Skip to content

යොවුන් සිතේ ගැටලු

බව්තීස්මයෙන් පස්සේ මං කරන්න ඕනෙ මොනවාද? - 2වෙනි කොටස: දිගටම විශ්වාසවන්තව ඉන්න

බව්තීස්මයෙන් පස්සේ මං කරන්න ඕනෙ මොනවාද? - 2වෙනි කොටස: දිගටම විශ්වාසවන්තව ඉන්න

 බයිබලේ කියනවා ‘දෙවියන් විශ්වාසවන්ත අයට සෑම යහපත් දෙයක්ම ලබා දෙනවා’ කියලා. (ගීතාවලිය 84:11, NWT) ඒත් විශ්වාසවන්තව ඉන්නවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔයා බව්තීස්ම වෙද්දී යෙහෝවා දෙවියන්ට වුණ පොරොන්දුවට එකඟව දිගටම ජීවත් වෙනවා කියන එකයි. (දේශනාකාරයා 5:4, 5) ඒත් බව්තීස්මෙන් පස්සේ ඔයාට ඒක කරන්න පුළුවන් කොහොමද?

මේ ලිපියෙන්

 දිගටම ප්‍රශ්න දරාගන්න

 බයිබලේ කියන දේ: “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි.”—ක්‍රියා 14:22.

 ඒකෙන් අදහස් වෙන දේ: හැම ක්‍රිස්තියානියෙක්ටම ප්‍රශ්න එනවා. සමහර වෙලාවට ඔයාට පීඩාවලට, අපහාසවලට මුහුණ දෙන්න වෙන්නේ ඔයා ක්‍රිස්තියානියෙක් වුණ නිසයි. හැබැයි ආර්ථික ප්‍රශ්න, අසනීප වගේ දේවල්වලට ක්‍රිස්තියානියෙක් වුණත් නැතත් මුහුණ දෙන්න වෙනවා.

 වෙන්න පුළුවන් දේ: සමහරවිට ඔයාටත් ගොඩක් ප්‍රශ්න එයි. සමහර ඒවාට ඔයා කැමති නැති වුණත් කරන්න දෙයක් නැහැ, ඒවාට මුහුණ දෙන්න වෙනවාමයි. බයිබලේ කියනවා ක්‍රිස්තියානීන්ට විතරක් නෙවෙයි හැමෝටම හිතපු නැති විදිහේ නරක දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා.—දේශනාකාරයා 9:11.

 කරන්න පුළුවන් දේ: ප්‍රශ්න අනිවාර්යයෙන්ම එනවා කියලා දන්න නිසා ඒවාට කලින්ම ලෑස්ති වෙන්න. ඒවා යෙහෝවා දෙවියන් ගැන ඔයාගේ හිතේ තියෙන විශ්වාසය පෙන්නන්න, ඔහු මත රඳා ඉන්න ලැබුණ අවස්ථා කියලා හිතන්න. (යාකොබ් 1:2, 3) එතකොට ඔයාටත් පුළුවන් පාවුල් කියපු මේ දේ කොච්චර ඇත්තක්ද කියලා අද්දැකීමෙන්ම තේරුම්ගන්න. “මන්ද මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.”—ෆිලිප්පි 4:13.

 අද්දැකීමක්. “මං බව්තීස්ම වෙලා වැඩි කල් යන්න කලින් මගේ අයියලා යෙහෝවාව අත්හැරියා. ඊටපස්සේ මගේ අම්මයි, තාත්තයි හොඳටම ලෙඩ වුණා. පස්සේ මාත් ලෙඩ වුණා. මට ඕනෙ නම් මේ හැම දේම ලේසියෙන්ම අත්හැරලා දාන්න තිබ්බා. ඒත් බව්තීස්ම වෙද්දී මං යෙහෝවාට පොරොන්දු වුණා මගේ ජීවිතේ මුල් තැන ඔහුට දෙනවා කියලා. ඒ පොරොන්දුව තමයි මට උදව් වුණේ අමාරුවෙන් හරි මේ හැම දේටම මුහුණ දෙන්න.”—කැරන්.

 යෝජනාවක්: යෝසෙප් ගැන බයිබලෙන් කියවලා බලන්න. එයාගේ ජීවිත කතාව උත්පත්ති 37, 39-41 පරිච්ඡේදවල තියෙනවා. ඒක කියවද්දී මෙහෙම හිතන්න. යෝසෙප්ට ආවේ මොන වගේ ප්‍රශ්නද? එයා ඒවාට මුහුණ දුන්නේ කොහොමද? ප්‍රශ්න දරාගන්න දෙවියන් එයාට උදව් කළේ කොහොමද?

 තව උදව් ඕනෙද?

 වැරදි පෙලඹීම්වලට අහු වෙන්න එපා

 බයිබලේ කියන දේ: “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය.”—යාකොබ් 1:14.

 ඒකෙන් අදහස් වෙන දේ: අපි ඕනම කෙනෙක්ට වැරදි පෙලඹීම් එන්න පුළුවන්. හැබැයි අපි ඒවා පාලනය කරන්න ඉගෙනගත්තේ නැත්නම් අපි ඒවාවල වහලෙක් වෙලා වැරදි දෙයක් වුණත් කරන්න පෙලඹෙන්න පුළුවන්.

