Skip to content

යොවුන් සිතේ ගැටලු

කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද?

කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද?

 ඔයා කනස්සලු වෙන්නේ මොනවා ගැනද?

 මේ අයට හැඟුණ විදිහට ඔයාටත් හැඟෙන අවස්ථා තියෙනවාද?

 “‘අපේ කාර් එක හැප්පෙයිද,’ ‘අපි යන ප්ලේන් එක කඩාගෙන වැටෙයිද’ කියලා මම නිතරම හිතනවා. මං කරදර වෙන්නේ සාමාන්‍යයෙන් අනිත් අය එච්චර කරදර වෙන්නේ නැති දේවල් ගැනයි.”—චාල්ස්.

 “එකම තැන කැරකි කැරකි ඉන්නවා වගේ මං හැම තිස්සෙම කනස්සලු වෙවී ඉන්නවා. මැරීගෙන වැඩ කරත් අන්තිමේදී කරපු දේකුත් නැහැ.”—ඇනා.

 “ඔයා ඉස්කෝලේ යන ළමයෙක්නේ. ඔයාට නං ඉතින් කිසි ප්‍රශ්නයක් නෑනේ කියලා කවුරු හරි කියද්දී මට හිතෙනවා ‘ඉගෙනගන්න ළමයෙක්ට කොච්චර පීඩනයක් තියෙනවද කියලා මෙයාලා දන්නේ නෑනේ’ කියලා.”—ඩෑනියෙල්.

 “මම හැම තිස්සෙම ඉන්නේ ඊළඟට මොනවද වෙන්නේ, ඊළඟට මොනවද කරන්නේ කියලා හිතහිතයි. ඒ කියන්නේ මං ඉන්නේ ලොකු පීඩනයකින්.”—ලෝරා.

 ඇත්ත තත්වය: බයිබලයේ කියනවා අපි ජීවත් වෙන්නේ ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයක’ කියලා. (2 තිමෝති 3:1) ඒ නිසා වැඩිහිටියන්ට වගේම යෞවන අයටත් කනස්සල්ල ඇති වෙන්න පුළුවන්.

 කනස්සල්ලක් දැනෙන එක හැම වෙලාවෙම වැරදිද?

 නැහැ. බයිබලයේ කියනවා තමන් ආදරය කරන අය ගැන කරදර වෙන එක වැරදි නැහැ කියලා.—1 කොරින්ති 7:32-34; 2 කොරින්ති 11:28.

 යම් දෙයක් ගැන හිතින් කරදර වෙන එක හොඳ දෙයක් වෙන්න පුළුවන්. උදාහරණයකට එන සතියේ ඔයාට ඉස්කෝලේ විභාගයක් තියෙනවා කියලා හිතන්න. ඒ ගැන හිතින් කරදර වෙනවා නම් ඔයා මේ සතියේ පාඩම් කරන්න පෙලඹෙයි. ලකුණු වැඩියෙන් ගන්න ඒක ඔයාට උදව්වක් වෙයි.

 අනතුරක් වෙයි කියලා හිතන එකත් අනතුරෙන් වැළකෙන්න උදව්වක්. “යන්නේ වැරදි පාරක කියලා හිත වධ දෙනවා නම් විතරයි ඒකෙන් මිදිලා හොඳ හෘදය සාක්ෂියක් ඇති කරගන්න ඔයා පියවර ගන්නේ” කියලා යෞවනියක් වන සරීනා කියනවා.—යාකොබ් 5:14 බලන්න.

 ඇත්ත තත්වය: යම් දෙයක් ගැන කරදර වෙන එකෙන් ඔයා හරි ක්‍රියාමාර්ගයක් ගන්න පෙලඹෙනවා නම් ඒක වැරදි නැහැ.

 ඒත් කනස්සලු වෙවී සිතුවිලිවලම කොටු වෙලා ඉන්නවා නම් ඔයා ඉන්නේ පාර හොයාගන්න බැරුව අතරමං වුණ කෙනෙක් වගෙයි.

