Skip to content

යොවුන් සිතේ ගැටලු

දෙමව්පියන් මගේ සතුටට හරස් වෙන්නේ ඇයි?

දෙමව්පියන් මගේ සතුටට හරස් වෙන්නේ ඇයි?

 සති අන්තයේ තියෙන පාටියකට යාළුවෝ ඔයාට එන්න කියනවා. “යන්නද” කියලා අහපු ගමන් අම්මලාගේ උත්තරේ “එපා.” හැමදාම දෙන්නේ ඔය උත්තරේ නිසා ඒක අහලා ඔයා පුදුම වෙන්නෙත් නැහැ.

මේ ලිපියෙන්

 ඇයි අම්මලා හැම වෙලේම එපා කියන්නේ?

 ඔයා අහන අහන දේට අම්මලා එපා කියනවා නම් ඔයාට හිතෙයි ‘මං සතුටින් ඉන්නවාට එයාලා පොඩ්ඩක්වත් කැමති නැහැ’ කියලා.

 යෞවන වයසේ ඉන්න මරීට හිතුණෙත් එහෙමයි. එයාට මුලින්ම ෆෝන් එකක් ලැබුණ වෙලාවේ වෙච්ච දේ ගැන එයා මෙහෙම කියනවා. “ෆෝන් එක පාවිච්චි කරන විදිහ ගැන මගේ තාත්තා මට නීති පිට නීති දැම්මා. ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මොන ඇප්ද, කෝල් කරන්න මැසේජ් කරන්න පුළුවන් කාටද, ෆෝන් එක පාවිච්චි කරන එක නවත්තන්න ඕනෙ කොයි වෙලාවටද වගේ හැම පුංචි දේකටම නීති දැම්මා. ඒත් ෆෝන් තිබ්බ මගේ යාළුවන්ට නම් ඔය නීති එකක්වත් නෑ.”

 හිතන්න දෙයක්: මරීගේ තාත්තා ඇත්තටම හැදුවේ එයාගේ සතුටට හරස් වෙන්නද? නැත්නම් එයාගේ තාත්තා ඒ වගේ නීති දාන්න ඇත්තේ ඇයි?

වේග සීමා නිසා ඔයාගේ නිදහස ටිකක් අඩු වුණත් ඒක ආරක්ෂාවක්. දෙමව්පියන් දාන නීතිවලින් වෙන්නෙත් ඒ වගේම දෙයක්

 මෙහෙම කරලා බලන්න: ඔයා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා හිතන්න. යෞවන වයසේ ඉන්න ඔයාගේ දරුවාට දැන් ඔන්න ෆෝන් එකක් හම්බ වෙලා. දෙමව්පියෙක් විදිහට ඔයා වධ වෙන්නේ මොනවා ගැනද? දරුවාව ආරක්ෂා කරගන්න ඔයා මොන වගේ නීති දායිද? “අම්මලාගේ ඔය නීති නිසා මට කිසි සතුටක් නෑ” කියලා දරුවා කිව්වොත් ඔයා මොනවා කියයිද?

 “මගේ තාත්තා හැම වෙලේම මට කියපු දෙයක් තමයි ‘දුවේ දරුවෙක් වගේ හිතන්නේ නැතුව දෙමව්පියෙක් වගේ හිතන්න. එතකොට ඔයාට තේරෙයි.’ එහෙම කරපු නිසා තාත්තා දාපු නීතිවල ප්‍රයෝජන වගේම ඒවා දාන්නේ ඇයි කියලත් මට තේරුණා. මොකද මට දරුවෝ හිටියා නම් මමත් ඒ දේම එයාලාගෙන් බලාපොරොත්තු වෙනවානේ.”—ටාන්‍යා.

 දෙමව්පියන්ගේ අවසරය ගන්න නම් . . .

 මෙහෙම කරන්න එපා: මූණ එල්ලගෙන තරහින් ඉන්නවත් කටගහගෙන යන්නවත් එපා.

 “කෑගහලා අම්මලා එක්ක රණ්ඩු වුණා කියලා ඔයාට ලැබෙන දෙයක් නැහැ. ඒකෙන් වෙන්නේ ඔයාගේ වගේම අම්මලාගෙත් සතුට නැති වෙන එකයි. කටගහගෙන යන එකෙන් වෙන්නේ ඔයා කිසි අවබෝධයක් නැතුව වැඩ කරන කෙනෙක් කියලා අම්මලා හිතන එකයි. එතකොට කොහොමත් එයාලා ඔයාට නිදහස දෙන එකක් නැහැ.”—රිචඩ්.

