Skip to content

යොවුන් සිතේ ගැටලු

දෙමාපියන් දික්කසාද වෙන්න යනවා නම් මොකද කරන්නේ?

දෙමාපියන් දික්කසාද වෙන්න යනවා නම් මොකද කරන්නේ?

 යෞවන වයසේ කෙනෙක්ට දැනෙන්න පුළුවන් ලොකුම පීඩනවලින් එකක් තමයි එයාගේ අම්මාගේ, තාත්තාගේ දික්කසාදය. ඒ වගේ දෙයක් වුණොත් ඒකට මූණ දෙන්න ඔයාට පුළුවන් කොහොමද?

මේ ලිපියෙන්

 කරන්න හොඳ නැති දේවල් තුනක්

 1. වරද ඔයාගේ පිට දාගන්න එපා

 “අම්මා මට එකපාරක් කිව්වා ඔයා ඉපදුණාට පස්සේ තමයි තාත්තායි, මායි අතරේ මෙච්චර ප්‍රශ්න ඇති වුණේ කියලා. ඉතිං මං හිතුවා මං නිසා තමයි එයාලා වෙන් වුණේ කියලා.”—ඩියානා.

 මතක තියාගන්න: එයාලා වෙන් වුණේ ඔයා නිසා නෙවෙයි. ඒක එයාලා දෙන්නා අතර තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නවලට මුල ඔයා නෙවෙයි. ඒ නිසා ඒවා විසඳන්නත් ඔයාට බැහැ. ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියලා බලන එක එයාලාගේ වගකීමක්.

 “හැම කෙනෙක්ම තමන්ට පැවරිලා තියෙන වගකීම ඉටු කරන්න ඕනේ.”—ගලාති 6:5.

 2. කේන්තියෙන් ඉන්න එපා

 “අම්මාගේ විශ්වාසේ කඩපු නිසා මට තාත්තා එක්ක දැනුණේ පුදුම කේන්තියක්. ආයේ නං තාත්තාව විශ්වාස කරන්න මට හරි අමාරු වෙයි.”—රියානා.

 මතක තියාගන්න: දෙමාපියෝ වෙන් වුණ නිසා ඔයාට ලොකු කේන්තියක්, දුකක් ඇති. එහෙම දැනෙන එක සාධාරණයි. හැබැයි දිගටම කේන්තියෙන් ඉන්න එක ඔයාටමයි හොඳ නැත්තේ. මොකද ඒකෙන් ඔයාගේ ශරීරයට වගේම මනසටත් හානියක් වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ කේන්තිය හිතේ තියාගෙන ඉන්න එක හරියට ඔයා වහ බීලා වෙන කෙනෙක් මැරෙන කල් බලන් ඉන්නවා වගේ කියලා. a

 “කේන්තිය ඔබෙන් ඈත් කරන්න. කෝප වෙන එක අත්හරින්න.”—ගීතාවලිය 37:8.

 3. ඔයාට කවදාවත් බැඳලා සතුටින් ඉන්න බැහැ කියලා හිතන්න එපා

 “තාත්තා කරපු දේම මගේ අතිනුත් වෙයි කියලා මට ලොකු බයක් දැනුණා. මං බැඳලා ළමයි හම්බ වුණාම අම්මලා ඩිවෝස් වෙන්න බලපාපු දේම මගේ අතිනුත් වෙයි කියලා මං හිටියේ හුඟක් බයෙන්.”—ජෙසිකා.

 මතක තියාගන්න: අම්මලාගේ විවාහය කැඩුණා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කවදා හරි ඔයාගේ විවාහයත් කැඩෙයි කියලා. ඒ වෙනුවට එයාලට වෙච්ච දෙයින් ඔයාට ගොඩක් පාඩම් ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම ඔයා බඳින්න කෙනෙක්ව හොයද්දී ඒ කෙනාගේ බලන්න ඕන ගතිගුණ ගැන ඔයා වෙනදාටත් වඩා හිතයි. හොඳ සැමියෙක්, බිරිඳක් වෙන්න නම් ඔයාගේ පැත්තෙන් තව හදාගන්න ඕන ගුණාංග මොනවාද කියලා හිතලා බලන්නත් ඔයා අධිෂ්ඨාන කරගනියි.

 “හැම කෙනෙක්ම තම තමන් කරන දේවල් ගැන හිතලා බලන්න ඕනේ.”—ගලාති 6:4.

දෙමාපියන්ගේ දික්කසාදේ හරියට අස්ථියක් කැඩෙනවා වගේ. මුලදී ගොඩක් රිදුණත් කාලෙත් එක්ක ඒක හරියනවා

 කරන්න පුළුවන් දේවල් තුනක්

 1. හිතේ තියෙන දේ එළියට දාන්න. දැනෙන පීඩනය, කේන්තිය, දුක වගේ හැඟීම් හිතේ හිර කරගෙන ඉන්න හුඟක් අය මත්පැන්, මත්ද්‍රව්‍ය වගේ දේවලට ලේසියෙන්ම ඇබ්බැහි වෙන්න පුළුවන්. එතනට වැටෙන්නේ නැතුව මේ දේවල් කරලා බලන්න.

 ඔයාගේ දෙමාපියන් එක්ක කතා කරන්න. දෙමාපියන් එයාලාගේ ප්‍රශ්න ඔයාට කියලා දෙන්නාගෙන් එක් කෙනෙක්ගේ පැත්තට ඔයාව නම්මගන්න හදනවා නම් ඒක ඔයාට බලපාන විදිහ ගැන එයාලට හරිම සන්සුන්ව, හැබැයි කෙළින් කියන්න. ඔයාට ඒක එයාලාගේ මූණට කියන්න බැරි නම් දෙන්නාගෙන් එක් කෙනෙක්ට හරි දෙන්නාටම හරි ඒ ගැන කියලා ලියුමක් ලියන්න.

