Skip to content

යොවුන් සිතේ ගැටලු

අශුභවාදීව හිතන එකෙන් වළකින්නේ කොහොමද?

අශුභවාදීව හිතන එකෙන් වළකින්නේ කොහොමද?

 ඔයා මොන වගේ කෙනෙක් කියලාද ඔයාට හිතෙන්නේ?

  •   ශුභවාදීව හිතන කෙනෙක්

     “මට ඕනෙ හැම දවසකම හිනා වෙලා සතුටින් ඉන්න.”—වැලරි.

  •   අශුභවාදීව හිතන කෙනෙක්

     “මොනවා හරි හොඳ දෙයක් වුණු හැටියෙම මට හිතෙන්නේ ඒක වෙන්න බෑ කියලා.”—රෙබෙකා.

  •   යථාර්ථවාදීව හිතන කෙනෙක්

     “ශුභවාදී කෙනෙක් කවදාවත් නරක දෙයක් වෙයි කියලා හිතන්නේ නැති නිසා බලාපොරොත්තු කඩ වුණාම ඉක්මනින්ම අධෛර්යය වෙනවා. අශුභවාදී කෙනෙක් කොයි වෙලෙත් ඉන්නේ දුකෙන්. මං උත්සාහ කරන්නේ යථාර්ථවාදී කෙනෙක් වෙන්න. හැම දේම හරි විදිහට දකින්න ඒක මට උදව් වෙනවා.”—ඇනා.

 ඒ ගැන හිතලා බලන එක වැදගත් වෙන්නේ ඇයි?

 බයිබලයේ කියනවා “සතුටු සිතින් සිටින්නාට සෑම දවසක්ම උත්සව දවසක් මෙනි” කියලා. (හිතෝපදේශ 15:15) දුක හිතෙන දේවල් ගැනම හිතහිත ඉන්නවා වෙනුවට සතුටු වෙන්න පුළුවන් දේවල් ගැනත් අනිත් අයගේ හොඳ පැති ගැනත් හිතන අය හැමෝටම වඩා සතුටින් ඉන්නවා. අනිත් අයට වඩා එයාලට හුඟක් යාළුවොත් ඉන්නවා. හැබැයි කොයි වෙලෙත් දුකෙන් ඉන්න, හැම දෙයක් ගැනම අශුභවාදීව හිතන අයව යාළුවන් කරගන්න කවුරුත් කැමති නැහැ.

 හැම දෙයක් ගැනම ශුභවාදීව හිතන කෙනෙක්ට වුණත් ජීවිතයේ යම් අවස්ථාවකදී කනස්සල්ලක් ඇති වෙන දේවල් වෙන්න පුළුවන්. උදාහරණෙකට:

  •   ප්‍රවෘත්තිවලින් නිතරම වගේ යුද්ධ, අපරාධ, ත්‍රස්තවාදී ක්‍රියා ගැන ඔයාට අහන්න ලැබෙනවා ඇති.

  •   සමහරවිට ඔයාගේ පවුලේ ප්‍රශ්න තියෙනවා ඇති.

  •   අනිවාර්යයෙන්ම ඔයා ඔයාගේ අඩුපාඩු දුර්වලකම් එක්ක ලොකු සටනක් කරනවා ඇති.

  •   යාළුවෙක් කියපු කරපු දෙයක් නිසා ඔයාගේ හිත රිදිලා ඇති.

 ඒ දේවල් දැක්කේ නැහැ වගේ ඉන්න එපා. හැබැයි අනවශ්‍ය විදිහට ඒ දේවල් ගැන ළත වෙන්නත් එපා. ඒ වෙනුවට ඒ හැම දෙයක් දිහාම යථාර්ථවාදීව බලන්න පුරුදු වෙන්න. යථාර්ථවාදීව බලන එක, දේවල් ගැන අශුභවාදී විදිහට හිතන්නේ නැතුව ඉන්නත් අධෛර්යය කරවන සිතුවිලිවලින් යටපත් නොවී ඉන්නත් ඔයාට උදව් වෙයි.

වැස්සක් වැස්සොත් පායනවාමයි. ඒ වගේ ඔයාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න තියෙන්නෙත් කාලයක් විතරයි

 ඔයාට කරන්න පුළුවන් මොනවාද?

  •   ඔයාගේ අතින් වෙන වැරදි අඩුපාඩුකම් දිහා යථාර්ථවාදීව බලන්න පුරුදු වෙන්න.