 වෙන්න පුළුවන් දේ: බව්තීස්ම වුණාට පස්සෙත් අපිට “පව්කාර ආශාවන්” එන්න පුළුවන්. (2 පේතෘස් 2:18) සමහරවිට විවාහ වෙන්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඔයාගේ හිතේ ලොකු ආසාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා.

 කරන්න පුළුවන් දේ: වැරදි ආශාවන් එනවා කියලා දන්න නිසා ඒවාට ඔයාව පාලනය කරන්න දෙනවාද නැත්නම් ඔයා ඒවා පාලනය කරනවාද කියලා දැන්මම හිතලා බලන්න. මතකද යේසුස් කියපු දේ? “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ.” (මතෙව් 6:24) ඒ නිසා වැරදි ආශාවන්වල දාසයෙක් වෙනවාද එහෙම නැත්නම් දෙවියන්ගේ දාසයෙක් වෙනවාද කියලා තීරණය කරන්න. ඔයා යෙහෝවාව තෝරගන්නවා නම් වැරදි ආශාවන් කොච්චර ප්‍රබල වුණත් ඒවා පරාද කරන්න ඔයාට පුළුවන්.—ගලාති 5:16.

 යෝජනාවක්: ඔයාට තියෙන දුර්වලකම් මොනවාද කියලා අඳුරගන්න. හරි දේ කරන්න ඔයාට උදව් කරන යාළුවන්ව ආශ්‍රය කරන්න. ඔයාගේ හිතේ තියෙන වැරදි ආශාවන් අවුස්සන අවස්ථාවලින්, තැන්වලින්, යාළුවන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න.—ගීතාවලිය 26:4, 5.

 තව උදව් ඕනෙද?

 උද්‍යෝගය අඩු වෙන්න දෙන්න එපා

 බයිබලේ කියන දේ: ‘උනන්දුව දිගටම පවත්වාගන්න. කම්මැළි නොවන්න.’—හෙබ්‍රෙව් 6:11, 12.

 ඒකෙන් අදහස් වෙන දේ: කරන වැඩේට හොඳ අවධානයක් දුන්නේ නැත්නම් කම්මැළි හිතිලා ඒක ඕනෑවට එපාවට කරන්න අපි පෙලඹෙන්න පුළුවන්.

 වෙන්න පුළුවන් දේ: බව්තීස්ම වුණ අලුත නම් ඔයාට ලොකු උද්‍යෝගයක් තියෙනවා. යෙහෝවා දෙවියන් ගැන ලොකු ආදරේකුත් තියෙනවා. හැබැයි කාලේ යන්න යන්න සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන් හැම වෙලේම යෙහෝවා කියන දේ කරන්න අමාරුයි කියලා. එහෙම වුණොත් ඔයා අධෛර්යය වෙලා ඔයාගේ උද්‍යෝගයත් ටිකෙන් ටික බහින්න ඉඩ තියෙනවා.—ගලාති 5:7.

 කරන්න පුළුවන් දේ: යෙහෝවා දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් කරන්න ඔයාගේ හිතේ කිසිම ආසාවක් නැහැ කියලා හිතුණත් අමාරුවෙන් හරි ඒ දේවල් කරන්න. (1 කොරින්ති 9:27) කලින් තිබුණ උද්‍යෝගය ආයෙත් ඇවිලිලා එන කල් යෙහෝවා දෙවියන්ට තව ළං වෙන්න. ඔහු ගැන තව තවත් දැනගන්න. දිගටම ඔහුත් එක්ක කතා කරන්න. යෙහෝවාට ගොඩක් ආදරේ කරන අයට කිට්ටුවෙන් ඉන්නත් අමතක කරන්න එපා.

 යෝජනාවක්: යෙහෝවා දෙවියන් ඔයාට ගොඩක් ආදරෙයි කියලා අමතක කරන්න එපා. ඔයාට ඕනම වෙලාවක උදව් කරන්න ඔහු ලෑස්ති පිට ඉන්නවා. ටික කාලෙක ඉඳලා දෙවියන්ගේ දේවල් කරන්න ඔයාගේ හිතේ ආසාවක් නැති වුණා කියලා ඔහු කවදාවත් ඔයාත් එක්ක තරහා වෙන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලේ කියන්නේ “දෙවි විඩාවට පත් වූ අයට සවිය දෙයි. හෙම්බත් වූ අයව බොහෝ සෙයින් ශක්තිමත් කරයි” කියලා. (යෙසායා 40:29) ඔයා ආයෙත් උද්‍යෝගය ඇති කරගෙන දෙවියන්ගේ දේවල් ආසාවෙන් කරද්දී ඔයාට ආශීර්වාද කරන්න යෙහෝවා ආසාවෙන් බලන් ඉන්නවා.

 තව උදව් ඕනෙද?

 මේක මතක තියාගන්න: ඔයා දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව හිටියොත් ඔහුගේ හිත සතුටු කරන්න ඔයාට පුළුවන්. (හිතෝපදේශ 27:11) සාතන්ගේ පැත්ත තෝරගන්නේ නැතුව යෙහෝවාව තෝරගත්ත නිසා සාතන්ගෙන් එන ඕනම දේකට මුහුණ දෙන්න යෙහෝවා දෙවියන් ඔයාට උදව් කරයි.