එක් කෙනාට වෙනස් විදිහට සලකන්නෙත් නැහැ.—ලෙවී කතාව 19:15; යෙසායා 1:17; හෙබ්‍රෙව් 13:18.
“ප්‍රේමයෙන් කටයුතු කරන්න.” ප්‍රේමයෙන් කටයුතු කරන්න කියන එකට කෙනෙක් ගැන “ළැදි ප්‍රේමයක්” ඒ කියන්නේ විශේෂ ආදරයක් ඇති කරගන්න හිතේ ලොකු ආසාවක් තියෙන්න ඕනෙ කියන අදහසත් ඇතුළත්. (මීකා 6:8, පාදසටහන) මුල් හෙබ්‍රෙව් භාෂාවට අනුව ළැදි කෙනෙක් කියන්නේ විශ්වාසවන්ත කෙනෙක්ට විතරක්ම නෙවෙයි, අනිත් අය බලාපොරොත්තු වෙනවාටත් වඩා වැඩියෙන් එයාලට කරුණාව, දයාව වගේ ගුණාංග පෙන්නන කෙනෙක්ට. මොකක්ද ඒකෙන් අපි ඉගෙනගන්නේ? දෙවියන් ඇත්තටම අපෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත් අයට නිකම්ම කරුණාව, දයාව පෙන්නන එක විතරක් නෙවෙයි. ඒ වෙනුවට ඒ ගුණාංග පෙන්නන්න අපේ හිතේ ලොකු ආසාවක් තියෙන්නත් ඕනේ. එතකොට අවශ්‍යතා තියෙන අයට උදව් කරලා අපි ලොකු සතුටක් ලබනවා. මොකද දීමෙන් තමයි නියම සතුට ලැබෙන්නේ.—ක්‍රියා 20:35.
“ඔබේ දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න.” මුල් භාෂාවට අනුව “හැසිරෙනවා” කියද්දී ඒකට “ගමන් කරනවා” කියන අදහසත් ඇතුළත්. “ගමන් කරනවා” කියන යෙදුම “යම් ජීවිත රටාවක් අනුගමනය කරනවා” කියන අදහස දෙන්නත් බයිබලේ පාවිච්චි කරලා තියෙනවා. එහෙම බලද්දී කෙනෙක් දෙවියන් එක්ක ගමන් කරනවා කියන්නේ එයා දෙවියන් කැමති විදිහට ජීවත් වෙනවා කියන එකටයි. ඒක තව ටිකක් හොඳට තේරුම්ගන්න අපි නෝවා ගැන බලමු. බයිබලේ කියනවා ‘නෝවා දෙවියන් එක්ක ගමන් කළා’ කියලා. ඒකට හේතුව එයා හැම වෙලේම දෙවියන් ඉස්සරහා හරි දේ කළා. ඒකයි “එයාගේ කාලයේ ජීවත් වූ මනුෂ්‍යයන්ට වඩා නිදොස්ව කටයුතු කරන්න” නෝවාට පුළුවන් වුණේ. (උත්පත්ති 6:9) අද අපිත් බයිබලේ තියෙන ප්‍රමිතිවලට අනුව අපේ ජීවිතේ ගත කරනවා නම් අපිටත් පුළුවන් දෙවියන් එක්ක ගමන් කරන්න. හැබැයි එහෙම කරන්න නම් අපිට නිහතමානිකම තියෙන්න ඕනේ. මොකද නිහතමානී කෙනෙක් තමයි තමන්ට තියෙන සීමා මොනවාද කියලා තේරුම් අරගෙන ජීවිතේ හැම කාරණයකදීම දෙවියන් මත රඳා ඉන්නේ.—යොහන් 17:3; ක්‍රියා 17:28; එළිදරව් 4:11.
මීකා 6:8 අවට පද
මීකා කියන්නේ අතීතයේ ඊශ්‍රායෙලයේ හිටපු අනාගතවක්තෘවරයෙක්. එයා ජීවත් වුණේ ක්‍රි.පූ. 8වෙනි සියවසේ. ඒ කාලේ ඊශ්‍රායෙල් දේශය බොරු නමස්කාරයෙන්, වංචාවෙන් පිරිලා තිබුණා. ඒ වගේම ඊශ්‍රායෙල් නායකයන් අසරණ මිනිස්සුන්ව පාගලා දැම්මා. (මීකා 1:7; 3:1-3, 9-11; 6:10-12) ඒ කාලේ හිටපු අය දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය ගාණකටවත් ගත්තේ නැහැ. එයාලා කළේ දෙවියන් බලාපොරොත්තු වෙන දේවල් නෙවෙයි, එයාලට ඕනෙ දේවල්. මොකද එයාලා හිතුවේ දෙවියන් කියලා තියෙන උත්සව පවත්වන එකෙන්, ඔහුට පූජා ඔප්පු කරන එකෙන් දෙවියන්ගේ අනුමැතිය ලැබෙයි කියලා.—හිතෝපදේශ 21:3; හොෂෙයා 6:6; මීකා 6:6, 7.
මීකා කියපු දේ ඊට සියවස් ගාණකට පස්සේ යේසුත් කාවැද්දුවා. ඔහු කිව්වා මිනිස්සුන්ට පේන්න බොරුවට දේවල් කරන අයට දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. ඒ වෙනුවට දෙවියන් කැමති හැම වෙලේම ආදරෙන්, කාරුණිකව, සාධාරණව වැඩ කරන අයටයි. (මතෙව් 9:13; 22:37-39; 23:23) දෙවියන් අද අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා තේරුම්ගන්න යේසුස් කියපු දේවල් අපිටත් උදව් වෙනවා.
මීකා පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.
a දෙවියන්ගේ නම ලියන්න යොදාගත්ත හෙබ්‍රෙව් ගාත්රාක්ෂර හතර (יהוה) හුඟක් වෙලාවට සිංහලෙන් ලියන්නේ “ය්හ්ව්හ්” විදිහටයි. ‘පැරණි අනුවාදයේ’ මීකා 6:8 දෙවියන්ගේ නම වෙනුවට සඳහන් කරලා තියෙන්නේ දෙවියන්වහන්සේ කියලයි. යෙහෝවා දෙවියන් ගැනත් යෙහෝවා කියන දෙවියන්ගේ නම සමහර බයිබල් පරිවර්තනවල සඳහන් වෙන්නේ නැත්තේ ඇයි කියන එක ගැනත් දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.