     බයිබලයේ මෙහෙම කියනවා. “කිසි පාපයක් නොකර සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක.” (දේශනාකාරයා 7:20) ඒ නිසා ඔයා අතින් වරදක් වුණොත් ඔයා කිසි කමකට නැති කෙනෙක් කියලා හිතලා දුක් වෙන්න එපා. ඔයා අතින් විතරක් නෙවෙයි අනිත් හැමෝම අතිනුත් වැරදි වෙනවා.

     යථාර්ථවාදී කෙනෙක් වෙන්න පුළුවන් කොහොමද? ඔයාගේ වරද හදාගන්න උපරිමයෙන් වෑයම් කරන්න. හැබැයි ඔයා අතින් ආයෙත් කිසිම වරදක් වෙන එකක් නැහැ කියලා හිතන්න එපා. යෞවනයෙක් වන කේලබ් මෙහෙම කියලා තියෙනවා. “මගේ අතින් වරදක් වුණාම මට ඕනෙ ඒක ඉක්මනින්ම අමතක කරලා දාන්න. මොකද ඒ ගැන හිතහිත ඉන්න ගියොත් මං අධෛර්යය වෙනවා. ඒ නිසා වරදක් වුණාම මං හදාගන්න ඕන පැති අඳුනගෙන ඒවා හදාගන්නයි මං උත්සාහ කරන්නේ.”

  •   අනිත් අය එක්ක ඔයාව සසඳන්න එපා.

     බයිබලයේ මෙහෙම කියනවා. “අපි අහංකාරකමින් ක්‍රියා නොකරමු. එකිනෙකා අතරේ තරඟකාරිත්වයක් ඇති කරමින් එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.” (ගලාති 5:26) ඔයාගේ යාළුවන් සමාජ ජාලා වෙබ් අඩවිවල දාලා තියෙන ෆොටෝ බලද්දී ඔයාට හිතෙයි එයාලා ඔයා නැතුව හුඟක් විනෝද වෙලා තියෙනවා කියලා. ඔයාට ආරාධනා කරපු නැති එක ගැන ඔයාට කේන්තියක් දැනෙන්නත් පුළුවන්. එයාලා ඔයාගේ හොඳම යාළුවෝ කියලා ඔයා හිතන් හිටියත් ඇත්තටම එයාලා ඔයාගේ යාළුවෝ නෙවෙයි කියලත් ඔයාට හිතෙයි.

     යථාර්ථවාදී කෙනෙක් වෙන්න පුළුවන් කොහොමද? යාළුවෝ විනෝද වෙන හැම වතාවකදීම ඔයාට ආරාධනා කරන්න ඕනෙ කියලා හිතන්න එපා. අනිත් අතට සමාජ ජාලා වෙබ් අඩවිවල දාලා තියෙන පින්තූරවලින් කෙනෙක්ගේ ජීවිතේ හැම දෙයක් ගැනම දැනගන්න බැහැ. යෞවනයෙක් වන ඇලෙක්ස් කියපු දේ බලන්න. “මිනිසුන් සමාජ ජාලා වෙබ් අඩවිවලට දාන පින්තූරවලින් එයාලගේ ජීවිතේ හැම දෙයක් ගැනම දැනගන්න බැහැ. මොකද සාමාන්‍යයෙන් එයාලා ඒවාට දාන්නේ ජීවිතේ විශේෂ අවස්ථා පෙන්වන පින්තූර විතරයි.”

  •   හැමෝම එක්ක විශේෂයෙන් පවුලේ අය එක්ක සමාදානයෙන් ඉන්න වෑයම් කරන්න.

     බයිබලයේ මෙහෙම කියනවා. “මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.” (රෝම 12:18) අනිත් අය කරන කියන දේවල් වෙනස් කරන්න ඔයාට බැහැ. හැබැයි එයාලා කියන කරන දේවලට ඔයා ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද කියලා තීරණය කරන්න ඔයාට පුළුවන්. කේන්ති අරන් වැඩ කරනවා වෙනුවට සාමය ඇති වෙන විදිහට දේවල් කරන්න තීරණය කරන්න ඔයාට පුළුවන්.

