බයිබල් පද පැහැදිලි කිරීමක්
යෙසායා 26:3 - ‘ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තාව ඔබ ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක’
“දෙවියනි, කිසිදා සැක නොකර මුළු හදින්ම ඔබව විශ්වාස කරන තැනැත්තාට ඔබ සමාදානය දෙන්නෙහිය. ඔබ කෙරෙහි විශ්වාසය තබන නිසා ඔහු හැමදාමත් සමාදානයෙන් සිටියේය.”—යෙසායා 26:3, ‘නව ලොව පරිවර්තනය.’
“ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.”—යෙසායා 26:3, ‘පැරණි අනුවාදය.’
යෙසායා 26:3 අදහස
දෙවියන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන අයට ඔහු රැකවරණය දෙනවා කියලා අනාගතවක්තෘ යෙසායා මේ වචනවලින් සහතික කරනවා. දෙවියන් එහෙම කරන්නේ එයාලට ලොකු ආරක්ෂාවක්, සමාදානයක් දැනෙන්න සලස්වන එකෙන්.
“කිසිදා සැක නොකර මුළු හදින්ම ඔබව විශ්වාස කරන තැනැත්තාට ඔබ සමාදානය දෙන්නෙහිය.” මේ කොටසේ කතා කරන්නේ ජීවිතේ හැම දේකදීම යෙහෝවා a දෙවියන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්න අය ගැන. එයාලා තේරුම් අරන් ඉන්නවා දෙවියන්ගේ උදව් එයාලට නැතුවම බැහැ කියලා. ජීවිතේ වැදගත් තීරණ ගද්දී එයාලා කවදාවත් එයාලට හරියි කියලා හිතෙන දේ කරන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා හැම තිස්සේම උත්සාහ කරන්නේ දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න. (හිතෝපදේශ 3:5, 6) ඒකට එයාලා බයිබලේ හොඳට කියවලා ඒ ගැන ගැඹුරින් හිතනවා. (ගීතාවලිය 1:2; 119:15) පීඩා, අභියෝග එද්දී එයාලා ඕනෑකමින් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා ඔහුගේ උදව් ඉල්ලනවා. (ගීතාවලිය 37:5; 55:22) ඒ විදිහට කිසිම විදිහකින් සැක නොකර දෙවියන් ගැනම විශ්වාසය තියලා වැඩ කරද්දී දෙවියන් එයාලට සමාදානය දෙනවා.
“ඔබ කෙරෙහි විශ්වාසය තබන නිසා ඔහු හැමදාමත් සමාදානයෙන් සිටියේය.” මුල් හෙබ්‍රෙව් භාෂාවෙන් මෙතන “සමාදානය” කියන වචනය දෙපාරක් පාවිච්චි කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ දෙවියන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන කෙනෙක් කොච්චර සමාදානයක් අද්දකිනවාද කියන එක කාවද්දන්නයි. ඒ නිසා ඒ යෙදුම “හැමදාමත් සමාදානය තියෙනවා,” “නියම සමාදානය අද්දකිනවා” එහෙම නැත්නම් “සමාදානය නොඅඩුව ලැබෙනවා” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒකෙන් පැහැදිලියි ඒ සමාදානය කෙනෙක් ඉන්න තත්වය මතවත් එයා මුහුණ දෙන දේවල් මතවත් රඳා පවතින්නේ නැහැ කියලා. (ගීතාවලිය 112:7; 119:165) ඒ වෙනුවට එයා ඒ සමාදානය අද්දකින්නේ එයාට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියෙන නිසයි. ඒ වගේම එයා දෙවියන් ඉස්සරහා හැම වෙලේම හරි දේ කරන්න උත්සාහ කරන නිසයි.—හිතෝපදේශ 3:32; යෙසායා 48:18.
දෙවියන්ට නමස්කාර කරන අයට ඔහු “හැමදාමත් සමාදානය” දෙනවා කියලා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔහු එයාලට කිසිම දුකක්, කරදරයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන එකද? නැහැ. මොකද එයාලත් ප්‍රශ්නවලට, සිත්තැවුල්වලට මුහුණ දෙනවා. (1 සාමුවෙල් 1:6, 7; යෝබ් 6:1, 2; ගීතාවලිය 31:9) ඒ නිසා සමාදානය දෙනවා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ ඒ දේවල් දරාගන්න දෙවියන් එයාලට උදව් කරනවා කියන එකයි. (යෙසායා 41:10, 13) එයාලා ඔහුට යාච්ඤා කරලා උදව් ඉල්ලද්දී එයාලට ඕන කරන ප්‍රඥාව, ශක්තිය සහ සහනය ඔහු දෙනවා. (ගීතාවලිය 94:19; හිතෝපදේශ 2:6; යෙසායා 40:29) ඉතින් මොන තත්වයට මුහුණ දුන්නත් දිගටම සන්සුන්ව ඉන්න එයාලට පුළුවන්.—ෆිලිප්පි 4:6, 7.
යෙසායා 26:3 අවට පද
අනාගතවක්තෘ යෙසායා ජීවත් වුණේ ක්‍රි.පූ. අටවෙනි සියවසේ. ඒ කාලේ යූදා දේශයේ හිටපු හුඟක් අය දෙවියන්ට විශ්වාසවන්තව නමස්කාර කළේ නැහැ. ඒ නිසා යෙහෝවා දෙවියන් ක්‍රි.පූ. 607දී එයාලාගේ අගනුවර වන යෙරුසලම විනාශ වෙන්න ඉඩහැරියා.
හැබැයි 26වෙනි පරිච්ඡේදයේ තියෙන ගීතිකාව යෙසායා රචනා කළේ යෙරුසලම විනාශ වෙන්න අවුරුදු සීයකටත් වඩා වැඩි කාලෙකට කලින්. (යෙසායා 26:1-6) ඒ ගීතිකාවෙන් කියැවුණේ යූදා දේශයේ තිබුණ එක නුවරක් අනාගතයේදී ආයෙත් පිහිටුවන විදිහ ගැනයි. හුඟක් වෙලාවට ඒ නුවර යෙරුසලම කියලා හිතන්න පුළුවන්.
යෙරුසලම ආයෙත් ගොඩනැඟුවේ ක්‍රි.පූ. 537න් පස්සේ. එහෙට ආපු විශ්වාසවන්ත යුදෙව්වන්ට නුවර ගොඩනඟලා ඉවර වුණාම ලොකු ආරක්ෂාවක් දැනුණා. ඒ නිසයි “අපේ නුවර දැන් ශක්තිමත්” කියලා එයාලට කියන්න පුළුවන් වුණේ. (යෙසායා 26:1) හැබැයි ඒ නුවරේ ආරක්ෂාව රඳා පැවතුණේ ශක්තිමත් පවුරු මත නෙවෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය සහ රැකවරණය මත.—යෙසායා 26:2.
අදත් යෙහෝවා දෙවියන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන අයට ලොකු රැකවරණයක් දැනෙනවා. මොකද එයාලා දෙවියන්ව සලකන්නේ එයාලාගේ “පර්වතය” සහ බලකොටුව විදිහට.—යෙසායා 26:4.
යෙසායා පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.
a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.