බයිබල් පද පැහැදිලි කිරීමක්
හිතෝපදේශ 16:3 – “නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට භාරදෙන්න”
“ඔබේ සියලු වැඩ යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔබේ සැලසුම් සාර්ථකව ඉටු කරගැනීමට ඔබට හැකි වෙයි.”—හිතෝපදේශ 16:3, ‘නව ලොව පරිවර්තනය.’
“නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට භාරදෙන්න; එවිට නුඹේ යෝජනා ස්ථිරවන්නේය.”—හිතෝපදේශ 16:3, ‘පැරණි අනුවාදය.’
හිතෝපදේශ 16:3 අදහස
මේ හිතෝපදේශයේ දෙවියන්ගේ සෙනඟට සහතිකයක් දෙනවා. ඒ තමයි එයාලා දෙවියන් ගැන විශ්වාසය තියලා ඔහු දෙන මඟ පෙන්වීම් පිළිපැද්දොත් එයාලා කරන හැම සැලසුමක්ම සාර්ථක වෙනවා කියන එක.
“ඔබේ සියලු වැඩ යෙහෝවා දෙවිට භාර දෙන්න.” යෙහෝවා a දෙවියන්ට නමස්කාර කරන අය තීරණයක් ගන්න කලින් නිතරම නිහතමානීව දෙවියන්ගේ මඟ පෙන්වීම් පතනවා. (යාකොබ් 1:5) ඒ ඇයි? ඒකට එක හේතුවක් තමයි එයාලා දන්නවා එයාලාගේ ජීවිතේ සිද්ධ වෙන හැම දෙයක්ම පාලනය කරන්න එයාලට හැකියාවක් නැහැ කියලා. (දේශනාකාරයා 9:11; යාකොබ් 4:13-15) ඒ වගේම එයාලා කරන හැම සැලසුමක්ම සාර්ථක කරගන්න තරම් ප්‍රඥාවක්, බුද්ධියක් එයාලට නැහැ කියලත් එයාලා දන්නවා. ඒ නිසා හොඳම දේ හැම සැලසුමක්ම දෙවියන්ට භාර දෙන එක කියලා එයාලා තේරුම් අරන් ඉන්නවා. ඒත් කොහොමද ඒක කරන්නේ? ඒකට එයාලා දෙවියන්ගේ මඟ පෙන්වීම් ඉල්ලලා නිතරම යාච්ඤා කරනවා. ඒ වගේම දෙවියන්ගේ වචනය වන බයිබලේ කියවලා ඒකේ තියෙන මඟ පෙන්වීම්වලට එකඟව සහ දෙවියන්ගේ කැමැත්තට එකඟව නිතරම වැඩ කරනවා.—හිතෝපදේශ 3:5, 6; 2 තිමෝති 3:16, 17.
“නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට b භාරදෙන්න” කියන යෙදුම “ඔබ කරන හැම දෙයක්ම ස්වාමීන්වහන්සේට විසි කරන්න” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒ යෙදුම ගැන එක මූලාශ්‍රයක මෙහෙම සඳහන් වෙනවා. “ඒ පදේ කියවද්දී ලොකු බරක් කරපිට තියාගෙන ඉන්න කෙනෙක් එයාට වඩා ගොඩක් ශක්තිමත් කෙනෙක්ගේ කරපිටින් ඒ බර තියන විදිහ අපේ හිතේ පින්තූරයක් මැවෙනවා.” ඒ විදිහට නිහතමානීව, දෙවියන් ගැන සම්පූර්ණ විශ්වාසය තියලා වැඩ කරන කෙනෙක්ට ඔහු අනිවාර්යයෙන්ම උදව් කරනවා. කවදාවත් එයාව අත්හරින්නේ නැහැ.—ගීතාවලිය 37:5; 55:22.
“ඔබේ සියලු වැඩ” කියද්දී ඒකෙන් අදහස් කරන්නේ නැහැ දෙවියන් මිනිස්සු කරන හැම දෙයක්ම අනුමත කරලා ඒවාට ආශීර්වාද කරනවා කියලා. ඒ වෙනුවට දෙවියන්ගේ ආශීර්වාදය ලබන්න නම් එයාලා කරන හැම සැලසුමක්ම දෙවියන්ගේ ප්‍රමිතිවලට, ඔහුගේ කැමැත්තට එකඟව තියෙන්න ඕනේ. (ගීතාවලිය 127:1; 1 යොහන් 5:14) මොකද දෙවියන් කවදාවත් අකීකරුකමට ආශීර්වාද කරන්නේ නැහැ. ඒ නිසයි බයිබලේ කියන්නේ “දුෂ්ටයන්ගේ මාර්ග ඔහු අවුල් කරනවා” කියලා. (ගීතාවලිය 146:9) හැබැයි කෙනෙක් දෙවියන්ට යටත් වෙලා ඔහු දීලා තියෙන ප්‍රමිතිවලට ගරු කරනවා නම් ඔහු අනිවාර්යයෙන්ම ඒ වගේ අයට උදව් කරනවා.—ගීතාවලිය 37:23.