 මෙහෙම කරලා බලන්න: දෙයක් කියන්න හදිස්සි වෙන්න එපා. අම්මලාගේ පැත්තෙන් ඒක දිහා බලන්න. ඇත්තටම එයාලා එපා කියන්නේ ඔයාව විශ්වාස නැති නිසා නෙමෙයි ඔයා යන තැන එතනට එන අයව විශ්වාස නැති නිසා වෙන්න පුළුවන්. ඉතින් කලබල වෙන්නේ නැතුව කාරණේ එයාලා එක්ක කතා කරන්න. එතකොට අම්මලා එපා කියන්නේ ඇයි කියලා තේරුම්ගන්න ඔයාට පුළුවන් වෙයි.

 “දෙමව්පියන් දාන හැම නීතියක් පිටිපස්සේම හොඳ හේතුවක් තියෙනවා. ඇත්තටම එයාලට ඕනෙ මගේ සතුටට හරස් වෙන්න නෙමෙයි. ප්‍රශ්න දාගන්නේ නැතුව මම නියම සතුට ලබනවා දකින්න.”—අයිවි.

 බයිබල් ප්‍රතිපත්තිය: “මෝඩයා තම කෝපය මුළුමනින්ම පිට කරයි. නමුත් ඥානවන්තයා අවසානය දක්වාම සන්සුන්ව සිටියි.”—හිතෝපදේශ 29:11.

 මෙහෙම කරන්න එපා: දෙමව්පියෝ එපා කිව්ව දේවල් හොරෙන් කරන්න යන්න එපා.

 “තාත්තා එපා කිව්ව දේවල් මං හොරෙන් කරා. තාත්තාට අහු වෙන් නැති විදිවලින් මං රෑ ජාමේ යාළුවන්ට මෙසේජ් යැව්වා. එපා කිව්ව ඇප් හොරෙන් දාගත්තා. ඒත් ඒ හොර වැඩ එළි වුණාම තාත්තා මට තව නීති දැම්මා. මොකද මං එයාලාගේ විශ්වාසය කඩ කළානේ. කපටි විදිහට නීතිවලින් රිංගලා යන එක ඇත්තම කිව්වොත් මහ මෝඩ වැඩක්.”—මරී.

 මෙහෙම කරලා බලන්න: දෙමව්පියන් දාන නීතිවලට එකඟව වැඩ කරලා එයාලාගේ විශ්වාසය දිනාගන්න.

 “ඉවසන්න. එක රැයකින් දෙකකින් දෙමව්පියන් දාලා තියෙන නීතියක් එයාලා වෙනස් කරන එකක් නැහැ. හැබැයි ඔයා ඒ නීතියට කීකරු වෙනවා කියලා දෙමව්පියන් දකිද්දී ඔයාට වැඩි නිදහසක් දෙන්න එයාලා කැමති වෙයි.”—මෙලින්ඩා.

 බයිබල් ප්‍රතිපත්තිය: “සියලු කාරණාවලදී ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.”—කොලොස්සි 3:20.

 මෙහෙම කරන්න එපා: අනිත් ළමයින්ට තියෙන නිදහස ගැන කියලා ඔයාට ඕනෙ දේ කොහොමහරි අම්මලා ලවා කරගන්න හදන්න එපා.

 “කන්කෙඳිරි ගාලා ඔයාට ඕන දේ කරගන්න හදන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාට ඕන දේ ලැබෙන්න තියෙන චාන්ස් එක තවත් අඩු වෙන එක විතරයි.”—නටාලි.

 මෙහෙම කරලා බලන්න: කාරණයක් ගැන අම්මලා එක්ක කතා කරද්දී “දෙමාපියන් දාලා තියෙන නීති ගැන හිතලා බලන්න” කියන වැඩ පිටුව ඔයාට උදව් වෙයි.

 “අම්මායි තාත්තායි කැමති ඔයා හොඳට හිතලා බලලා වැඩ කරන කෙනෙක් වෙනවා දකින්න. ඉතින් එයාලා දාලා තියෙන නීතියක් ගැන කතා කරද්දී හැඟීම් ඉස්සරහට දාගන්නේ නැතුව එයාලට පිළිගන්න පුළුවන් හේතු දෙන්න.”—ජෝසෙෆ්.

 බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.”—එෆීස 6:2.