 විශ්වාසවන්ත යාළුවෙක් එක්ක කතා කරන්න. ඔයා කියන දේවල් හොඳින් අහන් ඉන්න කෙනෙක් ඔයා ළඟින් ඉන්න එක ඔයාට ලොකු සහනයක් වෙයි. බයිබලෙත් කියනවා “අවංක යාළුවෙක් හැම වෙලාවෙම ආදරේ පෙන්වනවා. එයා කරදරයකදී උදව් කරන්න ඉපදුණ සහෝදරයෙක්” කියලා.—හිතෝපදේශ 17:17.

 ඔයාගේ නිර්මාතෘට කතා කරන්න. “යාච්ඤා අසන තැනැත්තාණන්” වන යෙහෝවා දෙවියන් ඔයාට ඕනම වෙලාවක ඇහුම්කන් දෙනවා. (ගීතාවලිය 65:2) ඒකයි බයිබලේ කියන්නේ ‘ඔයාගේ හිතේ තියෙන හැම කරදරයක්ම ඉක්මනින්ම ඔහුට භාර දෙන්න. මොකද ඔහු ඔයා ගැන ගොඩක් හිතනවා’ කියලා.—1 පේතෘස් 5:7.

  •   කේන්ති ගන්නේ නැතුව, සන්සුන්ව ඔයාට කතා කරන්න ලේසි තාත්තා එක්කද අම්මා එක්කද?

  •   මේ ප්‍රශ්න දරාගන්න විශ්වාසවන්තව උදව් කරන්න පුළුවන් ඔයාගේ මොන යාළුවාටද (ඔයාගේ වයසේ යාළුවෙක් නැත්නම් වැඩිහිටි කෙනෙක්)?

  •   ඔයාට නිශ්චිතවම යාච්ඤා කරන්න පුළුවන් මොන දේවල් ගැනද?

 2. වෙනසට හැඩගැහෙන්න

 දෙමාපියන් දික්කසාද වුණ නිසා සමහරවිට ඔයාට අලුත් ගෙදරකට, ඉස්කෝලෙකට යන්න වෙයි. ඔයාලාගේ අතට හම්බ වෙන ගාණත් වෙනස් වෙයි. අලුත් යාළුවෝ හොයාගන්නත් වෙයි. ඇත්තටම එහෙම වෙද්දී ඒක දරාගන්න අමාරු, ලොකු පීඩනයක්. ඔයාගේ ජීවිතේම කණපිට ගැහුවා වගේ කියලා ඔයාට දැනෙයි. මේ අලුත් තත්වෙට ඔයාට මූණ දෙන්න පුළුවන් කොහොමද? ‘වෙනස්කම්වලට මූණ දෙන්න බෑ’ කියලා හිතනවා වෙනුවට අලුත් තත්වෙට කොහොමද හැඩගැහෙන්නේ කියන එක ගැනයි ඔයා වැඩි අවධානයක් දෙන්න ඕනේ.

  •   අම්මලාගේ දික්කසාදේ නිසා ඔයාට කරන්න වුණ ලොකුම වෙනස මොකක්ද?

  •   ඒ වෙනසට හොඳින් මූණ දෙන්න ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවාද?

 “මං මොන තත්වයකට මූණ දුන්නත් තියෙන දෙයින් සතුටු වෙන්න ඉගෙනගෙන තියෙනවා.”—ෆිලිප්පි 4:11.

 3. ඔයාට තියෙන හොඳ ගුණාංග අඳුරගන්න

 දෙමාපියන් දික්කසාද වුණාම ඒක ඔයාට ලොකු දුකක් වෙයි. හැබැයි ඒකෙන් ඔයාට ඔයාගේ හොඳ ගුණාංග අඳුරගන්නත් තවත් ගුණාංග වර්ධනය කරගන්නත් පුළුවන් වෙනවා. ජෙරමිගේ අම්මායි, තාත්තායි දික්කසාද වුණේ එයාට අවුරුදු 13දී. එයා මෙහෙම කියනවා. “අම්මලා දික්කසාද වුණ නිසා මං තව වගකීමෙන් වැඩ කරන්න ඉගෙනගත්තා. මං තමයි පවුලේ වැඩිමලා. ඒ නිසා මට තමයි සිද්ධ වුණේ කලින්ටත් වඩා අම්මාට උදව් කරන්න. මගේ පොඩි මල්ලිව බලාගන්නත් මට සිද්ධ වුණා.”

දෙමාපියන්ගේ දික්කසාදේ නිසා ඔයාට පුළුවන් වෙයි ගෙදරදොරේ වැඩ මීට වඩා වගකීමෙන් කරන්න

  •   අම්මාගෙයි, තාත්තාගෙයි දික්කසාදේ නිසා ඔයා ඔයාගේ අඳුරගත්ත හොඳ ගතිගුණ මොනවාද?

  •   ඔයා දියුණු කරගන්න ආස තව පැති මොනවාද?

 ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියලා තියෙන්නේ දෙවියන්ගේ බලයෙන් ලැබුණ මඟ පෙන්වීමට අනුවයි. ඒක වැරදි හරිගස්සන්න ප්‍රයෝජනවත්.’—2 තිමෝති 3:16.