කනස්සලු වෙවී ඉන්න එකෙන් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත්නම් ඔයා ඉන්නේ පාර හොයාගන්න බැරුව අතරමං වුණ කෙනෙක් වගෙයි

 උදාහරණයක්: “යම් පීඩනකාරී තත්වයකදී ඊළඟ මොහොතේ එහෙම වෙයිද නැත්නම් මෙහෙම වෙයිද කියලා කෙළවරක් නැතුව හිතනවා. අන්තිමේදී වෙන්නේ හොඳටම බය වෙන එක විතරයි” කියලා වයස අවුරුදු 19ක් වන රිචඩ් කියනවා.

 බයිබලයේ කියන්නේ “සන්සුන් මනසක් ගතට සුවයකි” කියලයි. (හිතෝපදේශ 14:30) අනිත් අතට කනස්සල්ලෙන් ඉන්නකොට හිසරදය, කැරකිල්ල, බඩේ අමාරුව, හද ගැස්මේ වේගය වැඩි වීම වගේ රෝගී තත්වයන් ඇති වෙන්න පුළුවන්.

 යම් දෙයක් වෙයි කියලා හිතින් කරදර වෙන එකෙන් ඔයාට යහපතට වඩා අයහපතක් වෙනවා නම් කරන්න පුළුවන් මොනවාද?

 ඔයාට කරන්න පුළුවන් දේ

  •   කනස්සලු වෙන එක සාධාරණද කියලා හිතලා බලන්න. “ඔයාට තියෙන වගකීම් ගැන හිතන එක, එක දෙයක්. ඒත් ඕනෑවට වඩා ඒවා ගැන හිතින් කරදර වෙන එක තවත් දෙයක්. කනස්සලු වෙන එක හරියට ලණුවකින් ගැටගහලා තියෙන ඔරුවක් පැදගෙන යන්න හදනවා වගේ. කොච්චර පැද්දත් ඉස්සරහට යන්න බැහැ. නිකම් මහන්සි වෙනවා විතරයි.”—කැත්රින්.

     බයිබලේ දෙන උපදෙස: “කනස්සලු වුණා කියා තම ආයු කාලය දවසකින්වත් දික් කරගන්න ඔබ අතරෙන් කාටවත් පුළුවන්ද?”—මතෙව් 6:27.

     ඒකෙන් අදහස් වෙන්නේ මේකයි: කනස්සලු වෙන එකෙන් විසඳුමක් ලැබෙනවාට වඩා වෙන්නේ ප්‍රශ්නේ තවත් වැඩි වෙන එකයි. ඒකත් අන්තිමේදී ප්‍රශ්නයක් වෙනවා.

  •   ප්‍රශ්නයක් හිතින් මවාගෙන කරදර වෙවී ඉන්නේ නැතුව ප්‍රශ්නේ ආවාම ඒකට මුහුණ දෙන්න. “ඔයා කරදර වෙන දේ ගැන හොඳට හිතලා බලන්න. ඔයා කනස්සලු වෙන දේ හෙට, තව මාසෙකින්, අවුරුද්දකින්, අවුරුදු පහකින් ප්‍රශ්නයක් විදිහටම තියෙයිද?”—ඇන්තනී.

     බයිබලේ දෙන උපදෙස: “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි. හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න.”—මතෙව් 6:34.

     ඒකෙන් අදහස් වෙන්නේ මේකයි: හෙට වෙයි කියලා හිතෙන දේවල් ගැන හිතහිත ඉන්න එකේ තේරුමක් නැහැ. මොකද සමහර දේවල් අපි හිතනවා වගේ වෙන්නේ නැහැ.