“එවිට ඔබේ සැලසුම් සාර්ථකව ඉටු කරගැනීමට ඔබට හැකි වෙයි.” ඒ යෙදුම සමහර පරිවර්තනවල “ඔබේ සැලසුම් ස්ථිර වෙයි” කියලත් පරිවර්තනය කරලා තියෙනවා. “ස්ථිර” කියලා පරිවර්තනය කරලා තියෙන මුල් හෙබ්‍රෙව් වචනෙන් “අත්තිවාරම” කියන එක අදහස් වෙනවා. හුඟක් වෙලාවට බයිබලේ ඒ වචනය පාවිච්චි කරලා තියෙන්නේ දෙවියන් හැමදාටම පවතින විදිහට ඒ කියන්නේ ස්ථිරව ඔහුගේ නිර්මාණ හදලා තියෙන විදිහ ගැන කතා කරද්දියි. (හිතෝපදේශ 3:19; යෙරෙමියා 10:12) ඉතින් කෙනෙක් දෙවියන්ගේ හිත සතුටු වෙන විදිහට වැඩ කරනවා නම් එයා කරන හැම සැලසුමක්ම දෙවියන් ස්ථිර කරනවා. ඒ කියන්නේ සාර්ථක කරනවා. එහෙම කරලා සුරක්ෂිතව, සතුටින් ජීවත් වෙන්න දෙවියන් එයාට උදව් කරනවා.—ගීතාවලිය 20:4; හිතෝපදේශ 12:3.
හිතෝපදේශ 16:3 අවට පද
හිතෝපදේශ පොතෙන් වැඩි හරියක්ම ලියපු සලමොන් රජ තමයි මේ හිතෝපදේශයත් ලිව්වේ. එයාට ඒ විදිහට හිතෝපදේශයන් දහස් ගාණක් කියන්න පුළුවන් වුණේ දෙවියන්ගෙන් ලැබුණ ප්‍රඥාව නිසයි.—1 රාජාවලිය 4:29, 32; 10:23, 24.
සලමොන් 16වෙනි පරිච්ඡේදය පටන්ගන්නේ දෙවියන්ගේ ප්‍රඥාව ගැන වර්ණනා කරලා. ඒ වගේම තමන්ගේ ප්‍රඥාව ගැන මහ ඉහළින් හිතාගෙන ඉන්න උඩඟු අයව දෙවියන් කොච්චර පිළිකුල් කරනවාද කියලත් එයා මතක් කරනවා. (හිතෝපදේශ 16:1-5) සලමොන් කියනවා මිනිස්සුන්ට ඇත්තටම ප්‍රඥාවන්ත වෙලා සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ එයාලා නිහතමානීව දෙවියන් දෙන මඟ පෙන්වීම් අනුගමනය කරනවා නම් විතරයි කියලා. (හිතෝපදේශ 16:3, 6-8, 18-23) ඒ පාඩම හිතෝපදේශ පොත පුරාම ආයේ ආයේ මතක් කරනවා. ඇත්තටම හිතෝපදේශ පොතේ විතරක් නෙවෙයි ඒ වැදගත් පාඩම බයිබලේ පුරාම අපිට දකින්න තියෙනවා.—ගීතාවලිය 1:1-3; යෙසායා 26:3; යෙරෙමියා 17:7, 8; 1 යොහන් 3:22.
හිතෝපදේශ පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.
a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න ”යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.
b හුඟක් බයිබල් පරිවර්තනවල දෙවියන්ගේ නම වෙනුවට “ස්වාමීන්වහන්සේ” කියලා පාවිච්චි කරලා තියෙනවා. තවත් පරිවර්තනවල “ස්වාමීන්වහන්සේ” කියන වචනය තද කලු අකුරෙනුත් දාලා තියෙනවා. ඒකට හේතුව දැනගන්න “යෙසායා 42:8 – ‘මම ස්වාමීන්වහන්සේය’” කියන ලිපිය බලන්න.