     යථාර්ථවාදී කෙනෙක් වෙන්න පුළුවන් කොහොමද? පවුලේ තියෙන ප්‍රශ්න තවත් වැඩි වෙන විදිහට වැඩ කරන්න එපා. යාළුවන් එක්ක සාමයෙන් ඉන්න වෑයම් කරනවා වගේ පවුලේ අය එක්කත් සාමයෙන් ඉන්න උපරිමයෙන් වෑයම් කරන්න. මෙලින්ඩා කියන යෞවනිය මෙහෙම කියනවා. “අපි හැමෝම අතින් වැරදි වෙනවානේ. ඒ නිසා අපේ අතින් අනිත් අයගේ හිත රිදෙන දෙයක් වෙන්න පුළුවන්. එයාලගේ අතින් අපේ හිත රිදෙන දෙයක් වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් ඇති වුණාම සාමය රැකෙන විදිහට වැඩ කරනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනෙ අපිම තමයි.”

  •   අගයක් ඇති කරගන්න.

     බයිබලයේ මෙහෙම කියනවා. “ඔබ තුළ ස්තුතිවන්තකමද දක්නට ලැබිය යුතුයි.” (කොලොස්සි 3:15) ස්තුතිවන්ත වෙනවා කියන්නේ අපිට සතුටු වෙන්න පුළුවන් දේවල් ගැන හිතලා ඒ ගැන ලොකු අගයක් ඇති කරගන්න එකටයි. ඒ නිසා ඔයාට නැති දේවල් ගැන හිතහිත ළත වෙනවා වෙනුවට ඔයාට සතුටු වෙන්න පුළුවන් දේවල් ගැන හිතලා ඒවා ගැන ලොකු අගයක් ඇති කරගන්න.

     යථාර්ථවාදී කෙනෙක් වෙන්න පුළුවන් කොහොමද? ප්‍රශ්න තියෙද්දී ඒවාට මුහුණ දෙන්න ඕන තමයි. හැබැයි ඔයාට සතුටු වෙන්න පුළුවන් දේවල් අමතක වෙන තරමටම ඒවා ගැන හිතහිත ඉන්න එපා. යෞවනියක් වන රෙබෙකා මෙහෙම කියනවා. “මං හැම දවසකම මට සතුටු වෙන්න තියෙන හේතුවක් ගැන පොතක ලියනවා. ප්‍රශ්න තිබුණත් සතුටු වෙන්න ඕන තරම් හේතු මට තියෙනවා කියලා මටම මතක් කරගන්න ඒක උදව් වෙනවා.”

  •   ඔයාගේ යාළුවන් මොන වගේ අයද කියලා හිතලා බලන්න.

     බයිබලයේ මෙහෙම කියනවා. “නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.” (1 කොරින්ති 15:33) කොයි වෙලෙත් අනිත් අයව විවේචනය කරන, අනිත් අයගේ වැරදිම දකින, කේන්තියෙන් ඉන්න අයව ඔයා කිට්ටුවෙන් ආශ්‍රය කළොත් දන්නෙම නැතුව ඒ විදිහට වැඩ කරන්න ඔයාත් පෙලඹෙයි.

     යථාර්ථවාදී කෙනෙක් වෙන්න පුළුවන් කොහොමද? ඔයාගේ යාළුවෝ හුඟක් අමාරු ප්‍රශ්නවලට මුහුණ දෙද්දී ටික කාලයක් යන කල් අධෛර්යය කරවන සිතුවිලිත් එක්ක පොරබදියි. එයාලගේ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න එයාලට උදව් කරන්න. හැබැයි එයාලගේ ප්‍රශ්න ඔයාගේ ප්‍රශ්න කරගන්න එපා. යෞවනියක් වන මිෂෙල් මෙහෙම කියනවා. “අශුභවාදී සිතුවිලි තියෙන අයව විතරක් ආශ්‍රය කරන්න ගියොත් අපිත් ඒ විදිහට හිතන්න පෙලඹෙන්න පුළුවන්.”

 තවත් තොරතුරු දැනගන්න

 බයිබලයේ කියලා තියෙන විදිහට අපි ජීවත් වෙන්නේ ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයක.’ (2 තිමෝති 3:1) ප්‍රශ්න ගැටලුවලින් පිරිලා තියෙන මේ ලෝකේ සතුටින් ඉන්න එක ලොකු අභියෝගයක් කියලා ඔයාටත් හිතෙනවාද? එහෙනම් “අපි දුක් විඳින්නේ ඇයි?” කියන ලිපියේ තියෙන තොරතුරු ඔයාට ප්‍රයෝජනවත් වෙයි.