  •   වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා කියලා තේරුම්ගන්න. “කරන්න පුළුවන් හොඳම දේ තමයි ඉස්සරහට මුහුණ දෙන්න තියෙන තත්වයන්වලට සූදානම් වෙන එක. ඒත් සමහර තත්වයන් ඔබට පාලනය කරන්න බැහැ කියලා මතක තියාගන්න.”—රොබට්.

     බයිබලේ දෙන උපදෙස: “වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති. . . . මනා අවබෝධයකින් කටයුතු කරන අයට නිසි පිළිගැනීමක්ද නොලැබෙයි. මන්ද නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් ඒ සියලුදෙනාටම සිදු විය හැක.”—දේශනාකාරයා 9:11.

     ඒකෙන් අදහස් වෙන්නේ මේකයි: ඔයා මුහුණ දෙන තත්වයන් වෙනස් කරන්න සමහර වෙලාවට ඔයාට බැහැ. හැබැයි ඒ දිහා බලන විදිහ වෙනස් කරගන්න ඔයාට පුළුවන්.

  •   ඔයා මුහුණ දෙන තත්වය ගැන සමබරව හිතන්න. “හැම පුංචි දෙයක් ගැනම කරදර නොවී සම්පූර්ණ චිත්‍රය දකින්න උත්සාහ කරන්න. වඩා වැදගත් දේ තෝරගෙන ඒ වෙනුවෙන් කාලයයි, ශක්තියයි වැය කරන්න.”—ඇලක්සස්.

     බයිබලේ දෙන උපදෙස: ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලිප්පි 1:10.

     ඒකෙන් අදහස් වෙන්නේ මේකයි: තමන් අද්දකින ප්‍රශ්න ගැන සමබරව හිතන අය ඒවාවලින් යටපත් වෙන්නේ නැහැ.

  •   කාට හරි කියන්න. “මං හයවෙනි පන්තියේ ඉද්දී ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ ඊළඟ දවසේ මොනවා වෙයිද කියලා බයෙන්. මට සිද්ධ වුණ දේවල් ගැන අම්මාටයි තාත්තාටයි කියද්දී එයාලා හොඳින් අහගෙන හිටියා. ඒක මට සහනයක් වුණා. ඒ නිසා එයාලව විශ්වාස කරලා බය නැතුව හැම දේම කිව්වා. ඊළඟ දවසට මුහුණ දෙන්න ඒක මට උදව්වක් වුණා.”—මෙරිලන්.

     බයිබලේ දෙන උපදෙස: “මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි. නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි.”—හිතෝපදේශ 12:25.

     ඒකෙන් අදහස් වෙන්නේ මේකයි: ඔයාගේ කනස්සල්ල අඩු කරගන්න හොඳ යෝජනා දෙන්න අම්මාට හරි තාත්තාට හරි යාළුවෙක්ට හරි පුළුවන්.

  •   යාච්ඤා කරන්න. “යාච්ඤා කරන එක උදව්වක්. ඒ වගේම මගේ හිතේ තියෙන දේවල් තද කරගෙන ඉන්නේ නැතුව හඬ නඟලා යාච්ඤා කරද්දී ඒ හඬ මටත් ඇහෙනවා. ඒක උදව් වෙනවා මගේ කනස්සල්ල ගැන හිතහිත ඉන්නවාට වඩා යෙහෝවා දෙවියන්ගේ උදව් ලැබෙනවා කියලා හිතන්න.”—ලෝරා.

     බයිබලේ දෙන උපදෙස: “ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම [දෙවියන්] පිට තබන්න.”—1 පේතෘස් 5:7.

     ඒකෙන් අදහස් වෙන්නේ මේකයි: යාච්ඤාව කියන්නේ යෙහෝවා දෙවියන් එක්ක අදහස් හුවමාරු කරගන්න එක. ඔහු පොරොන්දු වෙන්නේ “කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි” කියලයි. ඒ නිසා යාච්ඤාව කියන්නේ හිත රවට්ටගන්න කරන දෙයක් නෙවෙයි.—යෙසායා 41:10.